සජිත්ගේ හොරු ඇල්ලීමේ ඉල්ලීමට ආණ්ඩුවෙන් ප්‍රතිචාර ; සජිත්ගේ ම කේස් අදියි

 

 

පසුගිය ආණ්ඩු කාලවල සොරකම් දුෂණ කළ අය අල්ලන්න යැයි පසුගිය කාලයේ දිගින් දිගට හඬ නැගූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමති ධුරය  දරද්දී සංස්කෘතික අරමුදලේ සහ අමාත්‍යංශයේ සිදු වූ බව කියන කොටි ගණනක අයතා  මුදල් පරිහරණ පිලිබඳ තොරතුරු සහ විගණන වාර්තා ආණ්ඩු පක්ෂයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී හෙළි කරනු ලැබී ය.

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සංස්කෘතික අරමුදලේ විගණන වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ නිසි අනුමැතියකින් තොරව කොටි ගණන් මුදල් වියදම් කිරීමට අමතරව තමන්ගේ පවුලේ ව්‍යාපාර ආරක්ෂාවට අමාත්‍යංශයේ ආරක්ෂක නිලධාරීන් යොදවා තිබු බව ද එයින් හෙළි වන බව යි. එය රාජ්‍ය  සම්පත් අවභාවිතයක්  බව අලුත්ගමගේ මහතා කී ය.

මෙය හොර විගණන වාර්තාවක් කී සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන්ගේ අත්සන සහිත නියෝගයකින් අමාත්‍යංශ ආරක්ෂකයින් පෞද්ගලික දේපළ ආරක්ෂාවට යොදා තිබු බව ඔප්පු කළ හොත් තමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව යි. ආරක්ෂකයින් යෙදවීම ගැන කිසිවක් නොකී සජිත් ප්‍රේමදාස මහතා කීවේ තමන්ගේ ලිඛිත නියෝගයකින් එවැන්නක් සිදු නොවූ බව යි.

එම කාලයේ සංස්කෘතික අරමුදලේ කෝටි ගණන් මුදල් ආවරණ අනුමැතියට යටත්ව යැයි  කියමින් වියදම් කර ඇතත් ඒවාට අනුමැතිය ලැබී නැති බව වර්තමාන සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.

සංස්කෘතික අමාත්‍යංශ වැය ශීර්ෂය ඊයේ විවාදයට ගත් අවස්ථාවේ දී ඇති වූ මේ විවාදාත්මක තත්ත්වය අතර කතා කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීවේ ආවරණ අනුමැතියට යටත්ව මුදල් වියදම් කළ හැක්කේ කිසියම් උපරිම සීමාවකට යටත්ව බව යි. දශ ලක්ෂ ගණන් කොටි ගණන් මුදල් ආවරණ අනුමැතියට යටත්ව කියමින් වියදම් කිරීමට හැකියාවක් නැති බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

පෝස්ටර් ගැසීමට විශාල මුදලක් වියදම් කොට ඇති බවත්, එම පෝස්ටර්වල ඉතිරි තොග තවමත් අමාත්‍යංශයේ කාමරවල ගොඩ ගසා ඇති බවත් මෙහි දී හෙළිදරව් වී ය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කොටි 2000 ක පමණ මුදලක් මෙලෙස අනුමැතියකින් තොරව වියදම් කොට ඇති බවත්, එම වියදමට කිසිදු අනුමැතියක් මෙතෙක් ලැබී නැති බවත් හෙළිදරව් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *