|

දෙපැත්තේ ද්‍රෝහියෝ – සී. ජේ. අමරතුංග

 

පසුගිය සිකුරාදා විපක්ෂයේ කණ්ඩායමක් නුගේගොඩ රැස්වීමක් තැබුවේ එය පෙරළියක ඇරඹුම බව කියමිනි. බස් සිය ගණනකින් කැඳවාගත් තමන්ගේම අනුගාමික පිරිසකට කතා කරමින් ඔවුන් කීවේ රට බෙදන ව්‍යවස්ථාව පරාජයකළ යුතු බවකි. වෙනත් සටන් පාඨ කිහිපයක් පසුබිමේ තිබුණද මෙම කණ්ඩායමේ ප්‍රධාන සටන් පාඨය වූයේ තවමත් කෙටුම්පත් කොට නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමය. පාර්ලිමේන්තුවේදී තමන් ද දායක වී හදන ව්‍යවස්ථාවට කල්තියාම විරුද්ධ වීමය. මොවුන් කියන්න හැදුවේ නව ව්‍යවස්ථාව මඟින් ආණ්ඩුව රට බෙදන්නට යන බවත්, එය ද්‍රෝහී ක්‍රියාවක් බවත්ය.

ඒ සමඟම තවත් සිදුවීමක් උතුරින් වාර්තා විය. එය නම් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ඝාතනය කිරීමට දැරූ උත්සාහයයි. පළවූ වාර්තා අනුව එය මෙහෙයවා ඇත්තේ විදේශගතව සිටින එල්. ටී. ටී. ඊ. හිතවාදීන් පිරිසකි. මුලින් එය භාරදෙන්නට උත්සාහ දරා ඇත්තේ රුපියල් ලක්ෂ පහළවක කොන්ත්‍රාත්තුවක් වශයෙනි. එය සාර්ථක වී නැත. දෙවනුව කළ සැලැස්ම ගැන තොරතුරු රජයේ බුද්ධි අංශ වෙත ලැබෙමින් පවතියි. මෙම ඝාතන සැලසුම ගැන ඔත්තු දී ඇත්තේ ද දෙමළ ජනයා විසිනි.

සුමන්දිරන් මහතා ඝාතනය කරන්නට සැලසුම් කළ උදවිය කියා ඇත්තේ ඔහු ද්‍රෝහියකු බවයි. ඔහු කළ හා කරන ද්‍රෝහී ක්‍රියාව නම් ආණ්ඩුවත් සමඟ එක්ව දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට උත්සාහ දැරීමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීමට උත්සාහ දැරීමයි. සුමන්දිරන් මහතා මරන්නට හැදුවේ එමඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බකල් කිරීමටය. එයට සහාය දෙන මධ්‍යස්ථ දෙමළ නායකත්වය බියපත් කරන්නටය.

මෙම කරුණු සළකා බැලූ විට පෙනී යන්නේ ‍නුගේගොඩ රැස්වීමට ගොඩවූ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමේත් සුමන්දිරන් මන්ත්‍රීවරයා මරා දැමීමට සැලසුම් කළ එල්. ටී. ටී. ඊ. හිතවාදී කල්ලියේත් අරමුණ එකක්ම බවයි. එය නම් බලය බෙදන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්වීමෙනි. නුගේගොඩ කට්ටිය කීවේ නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවයි. එල්. ටී. ටී. ඊ. කට්ටිය කියන්නේ ව්‍යවස්ථාවේ බලය බෙදූ විට රට එක්සත් වන බැවින් රට බෙදන්නට නොහැකි වන බවය. දෙගොල්ලන්ගේම අරමුණ බලය බෙදා දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳා රට එක්සත් කිරීම වැළැක්වීමයි. දෙපැත්තේම අන්තවාදීන් ශක්තිමත් වන්නේ එවිටය.

ඉතිහාසයේ බොහෝ සිදුවීම් ඒවා වන මොහොතේදී වඩා හොඳින් තේරුම් ගන්නට හැකි වන්නේ පසු කලෙකදී වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව බලන විට පෙනී යන්නේ එල්. ටී. ටී. ඊ. ය දෙමළ ජනයා වෙනුවෙන් සටන් කරන බව කීවද හැමදාමත් උත්සාහ කළේ එම ජනයාගේ සැබෑ ප්‍රශ්නය විසඳීම වැළැක්වීමට බවයි. ඔවුන් හැම විටම කළේ දෙමළ ජනයා වෙනුවෙන් ක්‍රියා කරන නායකයන් මරා දැමීමය.

බලයට ඒමට පාර තනා ගැනීම

ප්‍රභාකරන් වැඩ පටන් ගන්නේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයෙනි. ඉන් නොනැවතුණු ඔහු අමිර්තලිංගම් වැනි මධ්‍යස්ථ නායකයකු ඝාතනය කළේ ඔහු පැවැති රජය සමඟ එක්ව දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගනු ඇතැයි විශ්වාස කළ නිසාය. එලෙස දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳුණහොත් එය දඩමීමා කරගෙන වෙනම රාජ්‍යයක් ගොඩනඟා ගන්නට ප්‍රභාකරන්ට හැකිවන්නේ නැත. මෙයින් පෙනෙන්නේ ප්‍රභාකරන්ගේ ඇත්ත අරමුණ දෙමළ ජනයාගේ සුබසෙත නොව තමන් රාජ්‍ය පාලකයකු බවට පත්වීම බවයි. ඉන් එහා යමක් කීම අවශ්‍ය නැත.

ආචාර්ය නීලන් තිරුචෙල්වම් ඝාතනය ද ඒ සමානම සිදුවීමකි. එල්. ටී. ටී. ඊ. ය එම ඝාතනය සිදුකරන විට නීලන් තිරුචෙල්වම් සිටියේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා කටයුතු කරමිනි. පත්මනාභ, සභාරත්නම් වැනි අනෙක් සියලු නායකයන් ඝාතනය කරන්නට ප්‍රභාකරන් කටයුතු කළේ මේ එකම අරමුණෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම කරුණා අම්මාන් ද්‍රෝහියකු ලෙස නම් කළේ ද ඔහු ඔස්ලෝ නුවර දී දේශපාලන විසඳුමකට එකඟත්වය පළකොට අත්සන් තැබීම නිසාය. ඇන්ටන් බාලසිංහම් ද එහිදී ප්‍රභාකරන්ගේ උදහසට ලක්වීය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය ප්‍රභාකරන් සැලකුවේ බලයට එන හා බලය රැකගන්නා මාර්ගයක් වශයෙන් පමණක් බවයි. එය විසඳන විකල්ප ක්‍රියාමාර්ග ප්‍රචණ්ඩ ලෙස යටපත් කරන්නට ඔහු ක්‍රියා කළේ ඒ නිසාය.

දකුණේ අපේ‍ දේශප්‍රේමීන්ගේ තත්ත්වය ද ඊට වෙනස් නැත. දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳීමට දැරූ සෑම උත්සාහයකටම දකුණේ අන්තවාදීහු විරුද්ධ වූහ. විසඳුම් කඩාකප්පල් කරන්නට ක්‍රියා කළෝය. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම ආදියේ සිට පළාත් සභා ක්‍රමය හා සටන් විරාම ආදී සෑම අවස්ථාවකම අපට දකින්නට ලැබුණේ එම තත්ත්වයයි. හැමවිටම සිදුවූයේ දේශපාලන බලය ලබාගැනීම සඳහා ජාතිවාදය වැපිරීමයි. එහිදී සත්‍යය වෙනුවට හැම විටම කළේ බොරු බිල්ලෙකු මවාපෑමයි. එසේ කළේ ආණ්ඩු පෙරළීමට, බලය ලබාගැනුමට මාර්ගයක් පාදාගැනීම සඳහා බව දැන් පැහැදිලිය.

පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නට යන විට උතුරේදී එයට එරෙහි වූයේ එල්. ටී. ටී. ඊ. යයි. දකුණේ ද දේශප්‍රේමීන් කියාගත් පිරිසක් එයට විරුද්ධ වූහ. දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳීම සඳහා සහාය දුන් වාමාංශික නායකයෝ රාශියක් ඝාතනයට ලක්වූහ. උතුරේත්, දකුණේත් මෙම අන්තවාදී ක්‍රියාකාරීත්වය නිසා අවසානයේ පළාත් සභා ක්‍රමය හරිහැටි ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වීය.

ප්‍රධාන පක්ෂ දෙකේ සන්ධාන ආණ්ඩුවක් යෝජනා වූයේ ද මෙම ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි. එක පක්ෂයක ආණ්ඩුවක් ප්‍රශ්නය විසඳන්නට යන විට අනෙක් පක්ෂය විරුද්ධ වීම වැළැක්වීම මෙහි අරමුණකි.

ජාතිවාදය ඇවිස්සීම

පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස පත්කර ගත්තේ ද ඒකටය. එහෙත් දැන් අන්තවාදී පිරිස ඒකාබද්ධ විපක්ෂය කියා එකක් අටවාගෙන ජාතිවාදය දඩමීමා කරගෙන බලය ගන්නට දඟලති.

මොවුන්ගේ මෙම ක්‍රියාමාර්ගය අවස්ථාවාදී දේශපාලනයක් බව තේරුම් ගැනීමට බොහෝ කාරණා තිබේ. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීමට යන බව කියන එක් අයෙක් නම් 2001 දී මෙරටට ෆෙඩරල් ව්‍යවස්ථාවක් සැකසූ මහාචාර්ය ජී. එල්. පීරිස් ය. ඔස්ලෝ හිදී ඔහු එල්. ටී. ටී. ඊ. යට කීවේ රට නොබෙදා ෆෙඩරල් ව්‍යවස්ථාවකින් දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට කැමැති බවයි. ෆෙඩරල් වුවත් රට නොබෙදෙන බව දන්නා ජී. එල්. ඒකීය ව්‍යවස්ථාවකින් බලය බෙදාගන්නට යන විට විරුද්ධ වන්නේ කුමන හේතුවක් නිසාද යන්න සිතාගැනීම මහජනයාට අපහසු නැත.

නව ව්‍යවස්ථාවට විරුද්ධ වේදිකාවේ සිටින තවත් අයෙක් නම් කලෙකට පෙර දෙමළ ජනයාගේ විමුක්ති සටන ගැන කතා ක‍ළ වාසුදේව නානායක්කාර මහතාය. එමෙන්ම මහාචාර්ය තිස්ස විතාරණ ද එහි සිටියේය. මොවුන් කරන්නේ දැන දැන මහජනයා නොමග යැවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

දේශප්‍රේමීන් ලෙස පෙනී සිටින්නට හදන අනෙක් බොහෝ දෙනා රටට විනකළ උදවියයි. ජාතික දේපළ කොල්ලකෑ අයයි. එක් දේශප්‍රේමියකුගේ රථගාය දැන් හෙළිදරව් වී ඇත. ඔහු කර ඇත්තේ මහජන මුදලින් තම පවුලේ ඥාතීන්ට හා හිතවතුන්ට සුර සැප විඳින්නට ඉඩ සලසා තිබීමයි. තවත් කෝටි ගණන් විනාශ කළ හැටි ද හෙළිදරව් වෙමින් පවතියි. මහා දේශප්‍රේමීන් ලෙස තවමත් වීර කතා කියන්නේ ජාතික ධනය කොල්ලකෑ මෙබඳු අපරාධකාරයන් පිරිසකි.

යුද්දෙට යැයි ගෙනා මිග් යානාවලින් කොමිස් ගසා ඇති ආකාරය ද දැන් හෙළිදරව් වෙමින් පවතියි. ඇතැමුන්ගේ ගිණුම්වලින් කෝටි ගණන් මුදල් මතුවෙයි. මේවා දේ‍ශප්‍රේමී ලෙස පෙනී සිටින තක්කඩීන්ගේ මුදල් බව මහජනයාට අමුතුවෙන් කියා දිය යුතු නැත. හරියට කැරැට්ටුව ඇදුනොත් නුගේගොඩ වේදිකාවේ සිටි වැඩිදෙනෙක් මේ වන විට නැතත් ඉදිරියේදී සිටිය යුත්තේ සිරගෙවල්වලය. ඒ අනතුරින් ගැළවීමත්, ඒ සඳහා විවිධ ඩීල් දමා ගැනීමත් මොවුන්ගේ ඊනියා දේශප්‍රේමී සටනේ එක් අරමුණක් බව පෙනෙන්නට තිබේ.

එල්. ටී. ටී. ඊ. ය උතුරේ හිස ඔසවන්නට හදනවාය යන ප්‍රවෘත්තියක් ලැබුණහොත් එයින් අමන්දානන්දයට පත්වන පිරිසක් දකුණේ වෙත් නම් ඒ නුගේගොඩ වේදිකාවේ සිටි පිරිසය. ඔවුන්ගේ ජාතිවාදයට ඔක්සිජන් ලැබෙන්නේ උතුරේ ජාතිවාදය ශක්තිමත් වුවහොත්ය. කෙසේ වෙතත් සුමන්දිරන් ඝාතන තැත ගැන වාර්තා වී ඇත්තේ එය විදේශයකින් මුදල් ගෙවා කරන්නට ගිය කොන්ත්‍රාත්තුවක් වශයෙනි. එය ඇත්ත නම් එම ඊනියා දෙමළ දේශප්‍රේමීන්ගේ අරමුණ ද පැහැදිලිය. ඔවුනට ජාත්‍යන්තර වශයෙන් මුදල් රැස්කරන්නට හැකිවන්නේ රට තුළ මෙහෙම දේ සිදුවෙනවා නම් ය. ඉන් එහා කතා කිව යුතු නැත.

ප්‍ර‍භාකරන් කළ උපකාරය

තේරුම් ගත යුතු කාරණය වන්නේ උතුරේත්, දකුණේත් අන්තවාදී ‍ජාතිවාදී බලවේග එකිනෙකට ප්‍රතිවිරුද්ධ බව පෙනී ගියත් ඒ දෙක එකිනෙකින් නඩත්තු වන බවයි. උතුරේ ජාතිවාදය ශක්තිමත් වන්නේ දකුණේ ජාතිවාදය ශක්තිමත් වන තරමටය. එහි ප්‍රතිපක්ෂයම එලෙසම සත්‍යය.

2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරදා මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට ප්‍රභාකරන් දෙමළ ජනයා ඡන්දපොළට යෑම වළකන ලද්දේ හුදෙක් මුදල් ගනුදෙනුවකට නොවන බව ද තේරුම් ගත යුතුය. රාජපක්ෂලා දුන් කෝටි ගණනක මුදලින් හමුදාවට පහරදීමට ප්‍රභාකරන් ආයුධ ලබාගත් බව හෙළිදරව්ව තිබෙන ඇත්තකි. එසේ වුවද ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා පැරදවීම ප්‍රභාකරන්ගේ ද අවශ්‍යතාව වී තිබිණි. සාමකාමී දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටි වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා මඟින් දේශපාලන විසඳුමකට එන ලෙස ජාත්‍යන්තර බලපෑම ප්‍රභාකරන් වෙත එල්ල වීම වළක්වා ගැනීම එම වුවමනාවයි. රනිල් තමන්ට ජාත්‍යන්තර උගුලක් ඇටවූ බව ප්‍රභාකරන් කීවේ ඒකය.

වෙනම රාජ්‍යයක් සඳහා සටනක් ඇතිවීමේ පසුබිමක් මේ වන විට උතුරේ නැත. එයට ප්‍රධාන හේතුව නම් දෙමළ ජනයාට එබඳු වුමනාවක් කිසිදා නොතිබීමයි. ඔවුන් වෙනම රාජ්‍ය සටනට සහය දුන්නේ එමඟින් දේශපාලන විසඳුමකට මඟපාදා ගැනීමටය. ප්‍රභාකරන් එය නොකරන බව දුටු විට දෙමළ ජනයා ඔහුගෙන් ඉවත්විය. දෙමළ තරුණයන් බලහත්කාරයෙන් බඳවා ගැනීමට ප්‍රභාකරන්ට සිදුවූයේ ඒ නිසාය. ප්‍රභාකරන්ගේ පරාජය සහතික වූයේ ‍එලෙසය.

නවසිය හැත්තෑ ගණන්වල හා අසූ ගණන්වල දෙමළ තරුණයන් අතර තිබූ මිථ්‍යාවද දැන් නැත. දෙමළ රාජ්‍යයකට ඉන්දියාව ආධාර කරනු ඇතැයි ද, ශීතල යුද තත්ත්වය නිසා එවකට පැවැති සෝවියට් දේශය වෙනම රාජ්‍යයට සහය දෙනු ඇතැයි ද එදා ඔවුහු සිතූහ. එබඳු කිසිදු මිථ්‍යාවක් අදට වලංගු නැත. එමනිසා කිසිදා ජයගත නොහැකි අරමුණකට ජීවිත බිලිදෙන්නට දෙමළ ජනයා සූදානම් වන්නේ නැත. මෙය සැබෑම යථාර්ථයයි.

මධ්‍යස්ථ බලය ශක්තිමත් වීම

අද උතුරේ සිදුවෙමින් තිබෙන්නේ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් මහජනයාගෙන් ප්‍රතික්ෂේප වෙමින් මධ්‍යස්ථ නායකත්වය ශක්තිමත් වීමයි. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ආදීන් මහජනයාගෙන් ප්‍රතික්ෂේප වෙමින් එම්. ඒ. සුමන්දිරන්‍ලා ඉදිරියට එන්නේ ඒ නිසාය. සුමන්දිරන් මරන්නට පිටරට සිටින එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට වුවමනා වන්නේත් ඒකය.

උතුරේ අන්තවාදය එලෙස පරාජය වී ඇති තත්ත්වයක් තුළ දකුණේ අන්තවාදයට ද යන එන මං නැති වන එක සිකුරුය. ව්‍යවස්ථා විරෝධී සටන උත්සන්නව අන්තවාදීන් වසරකට වැඩි කලක් තිස්සේ වරින්වර දැරූ උත්සාහයන් ව්‍යාර්ථ වූයේ ඒකය. නුගේගොඩ රැලිය ඔවුන්ගේ තවත් ඛේදවාචකයකි. ඔවුන් ජාතිවාදයේම එල්ලී සිටීමෙන් තව තවත් පෙන්නුම් කරන්නේ දේශපාලන බංකොලොත් බව මිස අන් යමක් නොවේ.

මහජනයා තේරුම් ගත යුතු කාරණය වන්නේ උතුරේ අන්තවාදය අවසන් කළ හැක්කේ දකුණේ අන්තවාදයට ද තිත තැබීමෙන් බවයි. මේ ඒ සඳහා සුදුසුම මොහොතයි. එය නිසැකවම සිදුවන බව ද පෙනෙන්නට තිබේ.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *