බදු වැඩි නොකලොත් වැඩපිළිවෙළ කඩා වැටෙනවා.. ජනතාවයට ටොෆී, චොකලට් බෙදුවොත් තිබුණටත් වඩා පහළට වැටෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

 

රට අතිශය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව රජයේ ආදායම වැඩිකර ගැනීමට රජය ගත් තීරණ නිසා ජනතාව, සමාජය දැඩි පීඩනයකට පත්ව තිබෙන බවත්, එම බදු ආදායම වැඩි කර නොගන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟවුණු වැඩපිළිවෙළ කඩා වැටීමේ ඉඩ තිබෙන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

 

 

“අද අපි ඉන්නේ භයංකාර තැනක. මම මේ රටේ මිනිස්සුන්ට පැහැදිලි කරලා දුන්නා වගේ අපි දැන් යම් සමතුලිතතාවක ඉන්නවා. නමුත් ඒ සමතුලිතතාව තිබෙන්නේ පෝලිම් යුගයට කලින් තිබුණු යුගයට වඩා අතිශයින්ම වෙනස් තැනක.

අපි දැක්කා අර්බුදයට කලින් පෝලිම් ඇති වුණු කාලයේ හැකියාව තිබුණා ජීවත් වෙන්න රුපියල් 75,000- 80,000න් වගේ. ඒත් අද සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න 175,000ක් යනවා කියලා රජයේ ගණන් තියෙන ආයතනය කියනවා. ඒකෙන් පෙන්නන්නේ පෝලිම් නැති එක ඇත්ත. නමුත් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. පෝලිමේ ඉඳලාවත් ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. පෝලිම් නැති කතාව කියලා අපිට සතුටු වෙන්න බෑ.

 

 

අපි අතිශයින් අවදානම් තැනක ඉන්නේ. අපිට අවශ්‍ය වෙලා තිබුණු රජයේ ආදායම වැඩිකරගන්න රජය ගත්ත තීරණ නිසා ජනතාව, සමාජය දැඩි පීඩනයකට පත්වෙලා තියෙනවා. ඒත් ඒ බදු ආදායම වැඩි නොකර ගත්තොත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟවුණු වැඩපිළිවෙළ කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒක කඩාගෙන වැටුණොත් කවුද අපිට අත දෙන්න ඉන්නේ ගොඩ එන්න? අපි දන්නවා නම් ගැටලුව, ඒ ගැටලුවෙන් ගොඩ එන්න ක්‍රමවේදයක් තියෙනවාද? ඒ ක්‍රමවේදය හරහා ගොඩ එන්නේ නැතිව ජනතාවයට ටොෆී, චොකලට් බෙදන්න ගිහින් ආයෙත් ඒ වළේ තිබුණටත් වඩා පහළට වැටෙනවාද? පහළට වැටෙනවා නම් ඉතින් බයි බායි තමයි.

 

 

මිනිහෙකුට කියලා උදව් කරන එකේ සීමාවක් තියෙනවා. අපි ට්‍රැෆින් ලයිට් එකේ නැවැත්තුවාම හිඟන්නෝ එනවා සල්ලි ඉල්ලන්න. දෙන එකේ සීමාවක් තියෙනවානේ. ඒ හිඟන්නා හැමදාම එනවා නම් ට්‍රැෆික් ලයිට් එකේ සල්ලි ඉල්ලන්න තුන් හතර පාරක් දුන්නම කියනවා යනවා ගිහින් රස්සාවක් හොයා ගන්නවා කියලා. හිඟනකමෙත් සීමාවක් තියෙනවා. අපි දන්නවා නම් මාර්ගයක්, ඒ මාර්ගයෙන් ගොඩ එන්න ඕනෑ. අතිදුෂ්කරයි.”

– ADA

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *