ජනපති කැලණි ගිහින් කතාවකුත් කරයි

 

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය.

තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

 

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *