|

රට අර්බුදයෙන් ගොඩගැනීමට රජය විසින් නිවැරැදි ප්‍රවේශයක් වෙත පිවිස ඇත – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

sharethis sharing button

 

 කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය මුදල සම්බන්ධ දෙවන වාරිකය නිකුත් කිරීමට තීරණය කිරීම සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකරගෙන තිබෙන සබඳතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කිරීම සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා තැබූ විශාල ඉදිරි පියවරක් ලෙසයි.

මහාචාර්‍යවරයා ඒ පිළිබඳ මෙසේද සටහන් කරයි.

දෙසැම්බර් මස 12 වෙනි දින පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමේදී ණය මුදලේ දෙවන වාරිකය වන ඩොලර් මිලියන 337ක් මුදා හැරීමට තීරණය කර ඇත. ඒ අතරම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් නිල ණය කරුවන්ගේ කමිටුව සමග සහ චීනයේ අපනයන ආනයන බැංකුව සමග ඇතිකරගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ එකඟතාවලට ද අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා (Kenji Okamura)විසින් නිකුත් කළ නිවේදනයේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල ඇතිකරන ලද වෙනස්කම් ඵල දැරීමට පටන්ගෙන ඇති බවත් උද්ධමනය පාලනය කිරීම, මූල්‍ය ගැළපීම් සහ සංචිත ගොඩනැගීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් සඳහන් කර තිබේ.

IMF අරමුදල විසින් මෙම පියවර ගැනීම සඳහන් කළ හැක්කේ ශ්‍රී ලංකාව විසින් බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීම සඳහා ගෙන ඇති පියවර ඉතා ඉහළ මට්ටමකින් සාර්ථක වී ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ රට ගොඩගැනීම සඳහා තමන් විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බවත් එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සියලු දෙනා එකතු වී කටයුතු කළ යුතු බවත්ය.

බංකො‍ලොත්භාවයට පත්වූ බොහෝ රටවලට ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ අතර අතිශය පීඩාකාරී ජීවිතයක් අත්විඳීමට එම රටවල මහජනතාවට සිදු විය. එසේ වුවද එවැනි මහා පීඩනයක් රටවැසියන් වෙත එල්ල වීම සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගනිමින් ආර්ථිකය නිවැරදි කිරීමට, ස්ථායීකරණයට සහ යළිත් සංවර්ධන මාවතකට පිවිසීමට අවශ්‍ය පියවර ගෙන තිබීම සතුටුදායක තත්ත්වයකි. ඒ සඳහා බොහෝ කැපවීම් කිරීමට මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට ද සිදු විය. ලැබූ සාර්ථකත්වය තුළින් පැහැදිලි වන්නේ ක්‍රමක්‍රමයෙන් ජනතාව වෙත පැටවී ඇති පීඩනය අඩු කර ගනිමින් ක්‍රමයෙන් ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමේ අවස්ථාවකට රට පත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත් එකක් වන අතර රට මෙම අර්බුදයෙන් ගොඩගැනීම සඳහා රජය විසින් නිවැරැදි ප්‍රවේශයක් වෙත පිවිස ඇති බව ඉන් පැහැදිලි වේ.

සටහන – රෂිකා හෙන්නායක

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *