මහින්ද මහ ඇමැති කතා අතරේ කමිටු හතරක ප්‍රහාරක බළඇණියක්

 

* මෛත්‍රී රනිල් නිතර කසුකුසු ගැන මාධ්‍ය හමුවේදී රාජිත කියයි
* නියඟයට සූදානම් නොවීම ගැන සජිත් නිළධාරීන්ට දොස් පවරයි
* මහින්ද සමඟ සාකච්ඡාවේදී මහීපාල, ෂාන්, ප්‍රසන්නට විරුද්ධ වෙති
* ගෘහ සේවිකාවන් එපා හෙදියන් එවන්න සවුදි ශ්‍රීලාංකිකයන් හඳුන්නෙත්තිට කියයි
* ප්‍රජාතන්ත්‍රවාදීන් සමගි කිරීමට වර්ධරාජා පෙරුමාල් පෙරමුණ ගනී

‘‘තිරසර යුගයක – තෙවසර ඇරඹුම’’ ප්‍රධාන උත්සවයේ ආරාධිත දේශනය වෙනුවෙන් මෙරටට පැමිණි ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ මහ ඇමතිතුමන් වෙනුවෙන් ජනපති මෛත්‍රි රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබුවා. . මෙම රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා පැමිණ සිටි මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉදිරි දේශපාලනය ගැන කතා කළා, විශේෂයෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ගැනත්, පළාත් සභා මැතිවරණය ගැනත් මහඇමතිවරුන් කතා කළා. මෙහි දී, ඔවුන් සියලූ දෙනාගේම අදහස වුයේ පක්ෂයේ සමගියක් නොතිබුණහොත් මේ සියලූ මැතිවරණ ජයග්‍රහණය කිරීම පිළිබඳව ඇති ගැටලුව පිළිබඳවයි. ඒ නිසාම මහඇමතිවරු කිහිපදෙනෙකුම යෝජනා කර සිටියේ මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීම සුදුසු බවයි. ඒ අනුව ජනපති මෛත්‍රිගෙන් මේ පිළිබඳව විමසා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය සඳහා සබරගමුව මහ ඇමැති මහීපාලට මේ කටයුතු භාරකළා. පිරිස සැනෙකින් මේ පිළිබඳව ජනපති මෛත්‍රිගෙන්ද විමසා සිටියා. මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේද අදහස වුයේ පක්ෂයක් ලෙස එක්වී කටයුතු කිරීම වඩා යහපත් බවත්, ඒ සඳහා තමාගේ අකමැත්තක් නැති බවත්ය. ඒ අනුව ඉතා ඉක්මනින් මේ සඳහා දිනයක් හා වේලාවක් යොදාගනිමින් හිටපු ජනපති මහින්ද හමුවීමට මේ අය තීරණය කළා.

ඒ අනුව පසුගිය ඉරිදා පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නුගේගොඩ විජේරාමයේ පිහිටි නිල නිවසේ දී හමුවන ලෙස මහඇමතිවරුන්ට ආරාධනාවක් ලැබුණා. මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කිරිමට පෙර බස්නාහිර මහඇමති ඉසුරු දේශප්‍රියගේ නිවසේ දී මහඇමතිවරුන් මුලීක සාකච්ඡාවක් පැවැත්වුවා.

මහඇමතිවරුන්ව ඉතා සුහදව පිළිගත් හිටපු ජනපතිතුමන් ඔවුන් සියලූ දෙනා සාකච්ජා මේසයට කැඳවා ගෙන ගියා. ඒ පොදුජන පෙරමුණ සභාපති ජි.එල්.පිරිස්, බන්දුල, ගාමිණි ලොකුගේ මහින්ද යාපා, ජොන්ස්ටන් හා ප්‍රසන්න රණතුංගත් ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාරත්, සාකච්ඡා මේසයට වාඩිවි සිටියා.

සාකච්ඡාව ආරම්භ වනවාත් සමගම ඌව මහ ඇමැති චාමර සම්පත් පැමිණි අතර සාකච්ඡාව ආරම්භ කරමින් ඒ සඳහා මුලපිරුවේ සරත් ඒකනායක මහතායි. ඔහු පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ස්තුති කරමින් පැවසුවේ අපගේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා වේලාවක් ලබාදීම පිළිබඳව සියලූම මහඇමතිවරුන් වෙනුවෙන් ස්තුතිය පුදකරන බවයි. අනතුරුව දකුණේ මහඇමති ෂාන් හඬ අවදිකළා. සර් අපි හිතුවේ මේ සාකච්ඡාවට සර් විතරක් සහභාගිවෙයි කියලා. මොකද එහෙම වුණානම් අපට පෞද්ගලිකව මේ සාකච්ඡාව කරන්න තිබුණා කියලයි මම හිතන්නේ, එයට සිනාමුසුව පිළිතුරු දුන් මහින්ද කීවේ මාත් හිතුවේ එහෙම හවුවෙන්න තමයි. කොහෙද මේ මාධ්‍යවල පැතිරෙන්න ගියානේ මායි මහඇමතිවරුයි අතරේ ඩීල් එකක් තියෙනවා කියලා. ඒක එහෙම නෙවෙයි කියන්න සාක්ෂියක් හැටියටයි මම මේ අයව කැදෙව්වේ. එහෙමනේද බන්දුල යැයි මහින්ද කළ ප්‍රකාශය සැබෑවක් ලෙස ඒත්තු ගැන්වීමට බන්දුලද ඔව් සර් කියමින් හිස වනනු පෙනුණා.

සාකච්ඡාව පුරාවටම මහින්ද රාජපක්ෂ මහතා පෙන්වීමට උත්සාහ කළේ සම්මුතිවාදි ආණ්ඩුව තුළ ශ්‍රී ල.නි.පක්ෂයටත්, පාක්ෂිකයින්ටත් සිදුවන අවාසි සහගත තත්ත්වය පිළිබඳවයි. නිරන්තරයෙන් තමන්ටත්, තම පවුලේ සාමාජිකයින්ටත් වන හිරිහැර කරදර පිළිබඳවත් සඳහන් කළ ඔහු මේ තුළ මේ සඳහා ඇති ඉඩකඩ මදි බව ද ප්‍රකාශ කළා.

මෙහිදි තවත් වැදගත් සිද්ධියක් වුයේ ශ්‍රී ල.නි.ප යේ සමගිය වෙනුවෙන් ගැටලූකාරි ප්‍රකාශයක් කළ ප්‍රසන්න රණතුංගට එරෙහිව මහීපාල හේරත් හා ෂාන් විජයලාල් දැඩිව පෙනී සිටිමයි.

මේ සාකච්ඡාව පුරාවටම කැපී පෙනුන සිද්ධිය වුයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා උදිත ලොකුබණ්ඩාර කිසිදු වචනයක් හෝ ප්‍රකාශ නොකරමින් මුනිවත රකිමින් සිටීමයි.

පුරා පැය දෙකකටත් ආසන්න කාලයක් පැවැති සාකච්ඡාව හමාර කරන්නට ආසන්නව තිබියදි මහින්ද රාජපක්ෂ මහතා මහ ඇමතිවරුන් දෙස බලා නමුන්නාන්සේලාගේ ජනාධිපතිතුමන්ට පුළුවන්නේ ඊළඟට එන මැතිවරණවල දී හංසය ලකුණෙන් යු.එන්.පීයත් එක්ක එකතුවෙලා ඉල්ලන්න නේද කියමින් සාකච්ඡාව හමාර කරන්නට සුදානම් වුණා. ඊට පිළිතුරු දුන් දකුණේ මහ ඇමැති ෂාන් කීවේ ඇයි සර් ඒ විදියට හිතන්නේ එහෙම ඉල්ලනවනම් අපි ඔබතුමා හමුවෙලා මෙහෙම සාකච්ඡා කරන්න එන්නෙ නෑනේ කියායි. ඌවේ මහඇමති චාමර සම්පත් කීවේ. සර් තමයි අපිව පළාත් සභාවට ගෙනාවේ ඒ හින්දයි අපි සර් හම්බවේලා මෙහෙම කතා කරන්න හිතුවේ. කියායි. කෙසේ නමුත් අවසානයේ කිසිදු තීරණයකින් තොරව සුහදව සාකච්ඡාවාරය අවසන් වු අතර ඉන් පසු සියලූ දෙනාටම උදේ ආහාරය ගැනිමට ආරාධනා කිරිමටද හිටපු ජනපතිතුමන් අමතක කළේ නෑ.

සාකච්ඡා අවසානයේ මහින්ද පාර්ශ්වය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආසාර්ථක රැස්වීමක් පැවැත්වු බවත් එසේ රැස්වීමක් පැවැත්වීමට මහඇමතිවරුන්ට බලයක් නොමැති බවත්ය.

මේ පිළිබඳව දකුණේ මහඇමති ෂාන් විජයලාල් පවසා සිටියේ ඉදිරියේදි මෙවන් සාකච්ඡා පැවතුනහොත් තමා ඊට සහභාගිවන්නේ දෙවරක් හිතාබලමින් බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී ආපසු පැමිණියේ පසුගිය 21 දා පස්වරුවේයි. දිවයිනට පැමිණි විගස අගමැති වික්‍රමසිංහ මහතා කොළඹ මලලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වුණා. අගමැතිවරයා ස්විට්සර්ලන්ත නිල සංචාරයේ තොරතුරු ජනාධිපතිවරයාට වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි ආර්ථික වැඩසටහන් සහ දේශපාලන කරුණු පිළිබඳව දෙදෙනා අතර සාකච්ජා කෙරුණා. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරය‍ගේ හමුව පිළිබඳව පැවැත්වුණු කැබිනට් තීරණ පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසා සිටි අතර අමාත්‍යවරයාගේ පිළිතුර වුයේ දෙදෙනා (ජනාධිපතිවරයා සහ අගමැතිවරයා) නිතර නිතර කුටු කුටු ගානා බවයි.

අගමැතිවරයාගේ ස්විට්සර්ලන්ත සංචාරය ශ්‍රි ලංකාවට වාසිදායක අයුරින් අවසන් වුණා. ලෝක ප්‍රකට නොවාර්ටිස් ඖෂධ සමාගම, අලි බාබා සමාගම සහ මයික්‍රොසොෆ්ට් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කිරීම පසුගිය කාලයේ රජයේ ක්‍රියාකලාපය නිසා ලැබූ ජයග්‍රහණයන්.

ලෝක ආර්ථික සමුළුව පැවැති අතරවාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආහාර වැඩසටහනෙහි අධ්‍යක්ෂිකා එතරින් කොසින් මහත්මිය අතර සාකච්ජාවක් අගමැතිවරයාගේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණා. නියමිත වේලාවට අගමැතිවරයා ඇතුළු නියෝජිත පිරිස න්‍යාය පත්‍රයේ සඳහන් වී තිබු කාමර‍යට ගිය අතර නියමිත වේලාව පසු වුවද කොසින් මහත්මිය එහි පැමිණියේ නැහැ. වහා සොයා බලද් දී හමුව පැවැත්වෙන ස්ථානය ලෙස කොසින් මහත්මියට දැනුම් දී ඇත්තේ වැරදි කාමර අංකයක් බව දැන ගැනීමට ලැබුණා. පසුව කොසින් මහත්මිය හමුව පැවැත්වීමට නියමිතව තිබු කාමරයට පැමිණ අගමැති රනිල් හමු වුවා.. මේක මාධ්‍යයට හොඳ ප්‍රවෘත්තියක් වේවි යැයි කොසින් මහත්මිය අගමැති රනිල්ට අතට අත දෙමින් පැවසුවා.

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මෙවර විශේෂ අවධානය යොමු වූයේ ළඟදීම ඇති විය හැකි උග්‍ර නියං තත්ත්වයට මුහුණදීම පිළිබඳවයි. ඇමැති සජිත් ප්‍රේමදාස එහි දී කීවේ කටුක සත්‍යය නොසඟවා කතා කළ යුතු බවයි. මීට මාස කීපයකට පෙර තිබුණු නියඟය වෙලාවේ දී වායු සමනය කළ සම්මන්ත්‍රණ ශාලාවල ඉඳගෙන සාකච්ඡා කළ හුඟක් දේවල් මහ පොළොවේ දී ප්‍රායෝගිකව සිද්ධ වුණේ නෑ. ආපදා කළමනාකරණ ඇමැතිතුමා ඇවිත් දීපු උපදෙස් පවා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. පානීය ජලය බෙදා හැරීමේ ගැටලු තිබුණා. ජල බවුසර් හිඟයක් තිබුණා. සමහර වෙලාවට බවුසරේ රියදුරා නෑ කියනවා. කාර්මික දෝෂයක් කියනවා. රියදුරන්ගේ අතීකාල, බටා දීමනා ගෙවල නෑ කියනවා. මේ නියඟයේ දී එහෙම වෙන්න බෑ. පීඩනයට පත් වෙන ලක්ෂ ගණනකට වහා සහන සලසන්න නිලධාරීන් සක්‍රිය සැලැස්මක් හදන්න ඕනෑ. ඒ සැලැස්මට දේශපාලනඥයන්ගේ උපරිම දායකත්වය ලබා ගත යුතුයි. මහ පොළොවේ සිද්ධ වෙන දේගැන නිරතුරුවම සුපරීක්ෂාකාරීව ඉන්න” සජිත් කීවා.

17 වන “උදා ගම්මානය’ වන යාපහුව මැතිවරණ කොට්ඨාසයේ පොල්පිතිගම, තබ්බුව “විජයබාගම” සජිත් අතින් ජනතා අයිතියට පැවරුණේ පසුගිය බදාදා යි. නිවාස 18ක් සහිත මේ ගම්මානය විදුලිය, ජලය, මාර්ග වැනි මූලික යටිතල පහසුකම් සියල්ලෙන් සමන්විතයි. මුල්ම උදාගම බිහිවුණු යාපහුව මැතිවරණ කොට්ඨාසයේදීම “විජයබාගම” විවෘත කරමින් සජිත් කීවේ “යාපහුවේ බඩල්ගමින් ‘උදාගම් ව්‍යාපාරය’ ආරම්භ කරපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍රයා හැටියට මේ අලුත් ගම්මානය විවෘත කිරීමට ලැබීම දෛවෝපගතයි. ඒක මට විශාල සතුටක්’ කියායි

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පසුගිය සතියේ සවුදි ආරාබියේ සමුළුවක් සඳහා සහභාගි වූයේ එහි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනාවකට අනුවයි. එම ගමනේ දී මන්ත්‍රීවරයා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කළා. සවුදියේ ශ්‍රී ලංකා පාසලේ කළමනාකාරිත්වය හමුවීමටද කටයුතු කළ ඔහු ශ්‍රී ලාංකිකයින් සේවය කරන ආයතන කිහිපයකටද ගොස් සේවකයින්ගේ ගැටලූ සාකච්ඡා කළා .මේ අතර රියාද් නගරයේ දී එතෙර අපි සංවිධානයේ විශේෂ සමුළුවක් සූදානම් කර තිබුණා. එම සමුළුවට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගි වීම විශේෂත්වයක් වුණා. ඒ අතර හෙළ දෙරණ සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක්ද මැලේ සංවිධානය, මුස්ලිම් සංවිධානය සහ දෙමළ එකමුතුව යන සංවිධානවල සාමාජිකයින්ද එහි සිටින සුළු ව්‍යාපාරිකයින් පිරිසක්ද සිටියා. සමුළුවෙන් පසු පැමිණි සිටි පිරිස මන්ත්‍රීවරයා සමඟ සුහද කතාබහක නිරත වුණා. ”මන්ත්‍රීතුමා සවුදියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2ක් පමණ ඉන්නවා. වැඩිම විදේශ විනිමය යවන්නේ අපි. ඒත් අවු.35කින් අපේ රටේ රාජ්‍ය නායකයෙක් සවුදියට ඇවිත් නැහැ. අපි ගැන හොයලා බලලා නැහැ. ඒ ගැන ලොකු කනගාටුවක් අපිට තියෙන්නේ” එක් අයෙක් පැවසුවා. ”අපේ රාජ්‍ය නායකයෙක් මේ රටට එවන්න. මෙහෙත් හොඳ ආයෝජකයෝ ඉන්නවා. කොමිස්වලට විතරක් ඉන්දියාවටයි චීනෙටයි යන්නේ නැතිව මෙහෙත් එන්න කියන්න” තවත් ශ්‍රී ලාංකිකයෙක් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළා.

”ඒ වගේම සවුදියට ගෘහ සේවිකාවන් එවන්න එපා කියන්න. හෙදියන්, කළමනාකරුවන් වගේ වෘත්තීය හැකියාවන් තියෙන අයට මෙහෙ හොඳ ඉල්ලූමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ආයතනයකින් සහතිකයක් දීලා එව්වොත් හොඳ පඩියක් ගන්නත් පුළුවන්. වෙන රටවල අයට වැඩිය ලංකාවේ අයට හැකියාවක් තියෙන බව මේ රටේ ව්‍යාපාරිකයින් දන්නවා. ගෘහසේවිකාවන් එවලා අපේ රට පහත් තත්ත්වයට පත්කරන්න එපා කියලා ඔබතුමා රටේ නායකයින්ට කියන්න” තවත් ශ්‍රී ලාංකිකයෙක් සංවේදීව ඉල්ලා සිටියා.

පෙරළා දිවයිනට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ ආර්ථික සමුළුවට සහභාගි වීමට පැමිණි සවුදි කම්කරු ඇමතිවරයාද මන්ත්‍රීවරයාට ගුවන්යානයේ දී හමුවුණා. ඇමතිවරයා පිළිගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකයකු නොසිටීම විශේෂත්වයක් වූ අතර පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ දී මේ සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයාගේ අවධානය යොමුකිරීමටද මන්ත්‍රීවරයා පියවර ගත්තා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගම්මට්ටමින් ගොඩනගන ලද දිරිය පුරවැසි සමිතිවල නියෝජිත සමුළුවක් පසුගියදා මහරගම දී පැවැත්වුණා. එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ආරාධනයෙන් කලාකරුවන් විශාල ප්‍රමාණයක්, නීතිඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ රාජ්‍ය සේවයේ සිටි නිලධාරීන් පිරිසක්ද ආරාධිතයින් ලෙස සහභාගිවීම විශේෂත්වයක්. සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා සභාව අමතමින් විශේෂ කතාවක්ද කළා. එය ඔහු විසින් දේශපාලන වේදිකාවක සිදු කළ පළමු කතාවයි. මේ අවස්ථාවට සූරිය කුමාර මුත්තලගේ, කලාවතී, චන්ද්‍රසෝම බිංදුහේවා, දීපානි සිල්වා, ප්‍රසන්ජිත් අබේසූරිය, දිල්හානි අශෝකමාලා ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගි වූණා. සූරියකුමාර මුත්තලගේ සහ කලාවතී ගීත ගායනා ඉදිරිපත් කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහය දෙන දේශපාලන පක්ෂ කණ්ඩායම් හා සිවිල් සමාජයේ ක්‍රියාකාරීන්ගේ සාකච්ඡාවක් වෝටර්ස් ඒජ් හි දී පැවැත්වුණා. සරත් විජේසූරිය, කේ. ඩබ්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය ආදීන්ගේ කැඳවීම මත එකසිය පනහක පමණ පිරිසක් එයට සහභාගි වී සිටියා. රාජිත සේනාරත්න, මංගල සමරවීර, සරත් ෆොන්සේකා, මනෝ ගනේෂන්, මුජබර් රහුමන්, දුමින්ද දිසානායක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එයට සහභාගි වී සිටියා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමේ හා ජනමත විචාරණයකට නොයෑමේ ශ්‍රීලනිප ස්ථාවරය ගැන මෙම හමුවේ දී සාකච්ඡා වුණා. ගාමිණී වියන්ගොඩ මෙයට පැමිණ සිටියේ ඊට පෙර දිනක ජනාධිපතිතුමා හමුවී කළ සාකච්ඡාවකින් පසුවයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ තම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපතිතුමා තමන්ට පැවසූ බව වියන්ගොඩ මහතා කීවා. ජනාධිපතිතුමා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රීලනිපය කියන්නේ එයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සැලැස්මක් ව්‍යාර්ථ කිරීමට බවත්, එහි දී කියැවුණා. ඇමැති රාජිත සේනාරත්න මහතා ද කීවේ ජනාධිපතිතුමා තමන්ට ද එබඳුම අදහස් ප්‍රකාශ කළ බවයි.

ජනමත විචාරණයකට යෑමේ දී සතුරා අඩුවෙන් තක්සේරු නොකළ යුතු බවත්, ජයග්‍රහණය සඳහා දැන්ම සිට ක්‍රියාත්මක විය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා කීවා. මංගල සමරවීර මහතා කීවේ ජනමත විචාරණය දිනන්න බැරි නම් ඡන්දයත් දිනන්න බැරි බවයි. එසේ නම් ආණ්ඩුව භාර දී ගෙදර යා යුතු බව ඇමැතිවරයා කීවා.

ශ්‍රීලනිපයේ ලේකම් දුමින්ද දිසානායක ඇමැතිවරයා කීවේ තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා නැති නිසා ජනමතය ගොඩනැඟීමේ අපහසුතාවයක් ඇති බවයි. ප්‍රධාන නායකයින් තීරණය කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම මාස එකහමාරකින් කළ හැකි බව ජයම්පති වික්‍රමරත්න මහතා කීවා. අවසානයේ තීරණය වූයේ මේ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශනයක් කරන ලෙස ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් හා විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කිරීමටයි. එමෙන්ම මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මෙහෙයුම් කමිටුවක් හා තවත් කමිටු හතරක් ද එදින පත්කර ගත්තා. ඒ කමිටු මෙම සතිය තුළ හමුවී සාකච්ඡා කිරීමට තීරණය වුණා.

උතුරු නැ‍ඟෙනහිර හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් මහතා පසුගිය කාලයේ සිටියේ ඉන්දියාවේයි. දැන් ඔහු මුම්බායි අධිකරණ‍යේ නීතිඥවරයකු ලෙස සේවය කරනවා. එසේ වුවද මේ දිනවල නැවතත් මෙරටට පැමිණ සිටින පෙරුමාල් මහතා දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟීමට අතගසා තිබෙනවා. ඔහුගේ මෙවර උත්සාහය වී තිබෙන්නේ උතුරේ හා දකුණේ වාමාංශික හා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් සමඟිකොට යම් බලවේගයක් සෑදීමටයි. ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්දිරන් ඇතුළු දේශපාලනඥයන් හමුවී ඔහු සාකච්ඡා කළා. උතුරේ කණ්ඩායම් හමුවීමට යාපනයට ගොස් සිටින ඔහු සති අන්තයේ නැවත කොළඹට පැමිණීමට නියමිතයි.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *