අපට අවශ්‍ය කරන්නෙ සන්ධීය ආණ්ඩුවක්-මහාචාර්ය උපුල් අබේරත්න

අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හිතන්න ඕන මාක්ස්වාදී දෘෂ්ටියකින්. මම දරන ආස්ථානයට අනුව ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නෙ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕන ලෝක ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය තුළින්. ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය කියන්නෙ ජාතික රාජ්‍යයන් පිළිබඳ ඉතිහාසය.
මුලින්ම යුද්ධ ගැන කතා කළොත් ලෝක ඉතිහාසයේ යුද්ධය කියල කියන්නෙ ජාතීන් ගොඩනැංවීමේ ඉතිහාසයක්. යුද්ධය තුළින් බලවත් කණ්ඩායම් විසින් සුලු අනන්‍යතා තියෙන කණ්ඩායම් මකලා දානවා. ඊළඟට මම දරන ආස්ථානය තමයි නූතන මුද්‍රිත ධනවාදය කියන ප්‍රපංචය. මේ ප්‍රපංචය හරහාත් ලෝකයේ සිටින විවිධ ජන වර්ග එක ප්‍රධාන කුලකයක් යටතට ගන්න උත්සහ කරනවා. පසුව ‘ජාතීන්ට රාජ්‍යයක්’ කියන සංකල්පය යටතේ ලෝකය බෙදාගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ වෙනවා. ඒ ව්‍යාපෘතියේ දිගුවක් විදියට පරිධියේ ඉන්න අපි වගේ සමාජවලට ධනවාදය සමඟ ‘රාජ්‍යය’ කියන සංකල්පය එන්නෙ.
දේශපාලන බලය රඳා පවතින්න යම් පදනමක් තියෙන්න ඕන. දැන් තියෙන්නෙ ජාතික රාජ්‍ය එක්ක ගැටගැහුණු මූලධර්මවාදී පදනම්වාදී චින්තනයක්. ඒ චින්තනයට අනුව බලයේ නිවහන වන්නේ ජාතිය. අධිරාජ්‍යවාදීන් විසින් නිදහස ලබා දීමේදී කොන්දේසියක් පනවනවා ‘යම් යටත්වැසි රාජ්‍යයකට නිදහස අවශ්‍ය කරන්නේ නම් ඔවුන් ජාතියක් බවට පත් විය යුතුයි’ කියලා. එතකොට අපිට අදහසක් ඇති කරනවා නිදහස ලබා ගන්න නම් ඔබ ජාතියක් බවට පත් වෙන්න ඕන කියලා. ඒත් අපිට ජාතිය කියන සංකල්පය එතරම් හුරුපුරුදු නැති නිසා විවිධ ජනවර්ග විසින් මේ ජදකදබස්ක ිඒඑැ එක වටේ ජාතිය කියන දේ ගොඩනගන්න උත්සහ කළා. බටහිර රටවලදි ජාතිය මුලින් ඇවිත් රාජ්‍යය පස්සෙ ආවා. අපේ රටේදි රාජ්‍ය මුලින් ඇවිත් පස්සෙ ජාතියක් හැටියට නිර්මාණය කරගන්න උත්සහ කළා. අපිට මේ නව ව්‍යවස්ථාව ඇතුළෙ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හැමෝටම බෙදාගන්න පුළුවන් ශ්‍රී ලාංකික අනන්‍යතායක් ගොඩනගා ගන්නෙ කොහොමද කියන බරපතළ අභියෝගය තියෙනවා.
ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සාමාජිකයෙක් විදියට කටයුතු කරද්දි මම දැකපු දේ තමයි ලංකාවෙ සියලුම ජනතාවට තියෙන්නෙ වෙන්වීමට වඩා එකට ජීවත් වීමේ අවශ්‍යතාවයක්. ඒත් ඒකට අවශ්‍ය ව්‍යවස්ථානුකූල තත්ත්වය සපයා ගන්නේ කෙසේද කියන අභියෝගය අපිට තියෙනවා. මේ තියෙන ව්‍යවස්ථානුකූල රාමුව ඇතුළෙ ඒ ඉලක්කය ළඟා කරගන්න අපිට කිසිම හැකියාවක් නෑ. ඒ අනුව ජනවාර්ගික ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේ මූලික අරමුණ සපුරා ගන්න නම් අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.
78න් පස්සෙ ඉඳන් මම ජීවත් වෙලා තියෙන්නෙ මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. දේශපාලන විද්‍යාඥයෙක් විදියට මට පෙනෙන දේ තමයි ජේ. ආර්. ජයවර්ධන මහත්තයගෙ පටන් මේ වෙනකන් හිටපු හැම ජනාධිපතිවරයෙකුගෙම රාජ්‍ය පාලන ශෛලිය එකිනෙකින් වෙනස් කියන එක. බලයට පත් වෙන පුද්ගලයාගේ දේශපාලන ගුණාංග අනුව රටක දේශපාලන ශෛලිය වෙනස් වෙනව නම් එය රටක දේශපාලන සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. ස්ථාවර ආණ්ඩුවක් ගෙනයන්න නම් ජනාධිපති ක්‍රමයක් අවශ්‍යයි කියල ජේ. ආර්. ජයවර්ධනත් අද ඉන්න අයත් ඉදිරිපත් කරන තර්කය දේශපාලන ඉතිහාසයේ සාක්‍ෂි මත තහවුරු කළ නොහැකි මිත්‍යා ප්‍රබන්ධයක්. ඒ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දිනාගන්න නම් අපි දේශපාලනික වශයෙන් මේ මිත්‍යා ප්‍රබන්ධය පරාජය කළ යුතුයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය යටතේ විධායක ජනාධිපති ක්‍රමයේ තටු ගොඩක් කපලා ඉවත් කරල තියෙන්නෙ, ඒ නිසා දැන් ඒක සම්පූර්ණයෙන් අහෝසි කරන්න ඕන නෑ කියලා සමහරු කියනවා. මම කියනවා තවම ජනාධිපතිට පිස්සු නටන්න පුළුවන් කියලා. අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමේ බලය තියෙන නිසා තවමත් තමන්ට ඕන හැටියට අමාත්‍ය මණ්ඩලය නටවන්න ජනාධිපතිවරයාට පුළුවන්. මේකත් ලංකාවෙ දේශපාලන සෞඛ්‍යයට හිතකර නැති නිසා අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.
අපිට සමාජ සාධාරණත්වය අවශ්‍යයි. මේ ලිබරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ලියල දුන්න හැටියට අපිට සමාන අවස්ථා තියෙනවා. ඒත් ඒ සමාන අවස්ථාව සමහරු ආරම්භ කරන්නෙ පියවර කිහිපයක් පස්සෙන් නම් ඒ කෙනාට සාධාරණත්වය, යුක්තිය ඉටු කරන සමාජ ක්‍රමයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපේ මානව අයිතිවාසිකම් පරිච්ඡේදය වඩාත් පුළුල් කළ යුතුයි. මේ පුළුල් කිරීමට වර්තමාන රජයේ ඉන්න ඇතැම් කොටස් පවා විරුද්ධයි. ඒ නිසා මේ ගැන සාකච්ඡාව පුළුල් කරලා නව මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියක් ලබා ගන්න නම්, විකල්ප ආර්ථික සංවර්ධන මොඩලයක් ගැන හිතන්න නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. දැනටමත් මේ ව්‍යවස්ථාව සංශෝධනය කළ නොහැකි මට්ටමටම සංශෝධන ඇවිත් තියෙනවා.
ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන්න නම් ජාතීන් ගොඩනංවලා පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කළ යුතුයි. අපට අවශ්‍ය කරන්නෙ සන්ධීය ආණ්ඩුවක්. සන්ධීය ආණ්ඩුව කියන සංකල්පය සමාජගත කරල තියෙන්නෙම වැරදි ආකාරයට. ඒක සිංහල දේශපාලන නායකත්වයත් දෙමළ දේශපාලන නායකත්වයත් එකම ආකරයෙන් කරපු වරදක්. මේ වෙනුවෙන් නව සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි.
මම කැමති ලංකාව අනාගමික රාජ්‍යයක් කරනවට. හැබැයි ආගමික රාජ්‍යයක් විදයට යනව නම් සිංහල බෞද්ධයන්ට පොඩි ජොලියක් ගන්න මේ තියෙන ව්‍යවස්ථා විධිවිධාන තියාගත්තත් කමක් නෑ. දැන් ඒකත් ඉවත් කරනවද නැද්ද කියලා අපි ඉතාම නිර්මාණශීලී විදියට හිතන්න ඕන. ඒ වගේම ජාතියේ සංකේතය ගැන හිතන්නත් ඕන. ජාතියේ සංකේතය කියල කියන්නෙ මිනිස්සුන්ට එකඟතා ගොඩනගා ගන්න තියෙන චයහජදකදටසජ්ක කොටස් ටිකක්. ඒක ගැනත් නිර්මාණශීලී විදියට හිතිය යුතුයි කියලා මම යෝජනා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *