ජනපතිවරණයේ කාටවත් සියයට පනහ නැහැ; ඉඩ ඇත්තේ පුළුල් පෙරමුණකට පමණයි – ඇත්ත බුද්ධි වාර්තාව මෙන්න

 

 

 

ලබන වසරේ ජනාධිපතිවරණය ඉල්ලක්ක කරගෙන දැන් ක්‍රියාත්මක වන කිසිදු කණ්ඩායමකට ජයග්‍රහණය සඳහා  අවශ්‍ය සියයට පනහක ඡන්ද ප්‍රමාණය ලබාගැනීමේ හැකියාවක් නැති බව ජාතික බුද්ධි සේවය ජනාධිපතිතුමා වෙත ලබා දී ඇති බුද්ධි වර්තාවක සඳහන් වෙයි.

කිසිදු තනි කණ්ඩායමකට සියයට පනහ ලබාගත නොහැකි වනු ඇති බව කියන එම වාර්තාව මගින් ජනාධිපතිවරණයේ දී පක්ෂ පෙළගැසීම් සිදුවිය හැකි ආකාරය ගැන ද විග්‍රහයක් ලබා දී තිබේ.

එයින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරණය ජයගත හැක්කේ පුළුල් පෙරමුණකට පමණක් බව යි.

‘ප්‍රධාන දේශපාලන ධාරාවන්වල මැතිවරණ ඉලක්ක කරගත් ක්‍රියාකාරීත්වය / ස්ථාවරය ( 2023 ජනවාරි 1 -2023 නොවැම්බර් 06 ) ‘ ලෙස හඳුන්වා  ඇති වාර්තාව මගින් එම කාලය තුළ පක්ෂ ක්‍රියාකාරීත්වය , ආසන බල මණ්ඩල පිහිටුවීම, ඒවාට පිරිස් සහභාගීත්වය ආදී කරුණු වාර්තා කොට තිබේ.

ජනාධිපතිවරණය සඳහා විවිධ පක්ෂවලින් අපේක්ෂකයින් නව දෙනෙකු සුදානම් වෙමින් සිටින නමුත්, මේ වනවිට අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමරා දිසානායක මහතා පමණකි.

ප්‍රධාන දේශපාලන බලවේග ලෙස සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැසඳීමේ දී , මෙම කාලය තුළ ජාතික ජන බලවේගය ආසන සමුළු 122 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සමුළු 100 ක් පවත්වා ඇත. සමගි ජන බලවේගය පවත්වා ඇති ආසන බල මණ්ඩල රැස්වීම් සංඛ්‍යාව 66 කි.

මෙය ප්‍රතිශත ලෙසින් ජාතික ජන බලවේගය සියයට 43 ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 35 ක් සහ සමගි ජන බලවේගය සියයට 23 ක් වශයෙන් වෙයි.

ජාතික බුද්ධි අංශ තොරතුරුවලට අනුව  ජාතික ජන බලවේගයේ ආසන සමුළු සඳහා සහභාගී වූ සංඛ්‍යාව 173,390 කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම සංඛ්‍යාව 51,450 කි. සමගි ජන බලවේගයේ සංඛ්‍යාව 51,215 කි.

මෙම ප්‍රධාන බලවේග තුන අතර පිරිස් සහභාගීත්වයේ ප්‍රතිශත වන්නේ ජාතික ජන බලවේගය සියයට 63 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියයට 19 ක් සහ සමගි ජන බලවේගය සියයට 18 ක් වශයෙනි.

ජනාධිපතිවරණය ඉලක්ක කරගත් වැඩ සටහන් දැනට ක්‍රියාත්මක කරන්නේ ඉහත කී බලවේග තුන විසින් ය.

පිරිස් සහභාගීත්වයෙන් පුත්තලම, කෑගල්ල සහ නුවරඑලිය හැර අනෙක් දිස්ත්‍රික්කවල ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටිය ද බිම් මට්ටමේ ඔවුන්ගේ බලය පිලිබඳ ප්‍රශ්න ජාතික බුද්ධි අංශය පෙන්වා දී තිබේ.උතුරු පළාතේ දිස්ත්‍රික්කවල සහ මඩකලපු දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහයක් ගොඩ නගා නැත.

ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට තනි කණ්ඩායමකට නොහැකි අතර ඒ සඳහා සන්ධාන ගතවීමක් අවශ්‍ය වෙයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග දැනට ඇති සන්ධාන බිඳ වැටී නව සන්ධාන බිහි වීමේ හැකියාව ඇත.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ දේශපාලන ස්ථාවරය අනුන එයට උතුරේ පක්ෂ සමග හෝ විපක්ෂයේ වෙනත් පක්ෂ සමග සන්ධාන ගත වීමේ ඉඩකඩ සීමා සහිත බව ජාතික බුද්ධි අංශයේ මතය වී තිබේ.

දෙමළ , මුස්ලිම් පක්ෂ සහ අනෙකුත් කුඩා පක්ෂවල හැසිරීම ගැන ද ජාතික බුද්ධි අංශ වාර්තාවේ සන්දහ්යන් ය.

එක් එක් පක්ෂ සහ කණ්ඩායම් විසින් රජයට එරෙහිව කළ විරෝධතා සහ උද්ඝෝෂණ මෙන් ම ඒවාට තිබු ජන සහභාගීත්වය පිළිබඳව ද සවිස්තර වාර්තාවක් ජාතික බුද්ධි අංශය ජනාධිපතිතුමා වෙත ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *