පවුලකට රුපියල් 40.000 ක් අලුතින් බදු ගෙවන්න වෙන කතාව පට්ටපල් බොරුවක්

 

වැට් බදු වැඩි කිරීම නිසා ජනවාරියේ සිට සෑම පවුලකට ම රුපියල් 40,000 ක් අලුතින් බදු ගෙවන්න වන බවට විපක්ෂය ගෙනයන ප්‍රචාර පට්ටපල් බොරු බව මුදල් අමාත්‍යංශ නිලධාරීහු ප්‍රකාශ කරති.

පවුලකින් රුපියල් 40,000 ක් අය කළහොත් වැට් මගින් අපේක්ෂිත මුළු ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලැබිය යුතු බව ඔවුහු පේනවා දෙති.

ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ හැටක් හෙවත් මිලියන හයකි. එක් පවුලකින් මසකට  රුපියල් දහසක් බදු අය කළහොත් ලැබෙන මුදල බිලියන 6 කි . ( බිලියනයක් යනු මිලියන 1000 කි ) . පවුලකින් මසකට රුපියල් 40,000 ක් ලබා ගතහොත් ලැබෙන මුදල මසකට රුපියල් බිලියන 240 කි. එවිට වසරකට රැස්වන මුදල  රුපියල්  බිලියන 2,880 කි.  එය වැට් මගින් රජය වසරකට අපේක්ෂා කරන මුළු ආදායම වන රුපියල් බිලියන 1,400 මෙන් දෙගුණයකට වැඩි මුදලකි.

වැට් මගින් 2024 වර්ෂයේ රජය අපේක්ෂා කරන සම්පුර්ණ ආදායම වන බිලියන 1400 ක මුදල ලක්ෂ හැටක් වන පවුල් සංඛ්‍යාවෙන් බෙදු විට ලබෙන අගය  වන්නේ රුපියල් 19,444 කි. මෙය බදු වැඩි කිරීමෙන් වැඩි වන මුදල නොව සම්පුර්ණ මුදලේ පවුලකට වැටෙන සාමාන්‍ය අගය යි. වැඩි වන ප්‍රමාණය මෙයින් යම් කොටසකි.

එමෙන් ම වැට් බදු අලුතින් අය කරන ඇතැම් භාණ්ඩ වෙනත් බදුවලින් නිදහස් කිරීමට ද රජය පියවර ගෙන ඇත.

මෙම 19,444 ක මුදල සාමාන්‍ය අගයක් වන අතර එහි වැඩි බර පැටවෙන්නේ භාණ්ඩ සහ සේවා වැඩි වශයෙන් පරිභෝජනය කරන මැද සහ ඉහළ පන්තිකයින්ට ය.  භාණ්ඩ සහ සේවා වැඩියෙන් පරිභෝජනය කරන තරමට ගෙවන බදු ප්‍රමාණය ද ඉහළ යයි.

සාමාන්‍ය ජනයා වැඩි වශයෙන් පරිභෝජනය කරන ආහාර, එළවලු, පලතුරු, ඖෂධ ආදිය වැට් බද්දෙන් නිදහස් බැවින් දුප්පත් ජනයාගෙන් අය වන බදු ප්‍රමාණය ද අඩු ය.

එබැවින්, වැට් බදු වැඩි කිරීම නිසා ජනවාරි මාසයේ සිට පවුලක බදු බර රුපියල් 40,000 කින් සහ ඇතැම් ප්‍රකාෂකයින්ට අනුව 20,000 කින් වැඩි වන බව කරන ප්‍රචාර පට්ටපල් බොරු බව  තහවුරු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *