එදා – අද වෙනසේ වෙනස – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

 

 

 

 

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්ති සංවාදය (Japan – Sri Lanka Policy Dialog) ජනවාරි 02 වැනි දා මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි. මීට සෑහෙන කලකට පෙර නිත්‍ය මට්ටමකින් පැවැත්වුණ එම සංවාදය පසුගිය වසර හත තුළම නැවතී තිබුණි. ඉන්පසු ප්‍රථම වරට එය එදින නැවත ආරම්භ වූ අතර ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා එහිදී ප්‍රකාශ කළේ ඉතා කෙටි කලක් තුළ දී ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳව තමා පුදුමයට සහ සතුටට පත්වන බවය.

2019 ආණ්ඩු වෙනසින් පසු සැහැල්ලු‍ දුම්රිය පද්ධතිය ඇතුළු ජපන් ආධාර යටතේ දීර්ඝ කාලීන ණය මත පදනම්ව ආරම්භ කර තිබූ ව්‍යාපෘති කිහිපයක්ම කිසිදු හේතුවක් නොදක්වා ශ්‍රී ලංකා රජය විසින් ඒක පාර්ශ්වීයව නවතා දමා තිබුණි. මේ හේතුව නිසා රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉතා අමිහිරි මට්ටමකට පත්ව තිබුණේ යැයි ප්‍රකාශ කිරීම නිවැරැදිය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජපානයේ සංචාරයක යෙදීම ආදිය මගින් දැන් සම්බන්ධතා යථා තත්ත්වයට පත්කරගෙන තිබේ. ජපන් තානාපතිවරයා පුදුමයට පත්වූයේ රට බංකොළොත්භාවයට ප්‍රකාශයට පත්වීමෙන් පසු ගත වූ කෙටි කාලය තුළ දී ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳවය.

 

 

 

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව වැනි රටවල් මුහුණ දුන් ආර්ථික ගැටලු‍ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ තවත් සාකච්ඡාවකට මෙවර ලෝක ආර්ථික සමුළුව හේතුවෙන් මග විවෘත වී තිබේ. ජනාධිපතිවරයා එම තත්ත්වය තේරුම් ගෙන මෙම සමුළුවෙන් උපරිම ඵල නෙළා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. ඔහු අගමැතිවරයා ලෙස 2015 සිට ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී තිබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා රැසක් විවෘත විය. කෙසේ වුවද 2019 දේශපාලන වෙනස්කම්වලින් පසුව ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබුණේ නැත. එයට හේතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සහ ආර්ථික දැක්ම නිසාම ඒ සඳහා ආරාධනා ලැබී තිබුණ ද එම අවස්ථාව ඉන් පසුව නොලැබී යෑමයි.

පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයාගේ යාපන සංචාරයෙන් පැහැදිලි කරන ලද්දේ රට ක්‍රම වෙනසකට හෙවත් ‘සිස්ටම් චේන්ජ්’ එකක් වෙත කොතරම් දුරට ගමන් කර තිබෙන්නේ ද යන්නයි. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාව සහ රජය අතර විශාල පරතරයක් ගොඩනැගී තිබුණු බව රහසක් නොවේ. එය භෞතික කරුණුවලට වඩා මානසික කරුණු මත පදනම්ව ගොඩනැගුණු පරතරයක් බව පෙනෙන්නට තිබේ. යුද්ධයෙන් පසු උතුර සහ දකුණේ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැගීම පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමු වූ බවක් නොපෙනේ. එනිසා ජනතාව අතර දුරස්ථභාවයක් වර්ධනය වෙමින් තිබුණි. අරගලයේ එක ඉල්ලීමක් වූයේ වාර්ගික පදනම මත ඇතැම් ජන කොටස් අතර ගොඩනැගෙමින් පවත්නා මෙම විරසකභාවය නැති කර ගත යුතු බවය. ඒ පිළිබඳ තරුණ පරපුරේ මතවාද සහ අභිප්‍රායන් අරගල භූමියේ පැවැති සංස්කෘතික සහ ප්‍රසාංගික කටයුතුවලදී මෙන්ම එම භූමියේ පැවැති විරෝධතාවලදී ද ප්‍රදර්ශනය විය.

ද්‍රවිඩ ජනතාව අතර වැඩියෙන්ම විශ්වාසය දිනාගත් සිංහල නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම රටේ ද බහුතරයක් දෙනාගේ පිළිගැනීම වී ඇතැයි සිතමි. ඔහු අගමැතිවරයාව සිටිය දී එල්.ටී.ටී.ඊය සහ රජය අතර ඇතිකර ගනු ලැබූ සාම ගිවිසුම යුද්ධයක් වළක්වා ගැනීමට දැරූ අවසන් ප්‍රයත්නය ලෙස හැඳින්විය හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා විශාල උත්සාහයක් ගනු ලැබූව ද එල්.ටී.ටී.ඊයේ ක්‍රියාකාරීත්වය සහ දේශපාලනමය තත්ත්වයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය.

අරගලයේ දී තරුණ පිරිස ඉදිරිපත් කළ එක් ඉල්ලීමක් වූයේ රට තුළ වාර්ගික විසමතා උත්සන්න වන ආකාරයෙන් කටයුතු නොකර ජනවර්ග අතර විශ්වාසය තහවුරු කෙරෙන පිළිවෙතකට යොමු විය යුතු බවය. රනිල් වික්‍රමසිංහ මහතා එම ඉල්ලීම පිළිගෙන උතුරට සාමයේ පණිවිඩය රැගෙන යමින් සිටී. ඒ තුළ ඇතිවන වෙනස්කම් හේතුවෙන් ජාතිවාදය ඇති කිරීමට සමහර දේශපාලන පක්ෂවලට ඉඩ නොලැබෙනු ඇත. එනිසා සමහර දේශපාලන පක්ෂ රනිල් උතුරට පැමිණීම පිළිබඳව විරුද්ධය. රනිල්ට ද්‍රවිඩ ජනතාව කැමැතිය. එනිසා උතුරු නැගෙනහිර ජාතිවාදී නායකයන් නොමැතිව වුවද උතුරට යෑමට ඔහුට හැකියාවක් ඇත. වසර මුලදී ඔහුගේ යාපන සංචාරයෙන් පිළිඹිබු කරන්නේ එම තත්ත්වය බව පැහැදිලි වේ.

මේ ආකාරයට අරගලයේ දී එයට නායකත්වය දුන් තරුණ පරපුරත් මධ්‍යම පාන්තික ජනතාවත් අපේක්ෂා කරන ලද ආකාරයේ ක්‍රම වෙනසකට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ඒ හා සමාන අනෙක් කරුණු ඔස්සේ ද පැහැදිලි වන බව පෙනේ. අරගලයට හේතු වූයේ එක අතකින් කොවිඩ්, විදේශ විනිමය හිඟය, භාණ්ඩ හිඟය ආදිය හේතුවෙන් මහජනතාවට ගෙන දුන් පීඩනයයි. අනෙක් අතින් දිගු කලක් තිස්සේ රට එකම ආකාරයකින් පවත්වාගෙන යෑමත් ඒ තුළ යහපාලනයකට අදාළ අයුරින් වෙනස්කම් සිදුව නොතිබීමත් එවැනි තත්ත්වයක් තුළ අපේක්ෂා භංගත්වයට පත්ව සිටින තරුණ පරපුරෙන් නැගුණ විරෝධතාවයි. දූෂණයට, අක්‍රමිකතාවලට සහ භීෂණයකට ඉඩ සලසන පැරැණි ක්‍රමයේ වෙනසක් ඇති කිරීමත් සාධාරණ සහ යුක්තිගරුක සමාජයක් ඇති කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව විය. ආර්ථික පීඩනය සහ අර්බුදය අවසන් කිරීමටත් තරුණ පිරිස් අපේක්ෂා කරන ආකාරයේ ‘සිස්ටම් චේන්ජ්’ එකක්, ක්‍රම වෙනසක් ඇති කිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගනු ලැබ ඇති බව පෙනේ.

ආර්ථික පීඩනය හේතුවෙන් ජනතාව විඳි අපහසුතාවලින් ඔවුන් ගලවා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු මුහුණ දීමට සිදු වූ පළමු අභියෝගය විය. අද පෝලිම් කිසිවක් නැත. භාණ්ඩ හිඟයක් නැත. ආනයන පාලනය අවම මට්ටමකට ගෙනැවිත් තිබේ. විදේශ ප්‍රේෂණ, සංචාරක ආදායම ආදිය ඉහළ ගොස් රටේ විදේශ සංචිත ප්‍රමාණය ද සැලකිය යුතු මට්ටමකින් වැඩි කරගෙන තිබේ. කෙසේ වුවද මිල මට්ටම් ඉහළ යෑම, බදු අනුපාත ඉහළ යෑම වැනි ගැටලු‍ ද තිබෙන බව අප අමතක කළ යුතු නැත.

ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදු වූ අනෙක් අභියෝගය වූයේ අරගලයට දායකත්වය දුන් තරුණ පරපුර සහ මධ්‍යම පාන්තික බුද්ධිමතුන් අපේක්ෂා කළ ආකාරයට ක්‍රම වෙනසකට මග පාදන ආකාරයේ වෙනස්කම් හඳුන්වා දීමය. ගත වූ වසර එකහමාර තුළ ඒ සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් ඇතිව තිබෙන බව දැකගත හැකි වේ.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලෙස ඉල්ලා සිටියේ නැත. එසේ වුව ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු එම සංශෝධනය සම්මත කරවා ගත්තේය. ඒ තුළින් අරගලකරුවන් ඉල්ලා සිටි ආකාරයට මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ ආදී අංශවල ස්වාධීනතාව තහවුරු කිරීමට කටයුතු කළේය. ඒ අතරම පාර්ලිමේන්තුවට ආංශික කාරක සභා ක්‍රමය හඳුන්වා දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටේ පරිපාලනය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දුන්නේය. මන්ත්‍රීවරුන්ගේ මට්ටමෙන් විවිධ අදහස් සහ යෝජනා සංවාදයට ලක් කිරීම සඳහා ඉඩ සලසා දුන්නේය. එසේම ඒවා මගින් පාරදෘශ්‍යභාවය, වගවීම සහ වගකීම වැනි මූලධර්ම තහවුරු කිරීම සඳහා ද කටයුතු කර තිබේ.

රජය විසින් තරුණයන් ඉල්ලා සිටි ආකාරයෙන් නාස්තිය, දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීම සඳහා නීති ක්ෂේත්‍රය තුළ වෙනස්කම් රැසක් හඳුන්වා දී තිබේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද මැතිවරණ වියදම් පාලන පනත මගින් මුදල් ඇති අයට ඡන්දය වෙනුවෙන් ඇති තරම් වියදම් කිරීමට තිබූ ඉඩකඩ අහුරා තිබේ. එවැනි වියදම් පාලනය කිරීම සඳහා ද පියවර ගෙන තිබේ. ඒ අතරම රජය විසින් දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කරගෙන තිබේ. එතෙක් පැවැති දූෂණ විරෝධී අණපනත්වල තිබූ අඩුලු‍හුඬුකම් බෙහොමයක් මග හරවා ගැනීමට ද දූෂණවල යෙදෙන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමට ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් විවේචන එල්ල වූ ප්‍රධාන කරුණක් වූයේ ත්‍රස්ත විරෝධී පනතයි. ඒ දැඩි මර්දනකාරී සහ මානව හිමිකම්වලට බාධා වන නීති රීති අඩංගුව ඇතැයි චෝදනා නැගුණි. රජය එම පනත සංශෝධනය කර ජාත්‍යන්තර මට්ටමේ පවත්නා නීති රීතිවලට අනුකූල වන අයුරින් නව පනතක් හඳුන්වා දීම සඳහා කටයුතු කර තිබේ. ඒ අතරම වාර්ගික ගැටුම් තිබූ දකුණු අප්‍රිකාව වැනි රටවල අනුගමනය කළාක් මෙන් සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමක් ඇති කිරීමට ද කටයුතු කර තිබේ. ඒ අතරම රජය විසින් මහ බැංකු ස්වාධීනතාව සඳහා වූ පනතක් ද සම්මත කරගනු ලැබූ අතර එම පනත මගින් රජයට මුදල් මුද්‍රණය කිරීමට ද, ණය ලබා ගැනීමට ද තිබූ හැකියාව පාලනය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව ගත වී ඇත්තේ තවමත් වසර එක හමාරක කාලයකි. එම කාලය තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ගවලින් පැහැදිලි වන්නේ අරගලයෙන් ඉල්ලපු වෙනසට වඩා රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ ඇති කළ වෙනස බොහෝ දුර ගොස් ඇති බවය.

 


 

කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ


හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය


සුනන්ද මද්දුමබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *