ජනමත විචාරණයකට බිය ප්‍රජාතන්ත්‍රවාදයේ හතුරන්– ගාමිණි වියන්ගොඩ

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ද යනුවෙන් කිසිවෙකුට අද ප්‍රශ්නකරන්නට පුළුවන්කමක් නැත. මක්නිසා ද යත්, පවතින ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ සිටම මේ මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුබව බහුතරයක් දේශපාලන පක්ෂ පිළිගත් හ. යම් කිසි හේතූන් නිසා මේ ව්‍යවස්ථාව තිබියයුතු බව පිළිගත් දේශපාලන පක්ෂ ද මේ වන විට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පිළිගෙන තිබේ. එපමණක් ද නොව පසුගිය ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය ද මේ සම්බන්ධයෙන් ගත් කළ ජනමත විචාරණ දෙකක් ලෙස සැලකිය හැක. එම මැතිවරණ දෙකේදීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පිළිගෙන තිබේ.
ඒ අනුව දැන් ප්‍රශ්නය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ද නැති ද යන්න නොව නව ව්‍යවස්ථාවක් ගෙනෙනවා ද පවතින ව්‍යවස්ථාව තවදුරටත් සංශෝධනයකර තබා ගනනවා ද යන්න ය. මෙහිදි අනික් ප්‍රශ්නය මතු වන්නේ ජනමත විචාරණය පිලීබඳව ය. පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ය. මේ වන විට මේ ව්‍යවස්ථාව 19වෙනි වතාවක් සංශෝධයන කර ඇති අතර අපිට අවශ්‍ය වන්නේ මේ ආකාරයට දිගින් දිගටම සංශෝධනයට භාජනය කිරීමට සිදුවන ව්‍යවස්ථාවක් නොව කිසියම් කාලයකට සංශෝධනයට භාජනය නොවන ව්‍යවස්ථාවකි. එවැනි ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට නම් පවතින ව්‍යවස්ථාවේ පදනම ඉවත්කළ යුතුව තිබේ.
මේ ව්‍යවස්ථාවේ පදනම යනු වෙන යමක් නොව ජනතා පරමාධිපති බලය එක මැතිවරණයකින් පුද්ගලයෙකුට ලබාදෙන අතර එම පරමාධිපත්‍යම පාර්ලිමේන්තු මැතිවරණයේ දී සාමූහිකව ලබාදෙයි. මේ දෙකම ජනතාවගේ පරමාධිපතඅි බලය නියෝජනය වන්නේ වී නමුත් අර එක පුද්ගලයෙකුට දෙන පරමාධිපති බලය සාමූහිකයකට දෙන පරමාධිපතිබවයට වඩා බලවත් ය. අද අපිට අවශ්‍ය වන්නේ පුද්ගලයෙකු වටා බලය ඒකරාශි කරන ක්‍රමයක් නොව සාමූහිකයක් මත ජනතා පරමාධිපත්‍ය ලැබෙන ක්‍රමයකි. ජනමත විචාරණයකට යෑමට අපිට සිදු වන්නේ මේන්න මේ පදනම වෙනස් කිරීමට ය.
අනික් අතට අපි ජනමත විචාරණයකට බියවන්නේ ඇයි ද යන්න මට තේරෙන්නේ නැත. ජනමත විචාරණය ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳම ක්‍රමය නම් අපි යා යුත්තේ එතනට මිස වෙනත් තැනකට නොවේ. ඇත්තටම ජනතාව පවතින විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකර තබාගැණිමට අවශ්‍ය බව කියා සිටින්නේ නම් එය පිළිගෙන මෙහි ඇති අනර්ථය පහදාදීම අපේ වගකීම වේ. අනික් අතට අපේ විරුද්ධවාදින් ද ජනමත විචාරනයක් අවශ්‍ය නැති බව පවසති. ප්‍රජාතන්ත්‍ර විරෝධින් වන මොවුන් ජනමත විචාරණයට බිය වන්නේ ජනතාව විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට අනුමත කළහොත් අය කරන්නට දෙයක් නැතිවන හෙයිනි. එහෙයින් බිය නොවී ජනමත විචාරණයට මුහුණ දිය යුතු බවයි මා පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *