දේශපාලන කුහකයෝ පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරනවා – අමාත්‍ය මහින්ද අමරවීර

 

දේශපාලන කුහකත්වයෙන් හා ඊර්ෂ්‍යාවෙන් සිටින පිරිසක් සතියෙන් සතිය බොරු නිර්මාණය කරමින්, පට්ටපල් බොරු කියමින් අහිංසක මිනිසුන් පාරට බැස්සූ බවත්, දැන් හිරගෙවල්වල තපින්නට සිදුවී තිබෙන්නේ එම අහිංසක මිනිසුන්ටයි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව තේරුම් ගෙන තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේ 20 වැනි දින වැලිගම, කප්පර‍තොට නැංගුරම් පොළ ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි. ධීවර පවුල් 595 කට ප්‍රතිලාභ හිමිවන මෙම නැංගුරම් පොළ සඳහා මිලියන 595 වැය කරමින් ඉදිකර තිබූ අතර එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් ‍කළේය. දවසින් දවස බොරුව නිර්මාණය කරනවා. හැම සතියකටම එක් බොරුවක් කියනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තවත් බොරුවක් කියනවා. මේ බොරුවට උත්තර ලබා දෙන්න අප ගම්වලට ගිහින් වැඩ කරනවා. එයාල බොරු නිර්මාණය කරනවා.

නින්ද නොයන විට තවත් බොරුවක් හදනවා. එයට උත්තර දෙන්න අපට සතියක් විතර යනවා. ඒකත් අපේ අඩුවක්. බලන්න බොරු නිර්මාණය කරන හැටි. පළමුව කිව්වා අප ඉන්දියාවේ කොළනියක් වෙනවා කියලා. චීනය තරහ කරගෙන අප ඉන්දියාවට ඕන විදියට වැඩ කරන බව පැවසුවා.

ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් ටිකක් එනවා. ඒවා හරහා ඉන්දියාවේ රෝ ඔක්තු සේවයත් එනවා. ඒවායේ රියදුරන්, ගෝලයන් එන්නේ ඉන්දිවෙන් බව පැවසුවා. මේ ගිලන් රථවල රෝ ඔක්තු සේවයේ කවුරුවත් ආවේ නැහැ. සති ගාණක් මේ ගැන කථා වුණා. ඒ කථාවත් එතනින් ඉවරවුණා. දෙවනුව

කිව්වා හනුම පාලම හදන්න එනවා කියලා . පළමු සතියේ හනුමා පාලම ගැන කියනවා.දෙවන සතියේ එය පුපුරුවන්න බලකායක් හදන්න කටයුතු කරනවා කියමින් රට ගිනි තියාගෙන ගියා .එහෙත් එවැනි පාලමක් හැදුනේ නැහැ. ගිවිසුමකුත් නැහැ. ඊලගට හෙට්කා ගිවිසුමක් ගැන කිව්වා.වත්මන් රජය ඉන්දියාව, චීනය:ජපානය, ඇමරිකාව එක්ක ගිවිසුම් අත්සන් කරනවා. රටට අහිතකර ගිවිසුම් කවදාවත් අත්සන් කරන්නේ නැහැ. අපේ රටට වාසි එන විදියට ගිවිසුම්වලට අත්සන් කරනවා. අක්කර 15000ක් හම්බන්තොටින් ගන්නවා.චීන කොළණියක් බවට පත් කරනවා. හම්බන්තොට පවුල් 35000ක් එළියට යනවාලු. චීන්නු ලක්ෂ 10කට වීසා දෙනවා.දැන් ඉංදියානු කොළණිය චීන කොළණිය වෙළා. මේ වගේ පට්ටපල් බොරු කියලා .මිනිසුන් පාරට බස්සලා දැන් හිරගෙවල්වල තපින්න වෙලා තියෙන්නේ අහිංසක මිනිසුන්ටයි. එය හම්බන්තොට මිනිසුන්ට තේරී තිබෙනවා.මිනිසුන් වගේම හාමුදුරුවන් රවටනු ලැබුවා. අපේ තරුණ, තරුණියන්ට රැකියා ලබා දෙන්න මෙම කාර්මාන්ත ගේන්න කියලා හම්බන්තොට මිනිසුන් කියනවා. මෙසේ බොරු කියමින් දවසින් දවස විකිණිය නොහැකියි. ඔය ආණ්ඩු ගන්න කථාවත් එහෙම කථාවක්.

එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17ක් ආණ්ඩුව කරන අවස්ථාවේ අපත් කිව්වා මීළඟ සිංහල අවුරුද්දේ අපේ ආණ්ඩුවක දී අවුරුදු කන බව ඒ කාලයේ අපත් කීවා. 2021 වෙනකම් ජනාධිපතිතුමාගේ කාලය තිබෙනවා.2020 වෙනකම් පාර්ලිමේන්තුවේ අපට කාලය තියෙනවා.ජනාධිපති තුමන් හා කථානායක තුමන් එකතුවී තින්දු ගෙන ඔළුගෙඩි වෙනසක් වුනොත් පමණක් ආණ්ඩු හදන්න පුළුවන්.එහෙම නැතිව ආණ්ඩු හදන්න හැකියාවක් නැහැ.

ජනාධිපතිතුමන් කවදාවත් රට අස්ථාවර කරන්නේ නැහැ.තරගෙට හොරකම් කරන්නවත්, රට ආපස්සට ගෙනියන්නවත් නොව ජනාධිපතිතුමන්ට අවශ්‍ය රට දියුණු කරන්නයි.රට අස්ථාවර කරලා ආයෝජකයන් ගේන එක නවත්වන්නේ නැතිව රටට දෝහිනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. කරන්න බැරි දේවල් කිය කියා යන්න එපා කියා මෙහි දී දේශපාලඥන්ගෙනුත් ඉල්ලා සිටින බව මහින්ද අමරවීර මහතා පැවැසීය.

මෙම අමාත්‍යාංශයේ අභියෝග දෙකකට මුහුණ දෙන්න සිදු වුණා. යුරෝපා මත්ස්‍ය තහනම ඉන් එකක්.ඉංදියාවේ ධීවර ගැටලුව අනෙත් කාරණාවයි.ඉංදියාව සමඟ සාකච්ඡා කරලා ඉංදියාව සිදුකරනු ලබන නීති විරෝධි පන්න ක්‍රමය නතර කිරීමට අපට හැකිවී තිබෙනවා. ඉන්දියාව පළමු වරට බොටම් ට්‍රෝලිම් පන්න ක්‍රමය තහනම් කිරීමටත්, කිසිදු බලපත්‍රයක් නොදෙන්නත් තීරණය කර තිබෙනවා.ඒ සඳහා යොදවා තිබූ බෝට්ටු 83ක් අයින්කර ගනිමින් වෙනත් කාර්මාන්තයන්ට ගැඹුරේ මුහුදේ යොදාගන්න පසුගිය සතියේ දිවයිනට පැමිණි ඉංදියාවේ ධීවර ඇමැති තුමා පොරොන්දුවක් ලබා දුන්නා.වෙනත් රැකියාවන්ට එම ධීවරයන් යොදවන්නත් ඉන්දියාව සුදානම්.

අනෙත් ප්‍රධාන ගැටලුව වන යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගන්න අපට පුළුවන් වුණා. ධීවරයන්ට පමණක් නොවෙයි රටක් ලෙසත් අපට විශාල වාසියක් ඉන් ලැබෙනවා. ජී.එස්.පී තහනම ඉවත් කර ගන්නට රජයට පුළුවන් වුණා. මේව දෙස බලාගෙන මේව විවේචනය කරන කණ්ඩායම් ඉන්නවා. කොන්දේසිවලට එකග වූ බවට බොරු ප්‍රචාර ගෙන යනවා. රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කරන්නේ නැහැ.රටට අහිතකර කිසිදු කටයුත්තකට අප ඉඩ තියෙන්නේ නැහැ. මේ සහනය ලැබෙන විට සමහරුන් ඊර්ෂ්‍යායාවෙන් බලනවා.

මොවුන් චෝදනා කරනවා කොන්දේසි මගින් මෙම සහනය ලබා ගත් බවට පට්ටපල් බොරු කියාගෙන යනවා. යහපාලනය මේ රට තුළ ක්‍රියාත්මක කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම, සංවර්ධනය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම, වැනි කරුණු තමයි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. අද මාධ්‍යවේදින්ට කොයිතරම් නිදහසක් තියෙනවාද? මෙවැනි දේ ජී.එස්.ටී ප්ලස් ලබා ගන්න හේතුවුණා. රට බෙදන ආකාරයේ, බුද්ධාගම අයින් කිරීම, මේවට කිසිදු ආකාරයේ කිසිදු යෝජනාවක්‍ ගෙනත් නැහැ.ඒටට අහිතකර කිසිදු දෙයකට අප ඉඩ දෙන්නේ නැහැ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා-පවුල් වාදය නැති කර, දුප්පත් ජනතාවගේ මග ශත්තිමත් කිරීමටත්, රජය කටයුතු කරනවා. රට නංවන වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරනවා. ධිවර කටයුතු සංවර්ධනය කිරීමේ දී සියල්ල අප කළමනාකරණය කරමින් මේ රටේ ධීවර කේෂත්‍රය ගොඩනගන්න කටයුතු කරනවා. ඉදිරි‍යේ දී විශාල සහන ධීවර ජනතාවට ලබා දෙනවා.යහපාලන රජය තුළින් ජී.එස්.පී සහන ලැබීමත් සමගම භාණ්ඩ හත්සිය ගණනනකට සහන ලැබෙනවා.

දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක හේමාල් ගුණසේකර, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ආර්.අධිකාරී මහත්මිය ඇතුළු එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

වැලිගම සමූහ-ටී.කේ.මහින්ද – දිනමිණ

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *