කෝප් වාර්තාවට අභියෝගකර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

 

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (කෝප්) වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. කෝප් වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු එම වාර්තාව කියවන්නන් ව්‍යාකූලත්වයට පත්කරන අතර නොමඟ යවන සුළු බව එම පෙත්සමේ සඳහන් වේ.

කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් මෙම පෙත්සම ගොනුකර ඇත. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු එහි සාමාජිකයන් 26 දෙනා ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 32 දෙදෙනකු වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටිති.

ඉකුත් 2015 වසරේ පෙබරවාරි මස 27 දින සහ මාර්තු මස 19 දින සිදුකරන ලද මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සාමාජිකයන් 26 දෙනෙකුගෙන් යුත් කෝප් කමිටුව විසින් සිදුකළ බව පෙත්සමේ දැක්වේ.

එම කමිටුවේ අවසන් වාර්තාව ඉකුත් වසරේ ඔක්තෝබර් මස 28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහි කරුණු සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයන් 15 දෙනකු පාද සටහන් නොමැතිව හා නමදෙනකු පාද සටහන් සහිතව අත්සන් තබා ඇති බව සඳහන්වේ. එම වාර්තාවේ 4.2, 6.1, 6.2 යන වගන්තිවල සඳහන් කරුණු ව්‍යාකූල ලෙස දක්වා ඇති අතර එය එම වාර්තාව කියවන්නන් ව්‍යාකූලත්වයට පත්කරන බව පෙත්සම්කාර හිමියන් පෙන්වා දෙති.

එම බැඳුම්කර ගනුදෙනුව පිළිගත් මහ බැංකු නීතිරීති අනුව සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් පැහැදිළි සහ විනිවිදභාවයෙන් යුතුව කළ යුතු අතර දේශපාලනික හෝ පුද්ගල ඉලක්ක ගත කරගෙන නොකළ යුතු බව පෙත්සමේ දැක්වේ. එසේම කෝප් වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් ලබාගත හැකිව තිබීමත් මහජනතාවට එය ලබාගැනීමට අසීරුවීමත් මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම මගින් පෙන්වාදී තිබේ.

එබැවින් 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිව සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුව සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

නෙල්කා මැදගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *