|

අයි.එම්.එෆ්. තියරියේ වැට් බද්ද – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

 

2024 ජනවාරි පළමුවැනි දින සිට වැට් බදු අනුපාතික වැඩිවීම පිළිබඳව විපක්ෂය සහ සමාජ මාධ්‍යයෙන් යළිත් වරක් බිල්ලෙක් මැවීමට සූදානම් වන බව පෙනී යයි. රටේ හුවමාරු වන භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයකට මේ වනවිටද වැට් බද්ද ක්‍රියාත්මක වේ. එහෙත් එය ජනවාරි පළමු වැනිදා සිට සියයට 3කින් වැඩි කර බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ නංවා තිබේ. එහෙත් සමහර අය උත්සාහ කරන්නේ රටේ සියලු‍ම භාණ්ඩවලට අලු‍තින් සියයට 18ක බද්දක් පනවා ඇති බව හැඟවීමටය.

එසේ වුවද සැබවින්ම සිදුවන්නේ දැනට සියයට 15ක්ව පවතින වැට් බද්ද සියයට 3කින් ඉහළ නැංවීමක් පමණි. ඒ අතරම මේ දක්වා වැට් බදු අය නොකළ භාණ්ඩ 97ක් සඳහා පමණක් සියයට 18ක අනුපාතය ක්‍රියාත්මක වනු ඇත. විපක්ෂය සහ ඇතැම් මාධ්‍ය මෙයාකාරයට වැට් බිල්ලෙකු මැවීම හේතුවෙන් බොහෝ පිරිසක් මුළාවට පත්වී ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැම් පිරිස් පාරිභෝගික භාණ්ඩ පවා වැඩියෙන් මිලදී ගනිමින් සිටින බවක් ද සමහර අය පරිගණක සහ විදුලි භාණ්ඩ ආදිය රැස් කරන බවද වාර්තා වී තිබුණි.

 

 

 

 

අහිංසක ජනතාවගේ මුදල්වලට විදීම සඳහා විපක්ෂය සහ සමාජ මාධ්‍ය ආධාර කරන ආකාරයත් ඒ තුළින් සමහර වෙළෙඳුන්ද වැට් භීතියක් මවා තමන් අත ඉතිරිව ඇති සියලු‍ භාණ්ඩ විකුණා ගැනීමට උත්සාහ කරන ආකාරයක්ද පෙනී යයි. බදු ක්‍රියාත්මක වීම සඳහා තවත් ඇත්තේ දින කිහිපයකි. එබැවින් සමාජ විරෝධී ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ට සහ කූට වෙළෙඳුන්ට නොරැවටී බුද්ධිමත්ව ක්‍රියාත්මක වීමේ වගකීම මහජනතාව වෙත පැවරී තිබේ. ශ්‍රී ලංකාව බංකොළොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේ සිට මේ දක්වා මවා ඇති බිල්ලන් සහ සැබෑ තත්ත්වය පිළිබඳ යළි ආවර්ජනයක යෙදෙන ලෙසද ඉල්ලා සිටිමු. එවිට ඉතා පටු අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම සඳහා සමාජ මාධ්‍යකරුවන් සහ ඇතැම් දේශපාලන පක්ෂ කූට අයුරින් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 17 වැනිදා මහනුවර කරළිය සම්මේලනය සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස සියලු‍ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි. එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලු‍ දෙනා රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත් වගකීම භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විපක්ෂයේ දේශපාලන නායකයන්ට සහ අනුගාමිකයන්ටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ටත් කටට එන ඕනෑම දෙයක් කිසිඳු වගකීමක් නොගෙන ප්‍රකාශ කිරීමේ නිදහසක් මේ රටේ තිබේ. ඒ දෙපිරිසටම වැඩි දෙනෙක් තමන් කියන දේ අසන සහ විශ්වාස කරන පිරිසක් ඇති කර ගැනීමටද අවශ්‍ය වී තිබේ. කිසි දිනෙක ඉටු කළ නොහැකි සුරංගනා කතා මහජනතාවට ඉදිරිපත් කිරීම පිළිබඳව ගැටලුවක් නැති වුවද පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව විකෘති කළ අදහස් ප්‍රකාශයට පත් කිරීමත් එවන් ප්‍රකාශ මඟින් මහජනතාව මුළා කිරීමත් අතිශය භයානක බව පෙන්වා දිය යුතුව ඇත. රට බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න කාල පරිච්ඡේදය තුළ සහ ඉන් පසු කාල පරිච්ඡේදය තුළ අසන්නට ලැබුණු මෙවැනි ප්‍රකාශ පිළිබඳව මතකය නැවත ආවර්ජනය කළ විට සත්‍ය තත්ත්වය වටහා ගැනීමට හැකිවනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ රජය ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදය විසඳීම සඳහා IMF වෙත යෑමට වැඩි කැමැත්තක් නොදක්වන බව ප්‍රකාශ විය. එසේම එම රජය මුලදී IMF සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට පවා ඉදිරිපත් වූයේ නැත. එහෙත් එම අවස්ථාවේදී විපක්ෂයේ සිටි වැඩි පක්ෂ සංඛ්‍යාවක් තරයේ ප්‍රකාශ කර සිටියේ මතුවෙමින් පවත්නා ආර්ථික ගැටලුවට විසඳුම් සෙවිය හැක්කේ IMF යෑමෙන් පමණක් බවයි. විමල් වීරවංශ මහතා පමණක් IMF වෙත ගියහොත් එහි කොන්දේසිවලට යටත් වීමට සිදුවන නිසා මහජනතාවට දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි ප්‍රකාශ කළේය. වහාම IMF වෙත යා යුතු බව අනෙකුත් සියලු‍ දේශපාලන පක්ෂ ප්‍රකාශ කළා පමණක් නොව රජය විසින් විදේශ ණය ආපසු ගෙවීම වහා නැවැත්විය යුතු බවද ප්‍රකාශ කළේය. එම සිදුවීම් සහ එම අවස්ථාවේදී කළ ප්‍රකාශ පරීක්ෂා කළහොත් IMF සමඟ සාකච්ඡා කිරීමටත් ගිවිසුම් ඇති කර ගැනීමටත් කටයුතු කළේ හුදෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත මත පමණක් නොවන බව පැහැදිලි වේ.

රනිල් වික්‍රමසිංහ මහතා IMF සමඟ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගත්තේය. IMF යෑමට පෙර මෙන්ම පසුවද තමන්ගේ විසඳුම්, යෝජනා ප්‍රකාශයට පත්කර එයට වෙනස් වෙනත් යෝජනාවක් ඇත්නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. එවැනි යෝජනා ඉදිරිපත් වුවහොත් ඒවා IMF වෙත භාරදෙන බවද ප්‍රකාශ කළේය. එහෙත් කණගාටුවට කරුණ වන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් හෝ විවිධ අදහස් දක්වන ආර්ථික විද්‍යාඥයන් හෝ දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් මේ දක්වා එවැනි යෝජනා ඇතුළත් කොළ කැබැල්ලක් හෝ ඉදිරිපත් කර නැති බවයි.

දැනට ඇති පීඩනයෙන් මහජනතාව මුදාගන්නා බවට ඉදිරිපත් කරන ප්‍රකාශන හුදෙක් සුරංගනා කතා පමණක් බව ඉන් පැහැදිලි වනු ඇත. රට කඩා වැටෙන විට එය විසඳීමේ වගකීම භාර ගන්නා ලෙස මෙම දේශපාලන පක්ෂවලින් සහ නායකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවද ඒ කිසිවෙක් එය භාර ගැනීමට සූදානම් වූයේ නැත. එක් එක් අය විවිධ දේ කියමින් එම අවස්ථාව මගහැර ගොස් දැන් මහජනතාව මුළා කරමින් රටේ නායකත්වය හිමි කර ගැනීමට උත්සාහ කරන බව පෙනේ. ඒ එදාට වඩා අද ස්ථාවර රටක් පවතින නිසාය. බිඳ වැටුණු රටක රජ වීමට ඔවුන් අකැමැති වුවත් දැන් ඔවුන්ට රජ වීමට රටක් පවතින බැවින් ඒ සඳහා කුලල් කා ගැනීමට වුවද සූදානම්ය.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ IMF සමඟ ඇතිකර ගෙන ඇති එකඟතා හැර රට ගොඩනැගීමට වෙනත් මාර්ගයක් නැති බවය. එවැනි මාර්ගයක් ඇත්නම් එය රටට ඉදිරිපත් කරන ලෙසද ඔහු අභියෝග කරයි. ජනාධිපති රනිල් ප්‍රකාශ කරන්නේ සැලකිය යුතු පීඩනයක් මහජනතාවට එල්ල වූවත් එම ගිවිසුම ක්‍රියාත්මක කර කෙටි කලකින් මහජනතාවට සහන සැලසීමට හැකි වාතාවරණයක් උදා වන බවයි.

මෙම තත්ත්වය වටහාගෙන ඇති එක් දේශපාලනඥයෙක් වන්නේ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි. ඔහු පසුගියදා මෙසේ ප්‍රකාශ කර තිබුණි. ˝අපි අතිශයින් අවදානම් තැනක ඉන්නේ. අපිට අවශ්‍ය වෙලා තිබුණු රජයේ ආදායම වැඩි කර ගන්න රජය ගත්ත තීරණ නිසා ජනතාව, සමාජය දැඩි පීඩනයට පත්වෙලා තියෙනවා. ඒත් ඒ බදු ආදායම වැඩි නොකර ගත්තොත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකඟ වුණු වැඩපිළිවෙළ කඩා වැටෙන්න ඉඩ තියෙනව. ඒක කඩාගෙන වැටුණොත් කවුද අපිට අත දෙන්න ඉන්නේ ගොඩ එන්න? අපි දන්නවා නම් ගැටලු‍ව, ඒ ගැටලු‍වෙන් ගොඩ එන්න ක්‍රමවේදයක් තියෙනවද? ඒ ක්‍රමවේදය හරහා ගොඩ එන්නේ නැතුව ජනතාවට ටොෆී, චොකලට් බෙදන්න ගිහින් ආයෙත් ඒ වළේ වැටුණටත් වඩා පහළට වැටෙනවද? පහළට වැටෙනවනම් ඉතින් බායි බායි තමා.˝’’

කවුරුන් මොනවා කීවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රජය රටේ ආර්ථික අර්බුදය සහ බංකොළොත්භාවය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව රටක් ලෙස සතුටු විය හැකි බව ප්‍රකාශ කළ යුතුව ඇත. ප්‍රශ්නය උද්ගත වී වසරක් ගත වීමටත් පෙර IMF සමඟ ගිවිසුම්ගත වීම, වාරික දෙකක්ම ලබා ගැනීම, ණය ප්‍රතිව්‍යූහකරණය ආදිය මෙන්ම නැවත ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට හැකි වීමද දැකිය හැක්කේ කිසියම් ආශ්චර්යයක් ලෙසය. ග්‍රීසිය වැනි අර්බුදයට පත්වූ රටවල වසර 10ක් පමණ ගත වී ඇතත් ජනතාවට දැරීමට සිදුව ඇති පීඩනය තවමත් අවසන් වී නැත. පකිස්තානයට අනුමත කර ඇති IMF ණය මුදලේ දෙවැනි භාගයේ වාරික ලබා ගැනීම සඳහා වසර ගණනාවක් ගත කිරීමට සිදු විය.

එහෙත් දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතී. 2022 වසරේ පළමු වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ මට්ටමට පත්විය. එතැන් සිට ගත වූ කාර්තු හයේම වර්ධන වේගය ඍණ විය. 2022 හතරවැනි කාර්තුවේ වර්ධන වේගය ඍණ 17.4ක් විය. 2023 වසරේ තුන්වැනි කාර්තුවේ වර්ධන වේගය පිළිබඳ දත්ත පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර කාර්තු හයකට පසු ශ්‍රී ලංකාව මෙම කාර්තුවේදී සියයට 1.6ක ධන වර්ධනයක් අත්කර ගෙන තිබේ.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය


සුනන්ද මද්දුමබණ්ඩාර

ලංකාදීප 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *