අධ්‍යාපනයට 06% ක් ? – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

පාසල්වලඅධ්‍යාපනය සඳහා  ආණ්ඩුවෙන් වැය කරන මුදල ඉහළ දැමිය යුතු යැයි ගුරු සංගම් කියති. මෙකී ගුරු සංගම් ආණ්ඩුවෙන් මුදල් ඉල්ලමින් සිටින නමුත් අධ්‍යාපනය සඳහා ආණ්ඩුවෙන් දැනටමත් පාසල් වලට වෙන් කරන මුදල්  නිසි ලෙස වැය කරන්නේද කළමනාකරණය  කරන්නේද යන්න ගැටලු සහගතය.මේ රටේ පාසල් සිසුන් ගෙන් වැඩි පිරිසක් පාසල් යනවාට වඩා කරනු ලබන්නේ ටියුෂන් යාමය. පාසල් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් රටේ මේ තරමට ටියුෂන් පන්ති තිබිය නොහැකිය. දැන් පවතින තත්ත්වය අනුව පාසල් පද්ධතිය වසා දමා ටියුෂන් පමණක් ක්‍රියාත්මක කරවීමෙන් වුව අධ්‍යාපනය පවත්වාගෙන යාමට බැරිකමක් නැත.

මෙරට ගුරු සංගම් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දෙන්නට වුව සූදානම් බව පෙනේ. ඇත්තෙන්ම මෙරට නිදහස් අධ්‍යාපනය මේ වන විට ඇති හැකි අය පමණක් බුක්ති විඳින වරප්‍රසාදයක් බවට පත්ව තිබේ. ආණ්ඩුව අධ්‍යාපනයට වෙන් කරන මුදලින් ඇති හැකි පාසල් වඩාත් සරු වන අතර ගම්බද බොහෝ පාසල් වැසීයන තත්වයක් පවතී. අමාත්‍යංශයේ ලේකම්ගේ දරුවාත් අමාත්‍යංශයේ කාර්ය සහායකගේ දරුවාත් එකවිට නොමිලයේ උගනිති. ලේකම් තම දරුවා වෙනුවෙන් යම් පිරිවැයක් දරන්නේ නම් කාර්යාල සහායකගේ බර සැහැල්ලු කරන්නට හැකිවේ.

පවතින රටාව තුළ ආණ්ඩුවේ සම්පූර්ණ ආදායම අධ්‍යාපනයට යෙදෙව්වා වුව අධ්‍යාපනයේ වෙනසක් සිදුවන්නේ නැත.තවත් අතකින් ගත් කල ගුරු සංගම් යෙදී සිටින්නේ අධ්‍යාපනයට 6% වෙන් කරව්! යන සටන් පාඨයට මුවා වී තම වැටුප් වැඩිකර ගන්නට වන්නටද පුළුවන. වැටුප් විසමතා කතාවක්ද සටනට ඈඳාගෙන ඇති නිසාය.
සිදුවිය යුතුව ඇත්තේ ආණ්ඩුව නැති බැරි සිසුනට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන අතර වත්කම් හෝ වැටුප් සහිත පිරිසගේ දරුවන්ගෙන් ආදායමේ තරම අනුව යම් ගාස්තුවක් අය කරන තැනට යාමය.

එවිට ආණ්ඩුවේ අධ්‍යාපන බර යම් පමණකින් සැහැල්ලු වන අතර  සම්පත් අඩු පාසල් සංවර්ධනයට සහ පොදුවේ අධ්‍යාපන සංවර්ධනයට එසේ උපයන සහ ඉතිරි වන මුදල් වැය කරන්නට හැකි වනු ඇත. රජයේ පාසල්වල මුදල් අයකරන්නට පමණක් නොව පෞද්ගලික පාසල්වලට පවා විරෝධය දක්වන ගුරු සංගම් කිසිවිට ⁣එවැනි යෝජනාවකට එකඟ වන්නේ නැත. ඇතැම් රටක අධ්‍යාපනය සඳහා සියලු දරුවන්ට ණය මුදලක් ලබා දෙනු ලබයි. යම් වැටුප් මට්ටමකින් ඉහළ වැටුප් ලබන සේවකයන්ගෙන් එම මුදල ආපසු අයකරගනු ලැබේ. එවැනි ක්‍රමයක් ලංකාව වැනි රටකට හොඳින් ගැලපේ.

ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව මනින ක්‍රමයක් ද සැකසිය යුතුය. ගුරු වැටුප් වර්ධක ආදිය ගැන උනන්දු වන තරමටම ගුරු සංගම් ගුරුවරයා සිය වගකීම හරි හැටි ඉටු කරන්නේද යන්න ද සොයා බැලිය යුතුය. ඇතැම් ගුරුවරයෙක් පාඩමේ අඩක් පාසලේත් ඉතිරි අඩ පෞද්ගලික පන්තියේත් උගන්වන බව ප්‍රකට රහසකි. අවම වශයෙන් තම පන්තියේ දරුවන්ට පෞද්ගලික ඉගැන්වීම්වල යෙදීම හෝ රජයේ ගුරුවරුන්ට තහනම් කළ යුතුය. රජයේ ගුරුවරුන්ට ටියුෂන් සම්පූර්ණයෙන් තහනම් කිරීම වඩාත් සුදුසුය.

ආණ්ඩුව මතම යැපෙන්නට උත්සාහ කිරීම හේතුවෙන් මෙරට අධ්‍යාපනය බරපතළ අර්බුදයකට ලක්ව තිබේ. සාමාන්‍ය පෙළ A නමයක් ඉල්ලන තත්වයට පාසල් පද්ධතිය පත්ව ඇත්තේ ඒවාහි පහසුකම් නොමැති නිසාය. එසේ නොමැතිනම් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබන්නට, ආගමට, සංගීතයට චිත්‍ර කලා විෂයට A සාමාර්ථ අවශ්‍ය නැත. මේ තත්ත්වය දරුවන්ට ද මානසික වධයකි. අනවශ්‍ය ඉලක්ක හඹා යන්නට සිදු වීමෙන් දරුවන් අවිවේකී, නිදහසක් නොමැති පීඩාවට පත් පිරිසක් බවට පත්ව සිටිති. ආදරය, දයාව, ඉවසීම නොදන්නා පිරිසක් බවට අනාගත පරපුර පත්කරන ආයතනයක් බවට මෙරට අධ්‍යාපනය පත්ව තිබේ.

අධ්‍යාපන⁣යේ බර ආණ්ඩුවේ කර මතම තැබිය යුතුයි යන සංකල්පය මේ තත්ත්වයට බලපාන ප්‍රධාන සාධකයයි.
පවතින අධ්‍යාපන රටාව වර්තමානයට ගැලපෙන්නේද? ඇතැම් පාසලක 07, 08 ශ්‍රේණිවල පවා අකුරු නොදන්නා දරුවන් සිටිති. ඒ වරද කාගෙද? විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වැනි අය බොහෝවිට අධ්‍යාපනයෙන් මඟහැරේ ගුරු සංගම් මෙවැනි කරුණු සම්බන්ධයෙන් උනන්දු විය යුතුය.නමුත් එසේ සිදු වන්නේ නැත. ⁣රටේ ගුරුවරුන් එක දිගට වසර දහයක් නිවැරදිව  දරුවන්ගේ මනස නුවණැස පාදන්නේ නම් රට යහපත් දිසාවට වෙනස් කිරීම අපහසු නැත.

ඒ සඳහා ගුරුවරයා පරිපූර්ණ දැනුමකින් සන්නද්ධ විය යුතුය. තමන් උගන්වන විෂය කරුණු පමණක් නොව වෙනත් විෂයන් ලෝක දැනුම ආදිය එහිදී වැදගත්වේ. නමුත් වර්තමාන ගුරුවරුන් සමහරු විෂය කරුණු සම්බන්ධයෙන් පවා යාවත්කාලීන වීමක් නැත.⁣දරුවන් විභාගවලින් සමත් කරන්නට බෝධි පූජා කරන ගුරුවරුන්ට රටේ අනාගතය ගොඩනගන්නට හැකියාවක් නැත. වසරේ හොඳම නාට්‍යය නරඹා නැති නාට්‍ය හා රංගකලා ගුරුවරු, වසරේ හොඳම පොත කියවා නැති සාහිත්‍ය ගුරුවරු කොතෙකුත් සිටිති.

පාසල්වල පහසුකම් දියුණු කරන්නට උද්ඝෝෂණ කරන ගුරු සංගම් ගුරුවරුන් ගේ මොළය හදන්නට ඒ තරමට උනන්දු නැත.පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ නම් ආණ්ඩුවට අලුතින් අධ්‍යාපනය මුදල් වෙන් කරන්නට ද අවශ්‍ය නොවනු ඇත. රටේ සියලු වෘත්තීය සමිති මෙන්ම ගුරු සංගම්ද දන්නා එකම දෙය ඉල්ලීම පමණි. ඉල්ලන තරමට තමන්ගෙන් රටට අත්විය යුතු දෙය දෙන්නට ඔවුන් උනන්දු නැත. සියලු වෘත්තීය සමිති නායකයන් එක කාමරයකට දමා ඔවුන්ගේ ඔළු යාවත්කාලීන කරන වැඩසටහනක් රටට අවශ්‍යය.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

ලංකාදීප  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *