ටෙලිකොම් මෑන්පවර් වර්ජනයට වාරණයක් – මවු සමාගමින් ඉහල වැටුප් ලබන ස්ථිර සේවක පිරිසක් සේවයට දුන් තැන ස්ථිර වෙන්න හදලා

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ස්ථිර පත්වීම් ඉල්ලා ටෙලිකොම් මෑන්පවර් සේවකයන් දින 25ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවමින් වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (20) නිකුත් කෙළේය.

මෑන් පවර් සේවකයින් ටෙලිකොම් සමාගමේ සේවකයින් ලෙස අනුයුක්ත කිරීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ නීතිමය ප්‍රතිපාදනයක් නැති බවත් ඔවුන් පැමිණිලිකාර මෑන්පවර් සමාගමේ ස්ථිර සේවකයින් ලෙස ඉහළ වැටුප්, සේවක වරප්‍රසාද, ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. දීමනා, වාර්ෂිකව සියයට දහයක වැටුප් වර්ධන, දරුවන්ට පාසල් පොත් හා උපකරණ වාර්ෂිකව ලබන බවත්, වැඩවර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාදාමයක් බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා එම වාරණය නිකුත් කෙළේය.

එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලුෂන් සමාගම (මෑන් පවර් ආයතනය) සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය හා එහි නියෝජිතයින් දස දෙනකුට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.

වාරණ නියෝගය පෙබරවාරි 3 දින දක්වා බල පැවැත්වෙන බව නියෝග කළ දිසා විනිසුරුවරයා විත්තිකරුවන්ට ලබන 7 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කෙළේය.

නීතිඥ සුදත් පෙරේරා, නීතිඥ සමාගමේ උපදෙස් පරිදි මෑන්පවර් සමාගම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවකයින් දිගින් දිගටම වැඩ වර්ජනයේ නිරතවීම තම සමාගමේ මෙන්ම රටේ ආර්ථිකයට පිරිමැසිය නොහැකි පාඩු අත්කර දෙන බවය.

ටෙලිකොම් සමාගම හා සිය සමාගම අතර පවතින ගිවිසුම ප්‍රකාරව වර්ජකයින් ටෙලිකොම් සමාගමේ සේවකයින් ලෙස බඳවා ගැනීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවත්, සිය සමාගම සියලු සේවකයින්ට ඉහළ වැටුප් වරප්‍රසාද ලබාදී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙළේය.

විදුලි සංදේශ සේව සංගමයේ වැඩ වර්ජනය වෘත්තීය සමිති ආඥා පනතට හෝ කාර්මික ආරවුල් පනතට අදාළ වෘත්තීය සමිති ක්‍රියාදාමයක් නොව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය. සේවකයින් කීප දෙනකු ගෙන යන මෙම වැඩවර්ජනය හේතුවෙන් මෑන්පවර් සමාගමේ ස්ථිර සේවකයින් 2640ක සේවය අහිමි වීමේ අවදානමක් හා සමාගමට රුපියල් බිලියන 1.6ක පාඩුවක් සිදුවන බවත් කරුණු ඉදිරිපත් කෙළේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා වාරණ නියෝග නිකුත් කරමින් ලබන 3 වැනි දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට දන්වා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් මනෝජ් බණ්ඩාර, ලක්ෂ්මන් පෙරේරා හා ගාමිණී බාලසුරිය නීතිඥ මහත්වරුද පෙනී සිටියහ.නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 3 දින පැවැත්වේ.

රොෂාන් තුෂාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *