දුක්විඳපු ජනතාව වැල් පාලමෙන් එගොඩ කළා – ජනපති

රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිල වශයෙන් දැනුම් දුන් බව පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දුක්විඳපු ජනතාව වැල් පාලමෙන් එගොඩ කිරීමට හැකිවූ බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ වැල් පාලමෙන් එගොඩවුවත් ඉදිරියට පවතින වංකගිරිය හරහා නිවරදි මාර්ගයේ ගමන් නොකළහොත් වල්මත් වන බවයි.

එම නිසා පූර්ණ ආර්ථික නිදහස ලැබීමට තවත් බොහෝ දුර යාමට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහය නැවතත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය අනුමත කිරීම පිළිබඳව අද(12) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

දුක්විඳපු ජනතාව සහ පාර්ලිමේන්තුවේදී සහය දුන් මන්ත්‍රීවරුන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ කොටස්කරුවන් බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඔහු පෙන්වාදුන්නේ, අද පාර්ලිමේන්තුව අමතන වීරයන්ට සහ නායකයන්ට එදා රට බාරගැනීමට ධෛර්යයක් නොතිබූ බවයි.

එමෙන්ම, බංකොලොත්භාවයෙන් මිදීමට අද ක්‍රියාත්මක කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් නොසලකා හැරි මීට වසර 10 කට පමණ පෙර ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *