මෙරට විශාලම මූල්‍ය වංචාව එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගමෙන්

 

ශිරෝමි අබයසිංහ
ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර

රටේ විශාලම මුල්‍ය වංචාව සිදු කළේ 2014 දී එවකට ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස සිටි එන්ට්‍රස්ට් සිකියුරිටි සමාගම බව ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය. කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදලේ මූල්‍ය වංචාවක් සිදු වූ බවත් එවකට එහි අධ්‍යක්ෂවරු ලෙස සිටියේ ඉසිර දසනායක සහ චානුක රත්වත්ත මහත්වරුන් බවද පැවැසූ ඇමැතිවරයා එම මුදල්වලින් රුපියල් කෝටි 250ක් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදලෙන් කෙලින්ම වංචා කර තිබූ බව ද සඳහන් කළේය.

මේ එන්ට්‍රස්ට් සමාගම මහ බැංකුවේ විශ්‍රාමිකයන්ගේ අරමුදලෙන් රුපියල් කෝටි 250 ක්ද විවිධ සේවා සමුපකාර සමිතියෙන් රුපියල් මිලියන 600ක් වංචා කළ බවත් අද වන තුරු මේ පිළිබඳව කෝප් වාර්තාවක් නිකුත් කර නැති බව කී ඇමැති හෂිම් මහතා මේ පිළිබඳව පරීක්ෂණයක් කර සී. අයි. ඩියට සහ ජනාධිපති කොමිසමකට යොමු කිරීමට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාට වගකීමක් ඇති බව ද කීය.

මහ බැංකු වාර්තාවේ මේ සමාගමේ ගනුදෙනුවල වරදක් ඇති බව ප්‍රකාශ කර තිබියදීත් එදා මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැතැයි ද කීය.

කාල්ටන් රග්බි තරගාවලියේ යෝෂිත රාජපක්ෂ නායකත්වය දැරූ කණ්ඩායම අයිති වුණේ එන්ට්‍රස්ට් සමාගමට බවත් යෝෂිත රාජපක්ෂ මහතා වෙන්දේසියකින් රුපියල් ලක්ෂ 11ක් දී ඔවුන් මිලදී ගත් බව කී ඇමැතිවරයා ඒ මිලදී ගන්නේ රජයෙන් වංචා කළ මුදලින් විය හැකි බවත්. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් කීය.

එදා මුදල් ඇමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂගේ ඩීල් ගැන ජනතා විමුක්ති පෙරමුණ එදා කථා නොකළේ මහින්ද එක්ක ඩීල් තිබුණු නිසාද නැතිනම් බිය නිසාද නොදන්නා බව කී ඇමැතිවරයා අද යහපාලනය නිසා ජනතා විමුක්ති පෙරමුණ බිය නැතිව කථා කළත් හෘද සාක්ෂියට එකඟව ඔවුන් සිතා බැලිය යුතු බවත් පැවැසීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

ශිරෝමි අබයසිංහ

ස්වර්ණා විජේකෝන්

රෝෂන් තුෂාර

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *