සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසන් සභාවක් පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 02 දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.ඒ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ගේ නියෝගය මතයි.

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසන් සභාවක් පිහිටුවීම සඳහා විධි විධාන සැලසීම, එම කොමිසන් සභාවේ බලතල හා කර්තව්‍ය දැක්වීම සඳහා ද, එකී කොමිසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීම සඳහා විධි විධාන සැලසීමට අදාල කරුණු ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 ජිනිවා යොජනාවලියට අනුව, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලියකට අවතීර්ණ වන බව එවකට විදේශ ඇමති මංගල සමරවීර විසින් ප්‍රකාශ කර තිබිණ.

එම ආයෝජනාවලිය අනුව යමින් 2015 වසරේදී සිවිල් සංවිධාන නියෝජිතයින් දොළොස් දෙනෙකුගෙන් සමන්විත මනෝරි මුත්තෙට්ටුවේගම සභාපතිත්වයෙන් යුත් සංහිඳියාව උදෙසා වූ කාර්ය සාධක බලකාය දිවයින පුරා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය කෙසේ සකස් විය යුතු ද යන්න පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට කටයුතු කළේය.

ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වූ අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, සත්‍ය හා සංහිඳියා කොමිසම මෙන්ම වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරිණි.

ඒ අනුව 2017 වසරේදී අතුරුදහන්ගේ කාර්යාලයද, 2019 වසරේදී හානිපූර්ණ කාර්යාලයද ඇති කරන ලද නමුත්, පැවති දේශපාලන වාතාවරණය මත, සත්‍ය හා සංහිඳියා කොමිසම ස්ථාපිත කිරිම දිගින් දිගටම ප්‍රමාද විය.

නමුත් එහි ඇති අවශ්‍යතාවය අදටත් වලංගු බැවින්, සත්‍ය හා සංහිඳියා කොමිසම ඇති කිරීම සඳහා වන පනත් කෙටුම්පත වර්තමන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ගේ නියෝගය පරිදි ගැසට් කිරීමට රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

The Leader

Leave a Reply

Your email address will not be published. Required fields are marked *