|

ඩාවෝස් සමුළුවේ වටිනාකම – කරුණාරත්න අමරතුංග

 

අතේ ඇඟිලි ගණනටත් අඩු නියෝජිත පිරිසක් සමඟ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් වාර්ෂික ආර්ථික සමුළුවට සහභාගි විය.

මෙය ධනවාදින්ගේ සමුළුවකැයි ද ශ්‍රී ලංකාවට ඉන් අත්වන යහපතක් නැතැයි ද රට තුළ ප්‍රචාර පැතිරුන ද, චීන ජනාධිපතිවරයා ද චීනයේ යටිතල පහසු ආයෝජන බැංකු සභාපතිවරයා ද එයට සහභාගි වූහ. මේ දෙදෙනාම ශ්‍රී ලංකා අගමැතිවරයා හමුවී ශ්‍රීලංකාවට ආධාර කරන බවට ප්‍රතිඥා දුන්හ.

ශ්‍රී ලංකාව ද සාමාජිකත්වය දරන චීන යටිතළ පහසු ආයෝජක බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාවේ අගමැතිවරයාට පැවසුවේ “ගමනාගමන දුම්රිය, වරාය සහ නගර සංවර්ධනය යන අංශයන්හි දියුණුවට එම බැංකුවේ ආධාර ලබාගත හැකි බවය.”

චීන ජනාධිපතිවරයා ඩාවෝස් සමුළුවේදී කළ කතාව පිළිබඳව විවරණයක් කරන වෝල් ස්ට්‍රිට් ජර්නල් ආර්ථික සඟරාව ඇමෙරිකාව ලෝක නායකත්වය ලබාගැනීමේ සටනින් පියවරක් ආපස්සට ගැනීමට සූදානම් බව පෙනෙන්නේ යැයි ද, එම හිස් ඉඩ පිරවීමට චීනය ඉදිරිපත් වන ලකුණු දක්නට ලැබෙන්නේ යයි ද කියයි.

අමෙරිකාව-චීනය

ඩාවෝස් සමුළුවකට චීන නායකයෙක් සහභාගි වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි. චීනය ගෝලීකරණය කෙරෙහි නැඹුරුවන බව ද විචාරක මතයයි.

අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නිදහස් වෙළෙඳාමට එරෙහිව කටයුතු කරන්නේ නම් චීනය නිදහස් වෙළෙඳාම රැකගැනීමට ඉදිරියට පැමිණෙන බවට සංඥා කර ඇතැයි ඩාවෝස් සමුළුව ගැන ගාඩියන් පුවත්පත සඳහන් කරයි.

අමෙරිකාව සහ චීනය අතර හොඳහිත ස්ථාවර ලෙස පවත්වගෙන යෑම ලෝක ජනතාවගේ බලාපොරොත්තුවකැයි පැවසූ චීන ජනාධිපතිවරයා, ඉදිරියේදී චීනය ලෝක දේශපාලනයේ සහ ආර්ථික ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින බවට ඉඟි කළැයි ද ගාඩියන් විවරණය කියයි. චීනය 2016 ආර්ථික වර්ධනය සියයට 6.7කි.

සමුළුව අතරතුරදීම චීනයේ දැවැන්තම E.COMMECE ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා මුදල් ඇමැතිවරයාට ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම් බවයි.

ජැක් මා නම් ඔහු චීනයේ දෙවන විශාලතම ධනවතා යැයි කියන ෆෝබ්ස් සඟරාව ඔහුගේ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 27.5 කැයි කියයි. ඖෂධ නිෂ්පාදන සමාගමක් ද ආයෝජනය සඳහා සූදානම්ය.

ඩාවෝස් සමුළුව අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේ චීනය සහ ඇමෙරිකාව ඔවුනොවුන් මත යැපෙන ආර්ථික බලවේග බවයි. චීනය, ඉන්දියාව සහ ජපානය කලාපයේ ඔවුනොවුන්ට හිමි තැන ගැන උනන්දුවන බව ද අගමැතිවරයා පවසා ඇත.

ඉන්දියාව සමඟ පවතින දැඩි සබඳතාව චීනයට පහදා දී ඇතැයි කී අගමැතිවරයා, ඉන්දියාව සමඟ පවතින වාණිජ සබඳතා තවතවත් තරකරගන්නා බව ද සඳහන් කර ඇත.

මධ්‍යම පංතිය

අගමැතිවරයා එම සමුළුවේදී පකිස්ථානු අගමැතිවරයා සමඟ ද සාකච්ඡා පැවැත්විය. පාකිස්තානය සමඟ මෙන්ම නෝර්වේ සහ වියට්නාමය සමඟ පුළුල් වාණිජ සබඳතා ගොඩනගා ගැනීමේ සාකච්ඡා ද සාර්ථක කර ගත්තේය.

චීනයේ ආර්ථික හැසිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. චීනය ශ්‍රී ලංකාවේ ලොකුම ආයෝජකයා වන නිසා චීන නායකයාගේ කතා ද ශ්‍රී ලංකාවට වැදගත්ය. ඇති නැති පරතරය පුළුල්වීම සහ මධ්‍යම පන්තියේ කඩාවැටීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ලෙගාඩ් කීවේ තමන් වසර 4කට මේ ගැන අනතුරු ඇඟවීම් කළ බවයි.

දියුණු ආර්ථික සහිත රටවල වැඩකරන ජනතාව මධ්‍යම පන්තිය ලෙස සැලකීම ඇමෙරිකාවේ ආර්ථික විග්‍රහයයි. ක්‍රිස්ටිනා ලෙගාඩ්ගේ අදහස්වලට අමෙරිකා ඔබාමා පාලනයේ උප ජනාධිපතිවරයා ද එකඟතාව පළ කෙළේය.

ලෝක දිළිඳු ජනගහනයෙන් හරි අඩක ආදායම සුපිරි ධනවතුන් 9 දෙනෙකුගේ ආදායමට සමානය යන ඔක්ස්ෆැම් වාර්තාව ද සිහිපත් කරමින් ක්‍රිස්ටිනා කතා කළාය.

ක්‍රිස්ටිනා අදහස් කරන මධ්‍යම පංතිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය දැයි විමසා බැලීම ලාංකික ආර්ථික විද්‍යාඥයනට බාර කටයුත්තකි. ලංකාවේ මධ්‍යම පංතියක් පහළවූයේ වතු වගාව නිසා යැයි ආචාර්ය අයි. ඩී. එස්. වීරවර්ධන සඳහන් කර තිබේ. හැත්තෑව දසකය ආරම්භයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ඔහු සිය නිබන්ධනය ඉදිරිපත් කළ නමුදු අද වනවිට මධ්‍යම පංතිය පිළිබඳ අදහස් අලුත්වැඩියා වී තිබේ.

චීනයේ වැඩකරන ජනතාව දසලක්ෂ 770.4කි. ඔවුහු මධ්‍යම පංතියට අයත් වන්නේ නැති නමුත් නව ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා චීනය පුරා මධ්‍යම පංතියක් පිබිදෙයි. දැන් බොහෝ රටවල ව්‍යවසායකයන් ඉලක්ක සකස් කරන්නේ මේ නව මධ්‍යම පංතිය පිනවීම සඳහා නිෂ්පාදන හඳුන්වාදීම සඳහාය. පසුගිය දසකය තුළ ආසියාවේ මධ්‍යම පංතිය දසලක්ෂ 399 සිට දසලක්ෂ 784 දක්වා පුළුල්ව තිබෙන බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියා‍තික පිබිදෙන ආර්ථිකයේ රටවල නිෂ්පාදකයන් අද ඉලක්ක කරන්නේ මෙකී මධ්‍යම පංතියයි. එම නිසා දියුණු ආර්ථිකයක් සහිත රටවල ආර්ථික මිනුම්දඬු වෙනත් රටවලට ගළපා ගැනීමේදී ගැටලු ඇතිවේ.

ඩාවෝස් සමුළුවේදී ශ්‍රී ලංකා අගමැතිවරයා රටවල් රාශියක දේශපාලනඥයන් හා ආයෝජකයන් මුණගැසී සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ ආයෝජනයට සුදුසු පරිසරයක් ගොඩනැගී ඇතැයි කී අගමැතිවරයා, රටේ ආර්ථික නවෝදයක් ඇතිවෙන බව ද කීවේය. ආර්ථිකය විෂයයෙහි ශ්‍රී ලංකාවේ උත්සාහයන් ක්‍රමයෙන් පලදරන තත්ත්වයට පත්ව තිබේ. ජාත්‍යන්තර වශයෙන් ද එම උත්සහයන් ඇගයීමට ලක්වේ.

දේශීයව මෙන්ම විදේශියව ද ආර්ථික සමුළුවලදී විවේචනයට ලක්වූ එක් අංශයක් නම් රාජ්‍ය සන්තක ව්‍යවසාය පද්ධතියයි. දීර්ඝ කාලයක් තිස්සේ මහජන මුදල් නාස්ති කරන මේ ව්‍යවසායයන් තවදුරටත් මහජනතාවට බරක් නොවන පරිදි පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් පිළිබඳව ශ්‍රී ලංකාව කල්පනා කෙළේය.

ඒ සඳහා අවශ්‍ය දේශපාලන අභිලාසය රජයට නැතැයි යන චෝදනාව ද ඉස්මතු ‍විය. ජාත්‍යන්තරව ද මේ ප්‍රශ්නය ඉස්මතු වූ අවස්ථා තිබුණි. එසේම ආධාර කරන රටවල් ද ඒ ගැන අවධානය යොමු කළ අවස්ථා මෙන්ම රජයේ අවධානය යොමු කරවන ලද අවස්ථා ද විය.

ලාබ ලබන ආයතන

එවැනි එක් ව්‍යවසායක් වූ ධීවර සංස්ථාව පසුගිය කාර්තුවේ ලාබ ලබා තිබේ. 1965 පිහිටුවන ලද ලංකා ධීවර සංස්ථාව ඉතා විශාල වශයෙන් පාඩු ලැබූ ආයතනයකි. මිලදීගත් මසුන් සඳහා කරන ගෙවීම් මෙන්ම සේවක වැටුප් ද ඇතැම්විට ගෙවන ලද්දේ භාණ්ඩාගාරයෙනි.

2016 වසරේ සිට ක්‍රියාත්මක කරන ලද නව ප්‍රතිපත්ති නිසා සේවකයෝ 270ක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත්හ. 2016 අගෝස්තු වැටුප ගෙවන ලද්දේ උපයාගත් ආදායමෙනි. ක්‍රමයෙන් පාඩු අවම කරගත් ධීවර සංස්ථාව දැන් ලාබ ලබයි.

පාඩු ලැබූ තවත් රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයක් වූ ලංකා සීනි සමාගම ද දැන් ලාබ ලබන තත්ත්වයට පරිවර්තනය වී තිබේ.

පසුගිය වසරේ (2015) රුපියල් බිලියනයක පාඩුවක් ලැබූ එම සමාගම 2016 රුපියල් බිලියනයක ලාබයක් අත්කරගත්තා පමණක් නොව උක් පැණි නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද කටයුතු සූදානම් කරගෙන යයි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ වව්නියාවේ එට්ටිකුලම්හිදීය.

රාජ්‍ය සන්තක ව්‍යවසායයන් කීපයක් ඉක්මනින් ප්‍රතිසංවිධානය වන අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවධාරණය කළේ ලාබ ලබන කිසිදු රාජ්‍ය සන්තක ව්‍යවසායක් පෞද්ගලික අංශයට විකිණීමට අදහස් නොකරන බවයි.

ප්‍ර‍තිසංවිධානය

කුරුණෑගල වැවිලි සමාගම ද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින්නකි. සිය පලදායකත්වය ඉහළ දැමීම සඳහා ව්‍යාපෘති කීපයක් අලුතින් හඳුන්වාදීමට එම සමාගම සූදානම් වෙමින් සිටී.

පොල් ආශ්‍රිතව අගය එකතු කිරීමේ කර්මාන්ත කුළුබඩු හා පළතුරු ආශ්‍රිතව අගය එකතු කිරීමේ කර්මාන්ත, සූර්ය, ජල හා සුළං මගින් ‍බලශක්ති ප්‍රවර්ධනය, සත්ත්ව පාලනය, සංචාරක කර්මාන්ත, ව්‍යාපෘති, නිවාස හා වාණිජමය ගොඩනැගිලි ඉදිකිරීම, පානීය ජලය සැකසීම එවැනි ව්‍යාපෘතින් කීපයකි. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දේශපාලන පිටකොන්දක් ආණ්ඩුවට නැතැයි කියන උපහාස මැද ප්‍රතිසංස්කරණ සිදුවෙයි.

රාජ්‍ය හා පෞද්ගලික (PPP) ව්‍යාපෘති මගින් රාජ්‍ය ව්‍යවසායයන් නැගිටුවා සිටීම ද තවත් උපක්‍රමයකි. මහජන මුදල් කාබාසිනියා කරන දැවැන්ත ආයතන රාශියක් සඳහා මේ උපක්‍රමය භාවිතා කිරීමට දැන් කටයුතු ඇරැඹී තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින මහවැලි, කෘෂි, පශු නිෂ්පාදන සමාගමය ඉතා විශාල ලෙස අලාභ ලබන ව්‍යවසායකි. එමනිසා එය ද ආර්ථික ප්‍රතිසංස්කරණයකට යොමුකළ යුතුව තිබේ.

ගිරාඳුරුකෝට්ටේ සහ දම්මින්නේ ඇති ගොවිපොළ දෙකම පවත්වාගෙන යන්නේ පාඩුවටය. මේ නිසා එම ආයතන පෞද්ගලික හා රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපාර ලෙස සංවර්ධනය කළයුතු යැයි කැබිනට් මණ්ඩලය දැනටම තීරණය කර ඇත.

වැලිවිට ජල සම්පාදනය, යාපනය, කිලිනොච්චිය ජල සැපයුම් යෝජනා ක්‍රමය ආදිය PPP ව්‍යාපෘති ලෙස අලුතින් පටන්ගන්නා ‍දිනය වැඩි ඈතක නොවේ.

චීනය, ඉන්දියාව, පිලිපීනය, මලයාසියාව යන රටවල් PPP සංකල්පයේ පිහිටා කටයුතු කරති.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ පවත්නා සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්තය ඈවර කිරීමට ද තීරණය කර තිබේ.

මෙම සමාගම ඈවර කිරීමේදී ඉඩම් ගැටලු නිරාකරණය, වත්කම් අපහරණය සහ බැඳීම් පියවීම ආදිය කළ යුතුව තිබෙන අතර සුදුසු ඈවරකරුවකු පත්කිරීමට දැන් පියවර ගෙන ඇත.

ඩාවෝස් ජයග්‍ර‍හණ

පාඩුපිට පවත්වාගෙන ගිය සළුසල වසා දැමීමට රජයට සිදුවූ අතර වෙළෙඳ පොළ තුළ රෙදිපිළි ඒකාධිකාරය පවත්වාගෙන ගිය අවධියේ එය ලාභ සහිත ව්‍යාපාරයක් විය. පාඩු ලබන තවත් රාජ්‍ය ආයතන කීපයක් ළඟදීම කොටස් වෙළෙඳ පොළ ලැයිස්තු ගත කිරීමට ද නියමිතය. ස්වේච්ඡා විශ්‍රාම මගින් ශ්‍රී ලංගම සේවක බර අඩුකරගෙන තිබේ. ශ්‍රී ලංගමය දුවන්නේ මහා භාණ්ඩාගාරයේ සම්පත් මගිනි.

ආර්ථික ප්‍රතිසංස්කරණයන් පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ලෙනාඩිගේ පැසසුමට ලක්ව ඇති අතර ‍ඩාවෝස්හිදී එතුමිය ඒ බව අගමැතිවරයාට දන්වා සිටියාය. එසේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය ද ප්‍රශංසාවට ලක්කර තිබේ.

වෙළෙඳ ඇමැතිවරුනගේ එකමුතුවක් ගොඩනැගීම ඇතුලු ශ්‍රී ලංකා අගමැතිවරයාගේ යෝජනා පිළිගැනීම ඩාවෝස් සමුළුවේ දී ශ්‍රී ලංකාව ලැබූ ලොකුම ජයග්‍රහණයකි.

කරුණාරත්න අමරතුංග

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *