සජිත්  ප්‍රේමදාස ගේ කකුළු න්‍යාය – දුමින්ද රංගන දිසානායක 

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. අනුන්ට කියන්නට කලින් තමන් හරියට හැසිරිය යුතුය.  සජිත් මහතාට පසුගිය දා සිදුවූයේ එකී කියුමට පිටුපා කටයුතු කිරීමේ ප්‍රතිවිපාකය යි. නාස්තිය දූෂණය අක්‍රමිකතාව මෙරට පරිහානියට හේතු සාධකව ඇති බවට විවාදයක් නැත. ඒවා සියල්ල මුළුමනින් කෙසේ වුව හැකි උපරිමයෙන් තුරන් කළ යුතු බව ද සත්‍යයකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දූෂණය, නාස්තිය, තුරන් කරන්නට කතාකරනවා මෙන්ම එය කරන්නට ප්‍රතිඥා ද දෙයි. එහෙත් ඒ අවංකව නොව මූණිච්චාවට හුදු දේශපාලන වාසි තකා පමණක් බව දැන් පැහැදිලිය.ඒ අභ්‍යන්තර විගණන වාර්තා වලිනි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අනිසි ලෙස පරිහරණය කර ඇති බවටත්, පසුගිය යහ පාලන යුගයේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ පැවැති ආයතනවලට කාඩරයෙන් පිටත සේවකයන් බඳවා ගෙන අනවශ්‍ය ආකාරයෙන් වැටුප් ගෙවමින් රජයේ මුදල් අවභාවිත කර ඇති බවටත් චෝදනා නැගේ. එසේ ම විපක්ෂ නායකවරයාගේ බිරිඳ ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක භටයන් රජයේ මුදලින් පඩිනඩි ගෙවා නඩත්තු කර ඇති බවද පැවසේ. ඒ සඳහා රුපියල් බිලියන ගණනින් රජයේ මුදල් වැයකර තිබේ.
සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් නැගෙන චෝදනාවට පිළිතුරු වශයෙන් සජිත්, මරික්කාර් වැන්නන් පවසන්නේ එම මුදල් වැයකරනු ලැබ ඇත්තේ විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් ආදිය වෙනුවෙන් දහම් පාසල්, භික්ෂූන් වහන්සේ ගේ ආදාහන කටයුතු ආදිය සඳහා බවයි. මෙය නිසැක ලෙසම ආගමට මුවා වී මහජන මුදල් අවභාවිතය පිළිබඳ වරදක් වසං කර ගැනීමට ගන්නා උත්සාහයකි.
රජයේ මුදල් වැය කළ යුත්තේ අනුමත කටයුතු සඳහා අනුමත පටිපාටියක් යටතේ පමණක් බව සජිත් හෝ මරික්කාර් හෝ නොදන්නවා නොවේ. මේ උත්සාහය ආගම උපයෝගි කර ගනිමින් ජනතාවගේ ඇසට වැලි ගසන්නටය. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගි වෙම්න් පැවසුවේ රජයේ මුදල් සිය පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති බව හෙළි වුවහොත් ඉල්ලා අස්වන බවයි.
රජයේ මුදල් අවභාවිතය යනු ඒවා ව්‍යාපාර සඳහා යොදවා ගැනීම පමණක් නොවේ. බිරියගේ ආරක්ෂකයන්ට ආණ්ඩුවේ මුදලින් වැටුප් ගෙවීම ද රජයේ මුදල් අවභාවිත කිරීමකි. අනවශ්‍ය පරිදි සේවකයන් බඳවා ගැනීමද එසේම ය. කොකාගේ සුද ඉගිලෙන විට පෙනෙන පරිදි සජිත් ගේ සුද විගණන වාර්තාවෙන් පෙනෙන්නට පටන්ගෙන තිබේ.
මේ තොරතුරු අසත්‍ය නොවන බව ඔප්පු කරන වීඩියෝ පටයක් සජිත් අමාත්‍ය ධූරයට පත් යහපාලන මුල් සමයේ ප්‍රචාරය විය. උස අයට සිකියුරිටි, මිටි අයට කම්කරු ඒ වීඩියෝවයි. ඒ වීඩියෝ පටයට අනුව රැකියා ලැබීමේ මූලික සුදුසුකම පක්ෂ ශාඛාවක සාමාජිකත්වයයි. බිරිඳ ගේ රැකවලට යොදන ලද්දේ එසේ බඳවාගත් පිරිස වන්නටද පුළුවන. යාපනයේ උදා ගම විවෘත කරන්නටත් කොළඹ, මහනුවර පෝස්ටර් අලවා අනවශ්‍ය ප්‍රචාරක වියදම් දරමින් සිය ප්‍රතිරූපය පුම්බා ගන්නට වෙර දැරූ සජිත් වැනි කටින් බතල කොළ සිටුවන නායකයන්ගෙන් ජනතාව පරිස්සම් විය යුතුය.
දුමින්ද රංගන දිසානායක 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *