මෛත්‍රීට ගහන්න :නෑ රනිල්ට ගහන්න” – මහින්ද -වාසු ගැටෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ඔහුව දැඩි ලෙස විවේචනය කළ යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් කළ ඉල්ලීමට වාසුදේව නානායක්කාර මහතා දැඩිලෙස විරෝධය පළ කර ඇත.

මේ සතියේ පැවැති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායකයන්ගේ හමුවේ දී රාජපක්ෂ මහතා කළ එම ඉල්ලීමට එරෙහිව නානායක්කාර මහතා පැයක තරම් කාලයක් ගෙන කරුණු දක්වා ඇත.

එහි දී නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේගවල වගකීම බවයි.

ජනාධිපතිවරයාට පහරදීමෙන් පලක් නොවන බවත්, ඔහුව ඉලක්කර විරෝධය පළ කිරීමෙන් ශ්‍රීලනිපය දෙකඩ වීමට අවශ්‍ය සාධක තීව්‍ර වීම සිදු වන බවත්, එය තම කණ්ඩායම කෙරෙහි පොදු ශ්‍රීලනිප පාක්ෂිකයා කලකිරවීමට හේතු වන බවත් ඔහු පෙන්වා දී තිබේ.

ඒ අනුව හුදු පෞද්ගලික ප්‍රශ්න මත විරෝධය දක්වනවා වෙනුවට මීට වඩා දේශපාලනිකව කල්පනා කර කටයුතු කළ යුතු බවත් නානායක්කාර මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ජවිපෙ ස්ථාවරය :

ජනතා විමුක්ති පෙරමුණ එජාපයේ නායකයන් සමඟ ගනුදෙනුවක නිරතව සිටියත් ඔවුන් එළියේ දී එජාපයට එරෙහිව දැඩිව කටයුතු කරන්නේ සිය පක්ෂය හා පාක්ෂිකයා රැක ගැනීමට බවත් මෙහි දී උදාහරණයක් ලෙස ගෙන නානායක්කාර මහතා පවසා ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා පමණක් ඉලක්ක පහරදීමෙන් රාජපක්ෂවරුන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් ගනුදෙනුවක් තිබෙන බව පාක්ෂිකයන් අවබෝධ කර ගනු ඇතැයි ද ඔහු පවසා ඇත.

ශ්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා එජාපයට රාජපක්ෂවරු උදව් කරන බවට දැනටමත් මතයක් නිර්මාණය වී ඇති බැවින් මේ මොහොතේ විය යුත්තේ එජාපය ඉලක්ක කරගෙන පහර ගැසිය යුතු බවට නානායක්කාර මහතා මතු කළ කරුණුවලට ඒකාබද්ධ විපක්ෂයේ සෙසු නායකයන්ගේ ද සහාය පළ වී ඇත.

(ඩී.මංජුල කුමාර) srilankamirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *