බැඳුම්කරෙන් ජීවත් වීම වෙනුවට ඇත්ත සෙවීමේ මාධ්‍යකරණය – අජිත් පැරකුම් ජයසිංහ
සාමාන්‍ය ජනතාවට මේ මහේක්ෂ ආර්ථික කාරණා තේරෙන්නේ නැත. මෙම කරුණු ඔවුන්ට තේරෙන බසින් සරළව කියා දීම මාධ්‍යවල කාර්යයි. මෙතැන සිදු වූ සිදු වීම වන්නේ මෙයයි: මහ බැංකුව 12.5%ක ස්ථිර පොළියට තිස් අවුරුදු කාලයක් තුළ ගෙවීම පිණිස රු. බිලියනයක් අවශ්‍ය බව ප්‍රාථමික මුල්‍ය වෙළඳපොළට දැනුම් දුන්නේ ය. එහෙත්, අවසානයේදී, අසාමාන්‍ය අන්දමට කටයුතු කරමින්, රජය රු. බිලියන 10ක් ම ණයට ගත් අතර එයින් රු. බිලියන පහක් ම රජයට ණයට දුන්නේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමයි. මෙම ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධික ලාභයක් ලබන්නේ ඒ වන විට ද්විතීයක වෙළඳපොළේ රු. 120කට පමණ විකිණිය හැකි වූ රු. 100 බැඳුම්කර රු. 91 බැගින් මිළ දී ගන්නට හැකි වීමෙනි. එය අති දැවැන්ත ලාභයකි.
මහ බැංකු බැඳුම්කර නිකුතුවෙහිදී රජයට පාඩුවක් සිදු වී තිබේ. අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම දැවැන්ත ලාභයක් ලබා තිබේ. එම සමාගමට එවැනි දැවැන්ත ලාභයක් ලබා ගැනීමට හැකි වුණේ ඇලෝසියස්ගේ මාමා වූ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හෝ මහ බැංකුවේ වෙනත් නිලධාරීන් හෝ ඔහුට අභ්‍යන්තර රහස් හෙළිදරව් කිරීම නිසා ද යන්න තාක්ෂණික විමර්ශනයකින් සොයා ගත යුතු ය. මෙවැනි වැරදිවලට දැඩි දඬුවම් ලබා දීමට හැකි නීති තිබේ.
දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් කළ යුතුව තිබෙන්නේ එක එක ජාතියේ වාර්තා හදමින්, කොමිසම් පත් කරමින් සිටීම නො ව, එවැනි විමර්ශනයක් සිදු කර සත්‍යය සොයා ගැනීමයි. මෙය සිදු වූ ආකාරය හරියට ම දන්නා විපක්ෂයේ හා මාධ්‍යවල උදවියට තමන් දන්නා සාක්ෂි මේ මොහොතේ පවා ඉදිරිපත් කළ හැකි ය. ඔවුන් එය නො කරන්නේ ඇයි?
මෙතන සිදු වී ඇත්තේ අභ්‍යන්තර තොරතුරු ලබා දීමේ අපරාධයක් නො වේ නම්, එය වෘත්තික නොසැලකිලිමත්කමින් රජයට පාඩු වන අන්දමින් ක්‍රියා කිරීමේ වරද විය යුතු ය. එසේ කර තිබෙන්නේ සිතා මතා රජයට පාඩු කිරීමට නම්, ඒ සම්බන්ධයෙන් ද දැඩි දඬුවම් පැමිණවිය හැකි ය.
එසේ නො වේ නම්, මේ වනාහි සමාගමක් ඉතා උපායික ලෙස කටයුතු කිරීමෙන් අධික ලාභයක් ලබා ගත් දක්ෂකමක් විය යුතු ය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට මිස පාඩු ලබන්නට නො වේ. ඒ නිසා ධනවාදය තුළ සිටිමින් සමාගම් අධික ලෙස ලාභ ලැබුවා ය කියා චෝදනා කිරීම මුග්ධකමකි.
බැඳුම්කර සිද්ධිය යනු ඇත්ත වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ අවසානයේ ආරම්භයයි. මේ ආණ්ඩුවෙන් පසු රනිල්ගේ නායකත්වයෙන් තවත් ආණ්ඩු පිහිටුවන්නට නො ලැබෙන තරම් ම මෙම අපවාදය ප්‍රබල ය. එසේ ම, රාජ්‍ය බලය ගිලිහුණු සැණින් එක්සත් ජාතික පක්ෂය බිඳී විසිරී යන තරමට හා රනිල්ගේ නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස ම එජාපයට නායකත්වයක් නැතිව දුබල පක්ෂයක් බවට පත් වන තරමට මෙම සිද්ධිය ප්‍රබල ය.
එහෙත්, බැඳුම්කර සිද්ධිය ගැන මේ ටිකත් කිව යුතු ය. ග්‍රීක් බැඳුම්කර මිළ දී ගැනීමේ ක්‍රියාමාර්ගයේදී මෙන් ඒ සල්ලි රටින් පිට ගියේ නැත. පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලබා ගත් දැවැන්ත ලාභය අපනයන කර්මාන්ත ආරම්භ කිරීමට යොමු කර ගත්තා නම් එයින් රටේ ආර්ථිකයට යම් ප්‍රයෝජනයක් ලබා ගන්නට තිබිණි. එහෙත්, ඇලෝසියස්ලා, මහේන්ද්‍රන්ලා, රනිල්ලා එකතු වී කරමින් ඉන්නේ මාධ්‍ය ආයතන මිළ දී ගැනීම හා ආරම්භ කිරීමයි.
ලංකාවට දැනටත් මාධ්‍ය වැඩි ය. අවධානය දිනා ගැනීමට හා ඒ ඔස්සේ දැන්වීම් අලෙවි කර ගැනීමෙන් ලාභ ලබා ගැනීම සඳහා මාධ්‍ය නො කරන දෙයක් නැත.
බැඳුම්කරය යනු මේ වන විට අර්ජුන්ලාගේ රනිල්ලාගේ පමණක් නොව මාධ්‍ය ආයතනවල ද ලාභ ලබන මාර්ගයක් වී තිබේ. එය මාධ්‍යවේදීන් යයි තමන් හඳුන්වා ගන්නා ඇතැමුන්ගේ ජීවනෝපාය වී තිබේ. බැඳුම්කර සිද්ධිය ගැන එක එක විධියේ වාර්තා ලිවීම මේ වන විට 1971 හා 89 කැරැලිවල ලේ, කඳුළු විකුණාගෙන කෑම තරම් ම සුලබ වී තිබේ.
බැඳුම්කර සිද්ධියෙන් මතු වූ වැදගත් කරුණක් තිබේ. එනම්, ධනේශ්වර ආර්ථිකයේ මහේක්ෂ තලයේ මුල්‍ය වෙළඳපොළවල තිබෙන කූට, චෞර, කෑදර ස්වරූපය හෙළිදරව් වීමයි. එය ඇත්තෙන් ම නිෂ්පාදන සමාගම් කම්කරුවන්ගෙන් කරන සූරාකෑම වැනි එකක් නො ව, අතිශය කෘර අන්දමින් සමස්ත ජනතාව ම සූරාකන ක්‍රමවේදයකි.
ධනේශ්වර මුල්‍ය වෙළඳපොළ වනාහි අතක් පයක් හොල්ලන්නේ ම නැතිව, ධන බලය හා වරප්‍රසාදිත තත්වයන් පාවිච්චි කර සිදු කරන අතිශය කෘර සූරාකෑමක තෝතැන්නකි. ගමේ ගිනි පොළීකාරයාගේ සිට කොටස් වෙළඳපොළ හරහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් දක්වා ම සිදු වන්නේ එයයි. මේ වනාහි කිසිදු ඵලදායී වැඩක් නො කරන ධනේශ්වර නිකමුන් පිරිසකි.
සමාජවාදය ගොඩනගන්නට අරගල කරන කම්කරු පංති බලවේගවල වෛරයට සාමාන්‍යයෙන් ලක් වන්නේ කර්මාන්ත හිමියන් ය. එහෙත්, මුල්‍ය ධනපති ස්ථරය යනු කර්මාන්ත හිමියන් ද නිර්දය ලෙස සූරාකන, ඒ ගමන් ජාමෙත් බේරාගෙන ජීවත් වන සීතල සොරුන් පිරිසකි.
ගම්වලදී නම් මෙම ගිනි පොළීකරුවෝ මහජන නියෝජිතයන් බවට පවා පත් වෙති.
ජාතික මට්ටමේදී ඔවුන් කොයි තරම් අහිංසක රංගනයක් ඉදිරිපත් කරනවා ද යන්න පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පහත වීඩියෝවෙන් දැක ගත හැකි ය. මෙවැනි දැන්වීම් නිර්මානය කරන්නන් වාමාංශික හා මානව හිතවාදී අදහස් දරණ මහා සිනමාකරුවන් ද විය හැකි ය. ධනවාදය කෙතරම් සංකීර්ණ වී තිබේ ද? සමාජවාදය වෙනුවෙන් සටන් කරන්නන් අඩු ගානේ ධනවාදය හඳුනාගන්නටවත් උත්සාහ කරනවා ද?