මේ විගණකාධිපතිත් වැඩ කරන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුව ඉලක්ක කරගෙන ද? – අජිත් පැරකුම් ජයසිංහ

අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් හා වරප්‍රසාද බලාපොරොත්තු වන ලක්ෂ 15ක මධ්‍යම පංතිකයන්ගෙන් සමන්විත, අකාර්යක්ෂම ඊනියා සුබසාධන සේවාවන් මත සිය පැවැත්ම සාධාරණීකරණය කර ගන්නා රාජ්‍ය අංශය ලංකාවේ ආර්ථික දේහය මත ඇති දැවැන්ත ම පිළිකාව බව අප මීට කලිනුත් පෙන්වා දුන්නෙමු. ලංකාවේ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කරන බදු හා ණයවලට මූලික හේතුව මෙම අකාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රයට පොම්ප කරන්නට සිදු වී තිබෙන මහජන මුදල් කන්දරාවයි.

සමස්තයක් ලෙස ම රාජ්‍ය සේවය ජන පීඩක ය. ඉහළ රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා දූෂිත ය. තීරු බදු රහිත වාහන, විදේශ සංචාර වැනි වරප්‍රසාද රැසක් ද දේශපාලකයන් සේ ම ඔවුහු මහජන මුදලින් භුක්ති විඳිති. ඇත්ත වශයෙන් ම, ජනතාව වැඩියෙන් ම පීඩාවට පත් වන්නේ ප්‍රමාණාත්මකව දේශපාලකයන් සංඛ්‍යාවට වඩා වැඩි මෙම ස්ථරය විසින් කරනු ලබන දූෂණ හා ඔවුන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙනෙි. එහෙත් ඔවුහු දේශපාලකයන්ට මුවා වී සිය සොරකම් වසාගෙන සිටිති.

රාජ්‍ය නිලධාරීන්ගේත්, දේශපාලකයන්ගේත් කුහකකම හොඳින් නිරූපණය කරන අවස්ථාවකි, පෙබරවාරි මාසයේදී ගැසට් කිරීමට නියමිත බව කියන ජාතික විගණන පනත් කෙටුම්පත.

මෙම පනත දැන් කාලයක් තිස්සේ ඇදි ඇදී තිබේ.එයට ප්‍රධාන හේතුවක් වන්නේ පරිපාලන සේවා සංගමය හා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අතර තිබෙන කඹ ඇදීමකි. එසේම, දේශපාලකයන් ද මෙයට සම්බන්ධ ය. ඔවුන්ට උවමනා වන්නේ පරිපාලන නිලධාරීන් කඩේ යවාගෙන මඩිය තර කර ගන්නට ය. විගණනය ඔවුන්ගේ සතුරකු වන්නේ ඒ නිසා ය.

රාජ්‍ය මුදල් හා දේපල සම්බන්ධ විගණන ප්‍රශ්නවලදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට අධිභාරයන් පැණවීමේ බලතල මුලින් ඉදිරිපත් කරන ලද විගණන පනතෙහි තිබිණි.එහෙත්, පරිපාලන සංගමයේ නිලධාරීන්ගේ විරෝධය මැද දැන් එය අකුළාගෙන තිබේ.

මේ අතර, විගණන රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රු. ලක්ෂ 30ක් දක්වා දඩ විගණන නිලධාරීන්ට එරෙහිව පැණවීම සඳහා කෙටුම්පතට අලුතෙන් එකතු කර තිබෙන වගන්තිවලට විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු විගණන සේවා කොමිෂම හා විගණකාධිපති දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ද විරුද්ධ ය. ඒක පනතට තල්ලු කර තිබෙන්නේ පරිපාලන නිලධාරීන්ගේ බලපෑමෙනි.

මෙහි මූලධර්මය කුමක් ද? තමන්ට කෙළ වෙනකොට බෑ ය. වෙන එකෙකුට කෙළ වෙනකොට හා ය. කෙසේ වෙතත්, දැන් ඒකත් හකුළාගෙන හමාර ය. දැන් උපරිම දඩය රු. ලක්ෂයක් පමණි.

අලුත් විගණන පනත් කෙටුම්පත අනුව කී අධිභාරයන් පැනවීමේ බලය විගණකාධිපතිවරයාට නොව, විගණන කොමිෂමට පැවරෙන බව දැනගන්නට තිබේ. එම කොමිෂමේ සභාපතිවරයා විගණකාධිපතිවරයා වන මුත් ඔහුට හා ඔහුගේ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය වන්නේ එම බලය කොමිෂමට නොව විගණකාධිපතිවරයාට පමණක් ලබා ගැනීමටයි.

වර්තමාන විගණකාධිපති ගාමිණී විජේසිංහ යනු ඇත්තෙන් ම රජයේ ඉහළ නිලධාරීන්ගේ සංකේතාත්මක චරිතයකි. දේශපාලකයා විසින් නාස් ලණුව බුරුල් කළ පසු රජයේ නිලධාරීන් හැසිරෙන්නේ කිසිවකුට පාලනය කළ නො හැකි ගොන් නාම්බන් සේ ය. මෙය මේ වන විට ඕනෑ ම රජයේ කාර්යාලයක දැකිය හැකි තත්වයකි. ගාමිණී විජේසිංහ වලිකාරයෙකි. හැබැයි ඔහුගේ වාර්තාව අනුවත් මහ බැංකු බැඳුම්කර වංචාව යනු පැහැදිලි වගඋත්තරකරුවෙකු නැති වෘත්තීය අපරීක්ෂාකාරිත්වයක් පමණි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, විගණකාධිපතිවරයා වනාහි පාර්ලිමේන්තුවට පමණක් වගකිව යුතු තනතුරකි. එහෙත්, විගණකාධිපතිවරයා යනු රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. ඔහු ද තීරු බදු රහිත වාහන ආදී වරප්‍රසාද මහජන මුදලින් ලබා ගන්නා රජයේ සෘජු කොටස්කරුවෙකි. ඔහු කටයුතු කළ යුත්තේ රජය සමග සහයෝගයෙන් මිස විරුද්ධ පාක්ෂික මන්ත්‍රීවරයකු ලෙස මාධ්‍ය සංදර්ශන තබමින් නො වේ. මින් පෙර විගණකාධිපතිවරුන් ගාමිණී විජේසිංහ සේ මාධ්‍ය වීරයන් වන්නට ගියේ නැත.

දේශපාලකයන් හොරුන් බව ඇත්තකි. මුදල් ඇමති රවි කරුණානායක විසින් විගණකාධිපතිවරයාට යවන ලද ලිපියකට විගණකාධිපතිවරයා පිළිතුරු ලියන්නේ එහි පිටපතක් කෝප් කමිටුවේ එක් සාමාජිකයකු වන බිමල් රත්නායකට පමණක් ලබා දෙමිනි. කාරණාව කුමක් වුවත්, මේ වනාහි කුමන වෘත්තිකභාවයක් ද?

රජයේ නිලධාරීන් කියන්නේ දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු අභිමානවත් වෘත්තිකයන් පිරිසක් විය යුතු ය. නැතිනම් කවදාවත් මේ රජයෙන් ජනතාවට වැඩක් නැත. ජනතාව ගැන කියන්නට තිබෙන්නේ ද එය ම ය. ජනතාව ද දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු ය. විශේෂයෙන් ම, ඵලදායී වැඩ කරන කම්කරු පංතිය දියුණු විඥානයක් සහිත පිරිසක් බවට පත් විය යුතු ය. කම්කරු පංතිය කිසි සේත් ම ලංකාවේ මධ්‍යම පංතිය සිය පරමාදර්ශ බවට පත් නො කර ගත යුතු ය.

හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයකට පත් විය. අනාගත ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් බිහි වීම ද රාජ්‍ය සේවයේ යහපතට හේතු වන තත්වයක් නො වේ.

රජයේ නිලධාරීන් යනු දේශපාලකයන් සේ ම පීඩිත ජනතාවගේ ප්‍රශ්න කිරීමට ලක් විය යුතු පිරිසකි. දේශපාලකයන්ට මුවා වී සුරතල් වීමට හා පඩ ෂෝ වීරයන් වීමට ඔවුන්ට ඉඩ නො දිය යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *