රන්ජන් ත්‍රිල් වෙයි ප්‍රසන්න මැලවෙයි

* ජනාධිපතිතුමා හමුවීමට එක් වූ සිසුවියෝ විශාල ප්‍රීති ඝෝෂාවක් කළා. ඔවුන්ට තිබෙන ප්‍රශ්න මොනවාදැයි ජනාධිපතිතුමා විමසීමක් කළා.
* මහ ඇමැති ෂාන් විජයලාල් සිදුකරනු ලබන කාර්ය ඇගයිමකට ලක් නොකළොත් එය කුහක කමක් වන බව ඇමැති වජිර පැවසුවා.
* රථයට නඟින අවස්ථාවේ එහි සිටි අයෙක් මහින්දට කීවේ “විමල්ලා ගම්මන්පිලලා, පුම්බන්නට රැස්වීම යොදාගෙන ඇති බවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තය ගත කළේ අනුරාධපුර පින් බිමේ. අගමැතිවරයා 28 වැනිදා උදේම අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දුටුවා. අගමැති වික්‍රමසිංහ මහතා සමඟ ග්‍රාමීය ආර්ථික ඇමැති පී.හැරිසන් මහතාද කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයින් මහා විහාරයට පැමිණ සිටියා.

අටපිරිකර සහ පලතුරු වට්ටියක් පිරිකර වශයෙන් සිරිනිවාස හිමියන්ට පුජා කර වන්දනා කළ අගමැතිවරයා රජයේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය ඇතුළත් බලගතු ශ්‍රි ලංකාවක් නම් වාර්තාවද හිමියන් වෙත පිළි ගන්වනු ලැබුවා. මෙහිදි සිරිනිවාස හිමියන් අගමැතිවරයාගෙන් විමසා සිටියේ මෙයින් අනුරාධපුරයටත් යමක් ලැබේවිදැයි කියායි. සිනහමුසු මුහුණින් පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා මුලින්ම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරන බවත් ත්‍රිකුණාමලයේ ආරම්භ කරන පළමු ආර්ථික කොරිඩෝරය වෙත පහසුවෙන් යාවෙන පරිදි අනුරාධපුරය හරහා අලුත් පාරවල් හදන බවත් නායක හිමියන්ට පැහැදිලි කළා. කෘෂිකර්මය දියුණු වෙන ගමන් මෙමගින් අනුරාධපුරයේ සංස්කෘතියට හානියක් නොවන පරිදි සංචාරක ව්‍යාපාරය දියුණු වෙන බව පෙන්වා දුන් අගමැතිවරයා දැනට එක් දිනක් පමණක් අනුරාධපුරයේ නතර වන සංචාරකයින් දින තුන හතරක් නතර වෙන ආකාරයට දියුණු වන බවත් එහිදි ඉංග්‍රිසි පමණක් නොව ප්‍රංශ, ජර්මන් වැනි භාෂාවලින් අපේ ඉතිහාසය සහ සංස්කෘතිය සංචාරකයින්ට විස්තර කර දිය හැකි ස්වාමින් වහන්සේලා සිටිය යුතු බවත් පැවසුවා.එහි දී, දැනටමත් එවැනි භාෂා දැනුම ඇති හිමිවරුන් සිටින බව නායක හිමියන් පැවසුවා.

සංස්කෘතික ත්‍රිකෝණය සංවර්ධනය සඳහා මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා යටතේ කමිටුවක් පත් කර ඇති බව ද කී අගමැතිවරයා රජය ඉදිරියේදි සිදු කරන සංවර්ධන වැඩ පිළිවෙළ පිළිබඳව නායක හිමියන්ට කෙටියෙන් විස්තර කළා. මෙහිදි නායක හිමියන් ප්‍රකාශ කළේ ඉතා වැදගත් කරුණක්. ඒ රජයේ ඉදිරි ක්‍රියාදාමය ජනතාවට විස්තර කර දෙන කණ්ඩායමක් වෙනම සිටිය යුතු බවයි. තායිලන්තය, මියන්මාරය වැනි බෞද්ධ රටවල් අපේ රට ආදර්ශයට ගෙන ක්‍රියා කරන බව අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

අනුරාධපුරයේ සිද්ධස්ථාන රාත්‍රියටත් විවෘත කර තැබිය යුතු බව ද වික්‍රමසිංහ මහතා යෝජනා කළා. රෑට ලයිට් දැම්මම දවල්ට වඩා රුවන් වැලි මහා සෑය ලස්සන බව නායක හිමියන් පැවසුවා. රජරට ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු ඇතුළත් මධ්‍යස්ථානයක් සංචාරකයින් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අනුරාධපුරයේ ඉඳි කළ යුතු බව අගමැති වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට නායක හිමියන්ගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. අභයගිරියේ ඒ සඳහා හොඳ ඉඩමක් ඇති බව සිරිනිවාස හිමියෝ සඳහන් කළා. අගමැති වික්‍රමසිංහ මහතා තමාට මුණ ගැසුණේ බොහෝ කාලයකට පසුව බවත් ඒනිසා එතුමා සමඟ පුද්ගලිකව කතා කළ යුතු කරුණු කිහිපයක් ඇති බැවින් අනෙක් අය පොඩ්ඩක් එළියට යන්නේ නම් මැනවි යැයි සිරිනිවාස හිමියන් මෙහිදි කළ ඉල්ලීම අනුව සංඝාවාසයේ මැද ශාලාවේ අගමැතිවරයාවත් නායක හිමියන්වත් තනිකර අනිත් සියලුම දෙනා එතැනින් ඉවත්ව ගියා.

ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගත් අගමැතිවරයා රුවන්වැලි මහා සෑය වන්දනා කිරිමට පෙර පල්ලේගම හේමරතන හිමියන්ද බැහැ දුටුවා. අනතුරුව සාරානන්ද පිරිවෙනට ගිය අගමැතිවරයා ගිරාඹේ ආනන්ද හිමියන් බැහැ දැක මිරිසවැටි විහාරයට ගොස් විහාරාධිකාරි ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ද බැහැ දුටුවා. එහිදි ඥාණතිලක හිමියන් අගමැති වික්‍රමසිංහ මහතාට ඉතා හොඳ චරිත සහතිකයක් ලබා දුන්නා. හැදෙන්න ඕනෑ ඕනෑම අයෙක් රනිල් වික්‍රමසිංහ මහතා ආදර්ශයට ගත යුතු බව උන් වහන්සේ ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු තමා බැහැ දැකිමට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන ලෙසත් නිවැරදි ඕනෑම දෙයකට වික්‍රමසිංහ මහතා උදව් කරාවි යැයි තමාට පැවසූ බව ද ඥාණතිලක හිමියන් මෙහිදි හෙළිදරව් කළා. හිමියන්ගේ මේ ප්‍රකාශය අගමැති වික්‍රමසිංහ මහතා අසා සිටියේ උපේක්ෂා සහගත සිනහවකින්.

අනතුරුව තන්තිරිමලේ රජමහා විහාරයට ගිය අගමැතිවරයා තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන් බැහැ දුටුවා. එහිදි පහළ මල්වතු ඔය බහුකාර්ය යොජනා ක්‍රමය සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවකටද අගමැතිවරයා සහභාගි වුණා.

පී.හැරිසන් මහතා සංවිධානය කර තිබු මහා රැලියක් එදින හවස සාලියපුර ක්‍රිඩාංගණයේ පැවැත්වුණා. පෙර දින ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ පැවැත්වු රැලියට පිළිතුරු වශයෙන් මේ රැලිිය පැවැත්වෙන බවයි සඳහන් වුණේ. ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබුණා. කාලෙකට පසු පැවැත්වුණු දේශපාලන රැස්විමට ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් සහභාගි වුණේ මහත් උද්යෝගයකින්. එහි පැමිණි අගමැති වික්‍රමසිංහ මහතාට ජනතාවගෙන් ලැබුණේ හෘදයාංගම පිළිගැනීමක්. අගමැතිවරයා එහිදි රැස්වීම ඇමතුවේ ඉතා සැහැල්ලු ස්වභාවයකින්. කතාව අතරතුර පාක්ෂිකයින් සිය නායකයාට දැක්වු ප්‍රතිචාරවලට ඔහු එවේලේම ප්‍රතිචාර දැක්වුයේ මිත්‍රශිලි ස්වභාවයෙන්.

වික්‍රමසිංහ මහතා රැස්වීම ඇමතීමෙන් පසු වේදිකාවට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා යූ.එන්.පී.කාරයින්ව කුල්මත් කරමින් කතාවක් පැවැත්වුවා. එක්තරා රූපවාහිනි නාලිකාවක් රජයටත් අගමැතිවරයාටත් පහර ගසමින් ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බව ජනතාව හඬ නගා පැවසුවේ රන්ජන්ගේ කතාව අතරතුරේදි. එයින් දිරිමත් වු රන්ඡන්ද එම රූපවාහිනි නාලිකාවේ ක්‍රියා පිළිවෙත හෙළා දකිමින් කතා කළා. ජනතාවගේ දැඩි ඉල්ලීම මත රන්ජන්ට ගීත දෙකක් ගායනා කිරිමටද සිදු වුණා.

පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය විෂයභාර අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ආරාධනයෙන් ජනපති මෛත්‍රි ගාල්ල දිස්ත්‍රික් මවු සමාජ සම්මේලනයට සහභාගී විමට ලබුදුව සිරිධම්ම විද්‍යාලයට ගියා. මේ සඳහා කොළඹින් පිටත්වු ජනපති රැගත් හෙලිකොප්ටරය චීන මිත්‍රත්ව ගම්මාන ක්‍රිඩාංගණයට ගොඩබස්වනු ලැබුවා. කල්වේලා ඇතිව එම ස්ථානයට පැමිණ සිටි මහ ඇමැති ෂාන් ජනාධිපතිතුමාව මහත් ගෞරවයෙන් පිළිගෙන උත්සව භූමියට යාමට ආරාධනා කළා. ජනපතිතුමන් ගමන් ගන්නා රථයටම මහ ඇමැති ෂාන්වත් නංවාගෙන උත්සව භුමියට යනවිටත් ඇමතිවරුන් වන වජිර, ගයන්ත, චන්දිම, නියෝජ්‍ය අමාත්‍ය මනුෂ, පළාත් සභා ඇමතිවරුන් වන ආරියතිලක, රාසපුත්‍ර, වීරසුමන හා ඇමැති ගුණසේනත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල ඇතුළු විශාල පිරිසක් ජනපතිතුමන්ව පිළිගැනිමට පැමිණ සිටියා. මහ ඇමතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක පළාත් මව් සෞඛ්‍ය සමාජවලින් සිදු කෙරෙන කාර්ය සවිස්තරව දිගහැරුණු වීඩියෝපට නාට්‍ය හා කතාවලින් සහ මහ ඇමැති ෂාන් විජයලාල්ගේ කතාවෙන් පැහැදිලිව පෙනුණේ ඉතාමත් ප්‍රශස්ත කාර්යක් දකුණු පළාතේ සෞඛ්‍ය නංවාලීම සඳහා මව් සෞඛ්‍ය සමාජවලින් සිදුවන බවයි.

මෙයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් මව් සෞඛ්‍ය සමාජ සාමාජිකයින් 11000 සඳහා නිල ඇදුමක් වශයෙන් සාරියක් පිරිනැමිමටද මෙදිනම කටයුතු යොදා ඇති බව දැනගන්නට ලැබුණ අතර, ඊට සමගාමීව මාතර, හම්බන්තොට ඇතුළුව සමස්තයක් ලෙස පළාතේ 25000ක් සඳහා මෙම නිල ඇඳුම බෙදාදීමට කටයුතු යොදා ඇති බව පැහැදිලි වුණා. මේ සියලූ කරුණු කාරණා පැමිණ සිටි සියලූ දෙනාගේම ඉමහත් ප්‍රශංසාව හා ගෞරවය මහ ඇමැති ෂාන්ට හිමිවුණා. . මහ ඇමැති ෂාන් විජයලාල් සිදුකරනු ලබන කාර්ය ඇගයිමකට ලක් නොකළොත් එය කුහක කමක් වන බවඇමැති වජිර පැවසුවා. ඉතාම නිර්මාණශිලිව පළාතේ ජනතාවට සේවය කරන මහ ඇමතිතුමන් අන් දේශපාලඥයන්ට ආදර්ශයක් බව ඇමැති වජිර වැඩිදුටරත් පැවසුවා.

උත්සව සභාව ඇමතු ජනපති මෛත්‍රී ද මහ ඇමතිතුමාගේ මෙම සංකල්පය ඉහළින්ම වර්ණනා කොට කතාකළා. මෙම කාර්ය දකුණු පළාතට පමණක් නොව සමස්ත රටටම ආදර්ශමත් කාර්යක් හෙයින් සියලූම පළාත් සභාවල මහ ඇමතිවරුන් දැනුවත් කොට මෙම උතුම් වැඩසටහන ඒ ඒ පළාත්වලත් ක්‍රියාවට නැංවීමට තමා ඉතා කඩිනමින්ම කටයුතු කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා. සාර්ථක උත්සවයක් නිමාවට පත්කළ ජනපති මෛත්‍රි ඇතුළු පිරිස ගාල්ල ලයිට් හවුස් හෝටලය සඳහා දිවා භෝජනයට ගියේ එදිනම හවස්වරුවේ ගාල්ල සමුපකාර රෝහලේ පැවැත්වෙන උත්සවයටද සහභාගි වීමේ අටියෙන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලවංචිකුඩි මූලික රෝහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සිදු කළේ පසුගිය බදාදායි. ඒ සඳහා ජනාධිපතිතුමා එහි යනවිට අති විශාල සෙනගක් එහි රැස්ව සිටියා. ‍රෝහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් පසු එහි නිරීක්ෂණ චාරිකාවකද ජනාධිපතිතුමා යෙදුණා.

එම උත්සවය අවසන් වීමෙන් පසුව ජනාධිපතිතුමා කළේ ප්‍රදේශයේ පාසල් හා රාජ්‍ය ආයතනවල නිරීක්ෂණ චාරිකාවක යෙදීමයි. මුලින්ම එතුමා ගියේ කලවංචිකුඩි මුස්ලිම් බාලිකා විද්‍යාලයට යි. එහි දී ජනාධිපතිතුමා හමුවීමට එක් වූ සිසුවියෝ විශාල ප්‍රීති ඝෝෂාවක් කළා. ඔවුන්ට තිබෙන ප්‍රශ්න මොනවාදැයි ජනාධිපතිතුමා විමසීමක් කළා. එහි දී ශිෂ්‍යාවෝ නොයෙක් ප්‍රශ්න ඉදිරිපත් කළා. තමා සමඟ සිටි අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියකු ඇමතූ ජනාධිපතිතුමා එම සියලු ප්‍රශ්න සටහන් කරගෙන විසඳීමට කටයුතු කරන ලෙස නියෝග කළා .

මෙලෙස පාසල් හා රාජ්‍ය ආයතන නිරීක්ෂණයට ගිය ජනාධිපතිතුමාට එරාවුර්හි උදේ 11.00 ට යොදාගෙන තිබූ රැස්වීමට යා හැකි වුයේ පස්වරු 2.00 ද පසුවී තිබිය දී යි. එහි විශාල ජනකායක් ජනාධිපතිතුමා පිළිගැනීමට සිටියේ දිවා ආහාරයත් නොගෙනයි. ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා කීවේ ඔබ සියලුදෙනා දවල් ආහාරය නොගෙන සිටින බව තමා දන්නා බවයි. එයට සමාව ඉල්ලූ ජනාධිපතිතුමා ඒ අතරවාරයේ තමන් ගිය ස්ථාන ගැනත් ඒවායේ තිබූ ප්‍රශ්න විසඳූ ආකාරයත් පැහැදිලි කළා. ඔයගොල්ලෝ වගේම මාත් ඉන්නේ දවල්ට කෑවේ නැතිව බඩගින්නේ” යැයි ජනාධිපතිතුමා කියන විට මහජනයා තුළ ඇතිවූ කම්පනය කියා නිම කරන්නට බැහැ.

එරාවූර් රැස්වීමෙන් පසුව ජනාධිපතිතුමා කොළඹ එන්න පිටත් වන විට සවස හතරයි තිහ පමණ වී තිබුණා. ගුවන් හමුදාවෙන් ගෙනැවිත් දුන් සුළු ආහාරයක් හෙලිකොප්ටරය තුළ දී ජනාධිපතිතුමා දිවා භෝජනය ලෙස ගත්තා. බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයේ ජනතා ඉල්ලීම මත පල්ලත්තර හා පට්ටියවෙල ගම්මාන දෙක යාවන ලෙස රුපියල් ලක්ෂ 393ක වියදමින් ඉකුත් වසරේ දී පාලමක් ඉදිකළ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පසුගිය ඉරිදා එම පාලම විවෘත කළේ විශාල ජනතා ප්‍රතිචාර මැදයි. එම පාලම ඉදිකිරීම නිසා පල්ලත්තර දකුණ හා බටහිර පට්ටියවෙල, නිහලුව නැගෙනහිර යන ගම්මානවල පවුල් විශාල සංඛ්‍යාවකට පහසුවක් සැලසෙනවා. අවුරුදු ගාණක් තිස්සේ බලවත් ඇත්තන්ට කිව්වා. නොවිඳිනා වැඳුම් වැන්දා. අපේ ඡන්දෙ වැටුණෙත් ඒ ඇත්තන්ට මිසක් ඔබතුමාට නෙවෙයි. ඒත් අන්තිමට ඔබතුමා විතරයි දුප්පත් අහිංසක අපට පිහිට වු‍ණේ. වියපත් මවක් සජිත්ගේ දෑත් අල්ලාගෙන හැඟුම්බරව කියද් දී සජිත් කීවේ “ඔන්න අම්මේ අපි කොන් වෙච්ච ගම්මාන තුන හතරක්ම යා කළා. අපි අපේ නම යන්න වරායවල්, අහස් යාත්‍රා තොටුපොළවල්, ක්‍රීඩාංගණ හැදුවෙ නෑ. ගමේ පොඩි මනුස්සයට වැඩක් සිද්ධ වෙන දේවල්වලටයි මුල් තැන දෙන්නේ. විධායක ජනාධිපතිතුමෙක් දෙපාරක්ම බිහි කරපු ආසනයක මෙහෙම පොඩි වැඩක්වත් කර ගන්න බැරි වුණාට මැද කොළඹ ප්‍රේමදාසගෙ පුතා – ‘පිටගංකාර දේශපාලන කුරුල්ලා’ ඇවිත් කිසිම භේදයක්, වෙනස්කමක් නැතිව ජනතාවට සේවය කරනවා” කීයාය.

උග්‍ර වාමාංශිකයන්ගෙන් පිරුණු ප්‍රදේශයක් ලෙස ප්‍රකට තිස්සමහාරාම ‘රබර් වත්ත’ කේන්ද්‍ර කර ගනිමින් රුපියල් ලක්ෂ 13 ක වියදමින් අංග සම්පූර්ණ පෙර පාසලක් තනා එය එහි දරු- දැරියන්ට පවරා දීමේ අවස්ථාවකට සජිත් ඉකුත් සති අන්තයේ දී සහභාගී වුණා. ප්‍රදේශයේ දානපතියකු විසින් පරිත්‍යාග කළ ඉඩමක මෙමම පෙර පාසල ඉදිකළේ සජිත්ගේ හිතවත් පරිත්‍යාගශීලීන් කීප දෙනකු විසින් ලබා දෙන ලද මුදලින්. මෙහි දී දෙමාපියන් සජිත් වට කරගෙන සතුට ප්‍රකාශ කරද් දී සජිත් ඇසුවේ “දැන්වත් ඔයගොල්ලන්ට තේරුණාද යහපාලන ආණ්ඩුවේ වෙනස? කියායි” අපි දේශපාලන පක්ෂ භේදයක් නැතිව ගමේ ජනතාවගේ සිතුම් – පැතුම් තේරුම් අරගෙන ගමට වැඩක් කරන්න උත්සාහ ගන්නවා. ඒ බව මේ වන විට ජනතාව තේරුම් ගනිමින් සිටීමත් අපට සතුටක්” සජිත් කීවා.

සජිත් සිය අමාත්‍යාංශයේ පැවැත්වූ අභ්‍යන්තර සාකච්ඡාවක දී සජිත් සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ ‘කකුලෙන් අදින – වැඩ අවුල් කරන අවතාර” තවමත් හොල්මන් කරන බවයි. මේ සතියේ කුරුණෑගල පොල්පිතිගම “විජයබාගම” විවෘත කිරීමේ උත්සවයේ දී හා හම්බන්තොට ඔකේවෙල සිමෙන්ති ප්‍රදානය කිරීමේ උත්සවයක දී කඩාකප්පල්කාරි අරමුණින් සිදු වී තිබූ ඇතැම් කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමට අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණ 2ක් පැවැත්වෙන බව සජිත් සඳහන් කළා. සජිත් සිය නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක සමඟ කීවේ “මෙච්චර සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන්, දේශපාලන පළිගැනීම්වලින් තොරව අපි වැඩ කරද්දීත් සමහර නිලධාරීන්ගේ වුවමනාව පිට වැඩ අවුල් කරන පිරිසක් ඉන්නවා. ඒ අය තනතුරුවලින් ඉවත් කිරීම හැර වෙන කරන්න දෙයක් නෑ” කීවාය.

කාලයක් තිස්සේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබූ සයිටම් ආයතනයට පසුගිය 31වෙනිදා අභියාචනාධිකරණ තීරණයක් මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අවසර ලබා දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මුල සිටම සිටියේ සයිටම් විරෝධී ස්ථාවරයකයි. සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය ලබාදීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ජවිපෙ නායකයින් විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවේදීද, මහජන රැස්වීම්වලදීද අවධාරණය කර සිටියා. නඩු තීන්දුවත් සමඟ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු බුද්ධිමතුන් බොහෝ දෙනා දැඩි සිත්තැවුලකට පත්වුණා.

මන්ත්‍රීතුමා මේ මොකක්ද වුණේ. අපි මේ වගේ තීන්දුවක් කවදාවත් හිතුවේ නැහැ . මේකෙන් සිදුවෙන්නේ අපේ රටේ අධ්‍යාපනය ඉතාම පහත් තැනකට වැටෙන එක.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් බිමල් රත්නායක මන්ත්‍රීවරයාට ඇමතුමක් ලබාදුන්නේ ඉතාමත් ආවේගකාරී ස්වරූපයකින්.

”ඔබතුමා කියන කතාව ඇත්ත. නමුත් මෙතන පුදුම වෙන්න දෙයකුත් නැහැ. මුල සිටම මේ ආණ්ඩුව හිටියේ සයිටම් එක පැත්තේ. කිරිඇල්ල දිගටම කිව්වා නඩු තීන්දුවෙන් පස්සේ මේ ප්‍රශ්න හැමදෙයක්ම විසඳෙයි කියලා. ඒ කියන්නේ ආණ්ඩුව මේ තීන්දුව තමයි බලාපොරොත්තු වුණේ.” බිමල් රත්නායක කීවා.

ජවිපෙ මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් විශාල ඇමතුම් ප්‍රමාණයක් ලැබුණ අතර මේ සම්බන්ධයෙන් ජවිපෙ මතය රටට කිව යුතු බව ජවිපෙ තීරණය කළා. ඒ අනුව පසුදින මාධ්‍ය හමුවක් පැවැත්වූ ජවිපෙ තම පක්ෂය තීන්දු ලබාදීමට අධිකරණයට ඇති අයිතියට ගරු කරන නමුත් මෙම නඩු තීන්දුවේ හරයට එකඟ නොවන බවත් සයිටම් ආයතනය අහෝසි කරන තුරු සටන දියත් කරන බවත් අවධාරණය කර සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන ‘ජනබලය ගොඩනගන, දිස්ත්‍රික් මෙහෙයුම’ වැඩසටහනේ ආරම්භක පියවර පසුගිය විසිහත්වනදා සිට තිස්එක දින දක්වා අනුරාධපුරයේ දී ක්‍රියාත්මක වුණා. ජවිපෙ නායක අනුර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයින් වන ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ යන හතරදෙනාගෙන් යුත් කණ්ඩායමක් වශයෙන් මෙම දිස්ත්‍රික් මෙහෙයුම ක්‍රියාත්මක කළා. මුළු දිස්ත්‍රික්කය පුරා ගම්මට්ටමින් ජනහමු, දිරිය පුරවැසි සමිති ගොඩනැගීම්, විද්වත් සාකච්ඡා, බලමණ්ඩල ගොඩනැගීම්, තරුණ සමිති පිහිටුවීම්, ව්‍යාපාරික හමු, කාන්තා සමිති ගොඩනැගීම් ආදී විවිධ වැඩ සටහන් එකසිය පනහකට අධික ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. මේ කටයුතු සඳහා ජවිපෙට ගම්මට්ටමේ ජනතාව විශාල සහයෝගයක් ලබාදීම විශේෂත්වයක්. එමෙන්ම ප්‍රදේශවාසීන්ට මෙම වැඩසටහන ආශ්වාදයක් වී තිබුණේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සෘජුවම දේශපාලන නායකයින් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබී තිබීම නිසායි.

සෑම වැඩ කටයුත්තක් අවසානයේම ජවිපෙ නායකයින් වටකරගන්නා ජනතාව රටේ ආර්ථික අර්බුදය ගැන දේශපාලන අර්බුදය ගැන ප්‍රශ්න ඇසීමට යුහුසුළු වුණා. ”මන්ත්‍රීතුමා අපිට රටේ දේශපාලනය ගැන කියලා දෙන්න මේ වගේ කවුරුත් ඇවිත් නැහැ. අපිත් ආසයි මේ විදියට දේශපාලන වැඩවලට සම්බන්ධ වෙන්න. ඔබතුමාලාගේ මේ වැඩේ ඇත්තටම වටින දෙයක්. මෙහෙ විතරක් නෙවෙයි මුළු රටේම මේ දේවල් කරන්න. ගොඩක් මිනිස්සු ඇත්ත දන්නේ නැතිව අසරණ වෙලා. ඔබතුමාලා තමයි ඒ දැනුම දෙන්න ඕනෑ” තඹුත්තේගම දී පැවැති විද්වත් හමුවකින් පසුව ගුරුවරයෙක් ජවිපෙ නායකයාට කියා සිටියා.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාද ගම්මට්ටමින් මෙම කටයුත්තට දායක වුණා.පහළ මල්වතු ඔය ව්‍යාපාරය නිසා පීඩාවට පත් පිරිසක් විසින් රැස්වීමක් සංවිධානය කර තිබුණේ මෙම වැඩසටහන අතරතුරදී. සිංහල, මුස්ලිම් පවුල් 7000කට අධික ප්‍රමාණයක් එම ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වෙන බව ජනතාව මන්ත්‍රීවරයාට පෙන්වා දුන්නා. ප්‍රදේශවාසීහු මන්ත්‍රීවරයාට සංදේශයක් භාරදීමටද කටයුතු කළා.

මේ අතර මන්ත්‍රීවරයා අනුරාධුපර විජයපුර දිරිය කාන්තා සමිතිය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වුණා. සමිතියේ කටයුතුවලින් පසුව කාන්තාවක් මන්ත්‍රීවරයා අසලට පැමිණියා.”මම යූඑන්පී එකේ සංවිධායයිකාවක්. අපි කවදාවත් මේ වගේ දේශපාලන රැස්වීමක් අපේ ගමේ තියලා රටේ දේශපාලනය ගැන කතා කරලා නැහැ. හැමදාම කළේ රැස්වීම්වලට සෙනඟ ඇදපු එක විතරයි. මේ වගේ සමිති හදලා ගමේ වැඩ ටික කරන්න අපි ආසයි. මීට පස්සේ මම ජේවීපී එකත් එක්ක පුරවැසි සමිතිවල වැඩකරනවා” එම කාන්තාව කීවා. ”ඔබතුමීලා වගේ ගොඩක් අය අපිට මේ වැඩසටහනේ දී එකතු වුණා. අපිට ඒ ගැන සතුටුයි. මේක අපෙයි ඔබතුමීලගෙයි හැමෝගෙම වැඩක්” මන්ත්‍රීවරයා කීවා. ඒ තමයි පත්තු ආච්චි. මෙහෙ අය දන්නේ ඒ නමින්. කලින් යූඑන්පී අරටුවක් තමයි. දැන් ඒ දේශපාලනේ එපා වෙලා” ප්‍රදේශවාසියෙක් මන්ත්‍රීවරයාගේ කනට ළංව කීවා.

දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත, පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ යන අයගේ මැදිහත්වීමෙන් සිදුකරන ලද වැඩසටහන්වලටද ශ්‍රීලනිප සහ එජාප ගම්මට්ටමේ නායකයින් සහභාගි වූ අතර ඔවුන්ද කියා සිටියේ ජවිපෙ දිරිය පුරවැසි සමිති වැඩසටහන ඉතාම සාර්ථක එකක් බවයි. ”ගමේ මිනිස්සුන්ට සාක්කුවට කීයක් හරි වැටෙන එක තමයි වැදගත්. ඒකට මුලින් වැඩසටහනක් හදලා දෙන්න ඕනෑ. ඊට පස්සේ දේශපාලන දැනුම දෙන්න ඕනෑ. අපි හිතනවා ඒක කරන්න පුළුවන් ඔබතුමාලගේ දිරිය පුරවැසි සමිතිවලට” ජනහමුවකින් පසුව ලාල්කාන්ත අසලට පැමිණ ශ්‍රීලනිප සංවිධායකයෙක් කියා සිටියා.

නුගේගොඩ රැලිය ඒකාබද්ධ විපක්ෂය සංවිධානයකොට තිබුණේ ඔවුන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කරමින් ආණ්ඩු විරෝධී ගමනක් යෑමේ පියවරක් වශයෙනි. එයට රටේ විවිධ ප්‍රදේශවලින් තම අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් ගෙන්වාගෙන තිබිණි. නුගේගොඩ අවට මංමාවත්වල පිටතින් පැමිණි බස්රථ ගාල්කර තිබෙනු දක්නට ලැබිණි.

රැස්විම මහ ඉහළින් පැවැත්වුණු ද එහි සංවිධානයේ සිදුවූ මත ගැටුම් ගණනාවක් පසුව ප්‍රකාශයට පත්විය. ඉන් පළමුවැන්න වූයේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙස හඳුන්වනු ලබන ප්‍රසන්න රණතුංග මහතාට අසුන් පනවා නො තිබීමය. රණතුංග මහතා වේදිකාවට ගොඩඑන විට ඔහු ගැන හැඳින්වීමක්ද සිදුකරනු නොලැබීය. තමන්ගේ ආසනය ගැන විමසූ විට එහි සිටි සංවිධායකයකු කීවේ “වේදිකාවේ අසන වෙන්කරලා තියෙන්නේ පක්ෂ නායකයින්ට විතරයි. මන්ත්‍රීතුමා පහළින් ඉඳගන්න” කියාය. සිදුවූ මදි පුංචිකම විඳ දරාගනිමින් ප්‍රසන්න රණතුංග මහතා වේදිකාවෙන් බැස ඉදිරිපස ආසනයක වාඩිවුණා.

අනෙක් ප්‍රශ්නය මතුවූයේ මෙය විමල් වීරවංශ මහතා පිම්බීමට යොදාගැනීම ගැනය. විමල්ගේ පටිගත කළ කතාවක් ප්‍රචාරය කරන්නට පෙර විනාඩි පහක පමණ කතාවකින් ඔහුව හඳුන්වා දෙන ලද්දේ වීරයකු වශයෙනි. විමල් වීරවංශ මහතා නිදහස් කරගැනීමට සටන් වදින බවට ප්‍රඥාවක්දීමට නැඟීසිටීමටද පක්ෂ නායකයන්ට සිදුවිය. එක් අයකුට මෙලෙස ප්‍රචාරයක් දීම අනෙක් නායකයන්ට රුචි නොවීය.

හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාද රැස්වීමේ සිටියේ එතරම් සතුටකින් නොවන බව පෙනෙන්නට තිබුනා. රැස්වීම අවසන්ව පිටත්ව යන්නට රථයට නඟින අවස්ථාවේ එහි සිටි අයෙක් මහින්දට කීවේ “විමල්ලා ගම්මන්පිලලා, පුම්බන්නට රැස්වීම යොදාගෙන ඇති බවයි “ඔව්, ඔව් මමත් දැක්කා කවුද අරක දාන්න ඉඩ දුන්නේ” කියමින් මහින්ද පිටව ගියේය.

මහින්ද රාජපක්ෂ මහතා නිවසට ගිය පසුවද එහි ගිය උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කීවේ යම් යම් අඩුපාඩු ඇතත් රැස්වීම අතිසාර්ථක බවයි. ඒ ගැන මහින්ද කිසිවක් කීවේ නැත.

නුගේගොඩ රැස්වීමේ දී මාධ්‍යවේදීන්ටද අසුන් පනවා නොතිබුණි. විශේෂයෙන්ම එයින් අපහසුතාවයට පත්වූවෝ මුද්‍රිත මාධ්‍යන්වල මාධ්‍යවේදීහුය. රැස්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී එයට සමාව ගන්නට ඩලස් අලහප්පෙරුම මහතාට සිදුවිය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිල වශයෙන් තීරණය කොට තිබුණේ නුගේගොඩ රැස්වීමට නොයන්නටය. එසේ වුවද පක්ෂ සභාපති රාජා ‍කොල්ලුරේ, මාතර වීරසුමන වීරසිංහ, ගාල්ලේ දේනෙත්ති හා බද්දේගම සමිත හිමි ඇතුළු පිරිසක් රැස්වීමට සහභාගි වූහ. මොවුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, රාජා කොල්ලුරේ මහතාගෙන් නිදහසට කරුණු විමසීමටත් යෝජනාවක් මේ සතියේ පැවැත්වෙන දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින් කටයුතු කරමින් සිටිති. ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවද ලබන සතියේ දිනක රැස්වීමට නියමිතය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *