දේශපාලන පක්ෂ තම රැස්වීම් මගින් සහ මාධ්‍යයේ පෙන්වන ශක්තිය භුමියේ ඔවුන්ට නැහැ – රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවක් කියයි

 

 

මෙරට රාජ්‍ය බලය සඳහා තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂ, ඔවුන්ගේ රැස්වීම්වලින් , මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය මගින් මවා පෙන්වන ශක්තිය භුමියේ ඒ ආකාරයෙන් දක්නට නොලැබෙන බව රාජ්‍ය බුද්ධි සේවය  ජනාධිපතිතුමා වෙත ලබා දී ඇති වාර්තාවක් මගින් පෙන්වා දී ඇත.

මෙම පක්ෂවල ඇතැම් වැඩ කටයුතු සහ සංවිධාන සාමාජිකත්වය හොඳ මට්ටමක පවතින නමුත් වැදගත් වෙනත් සංවිධාන බිම් මට්ටමේ සාර්ථකත්වයක් ලබාගෙන නැත.

බලය සඳහා තරඟ වදින ප්‍රධාන කණ්ඩායම් දෙකක් වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන දෙකෙහි ම මෙම තත්ත්වය දක්නට ඇත.

සමගි ජන බලවේගය, බිම් මට්ටමේ සංවිධාන ගොඩනැගීම, පක්ෂයට සම්බන්ධ සංවිධාන ජාලයක් ගොඩනැගීම සහ සුබ සාධන කටයුතු යන අංශ තුනකින් ක්‍රියාත්මක වෙයි.

මෙම සංවිධානජාලය තුළ සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ඇත්තේ සමගි ජන පවුර යි. එසේ වුවත්, සමගි විශ්‍රාමික රණවිරු බලවේගය, සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය සංවිධාන වටා ජන රැල්ලක් නිර්මාණය කරගැනීම අපේක්ෂා කළ තරම් සාර්ථකත්වයක් ලබාගෙන නැත.

සජබ වෘත්තීය සමිති ජාලය අවශ්‍ය තරම් ශක්තිමත් නොවීම නිසා පසුගිය කාලයේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සාර්ථක වුයේ නැත.

එමෙන් ම ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් ගොඩ නගා ගැනීමේ උත්සාහය ද මේ දක්වා සාර්ථක වී නැති බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවේ සඳහන් ය.

රැස්වීම්වලට සහභාගීවන ජන සංඛ්‍යාව  අතින් ඉදිරියෙන් සිටින  ජාතික ජන බලවේගය විසින් ගොඩනගන ලද සංවිධාන ජාලය අතරින් වඩා සාර්ථක වූ සංවිධානය ලෙස රාජ්‍ය බුද්ධි අංශය වාර්තා කර ඇත්තේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය යි.

ජාතික ජන බලවේගයට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය යන සංවිධාන වටා සාමාජික රැල්ලක් ගොඩනැගීමේ උත්සාහය සාර්ථක වී නැත,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සියයක පමණ සංවිධාන ගොඩ නගමින් පක්ෂය යලි ශක්තිමත් කිරීමට උත්සහ දැරුව ද එම පක්ෂයේ ජනප්‍රියතාවය අඩු වී ඇති බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව කියයි.

ජනාධිපතිතුමාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීත්වය ගැන රාජ්‍ය බුද්ධි අංශය ජනාධිපතිතුමාට භාරදුන් වාර්තාවේ විශ්ලේෂණයක් නොවීම විශේෂත්වයකි.

නිදහස ජනතා සභාව, උත්තර ලංකා සන්ධානයට සම්බන්ධ පක්ෂ ආදිය ගැන ද එබඳු විශ්ලේෂණයක් නැති නමුත්, එම පක්ෂ සහ සන්ධානවල අභ්‍යන්තර ගැටුම් ආදිය ගැන කරුණු දක්වා තිබේ.

වාර්තාව සඳහන් කරන්නේ කුඩා පක්ෂ බොහොමයක් ඉදිරි ජනාධිපතිවරණය ගැන අවසන් තීරණයකට පැමිණ නැති බව යි.

උතුරු නැගෙනහිර සහ වතුකරයේ පක්ෂ සහ ඒවායේ ඡන්ද පදනම් ගැන ද වාර්තාවේ කරුණු දක්වා තිබේ. එම පක්ෂවල හැසිරීම වෙනස් විය හැකි හේතු වාර්තාව මගින් පෙන්වා දී තිබේ. උතුරේ ඡන්ද ලබා ගැනීමේ දී 13 වැනි සංශෝධනය පිලිබඳ ස්ථාවරය වැදගත් වන බවත්, වතුකරයේ දී ඉඩම් ප්‍රශ්නය වැදගත් වන බවත්, එමගින් පෙන්වා දී තිබේ.

2023 ජනවාරි 1 දින සිට නොවැම්බර් 6 දින දක්වා දේශපාලන පක්ෂ ක්‍රියාකාරකම් පිලිබඳ දත්ත පදනම් කරගනිමින් රාජ්‍ය බුද්ධි අංශය සකස් කළ වාර්තාව එහි අධ්‍යක්ෂ ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත 2023 නොවැම්බර් 15 දින භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *