|

ලංකාවෙ පසුම්බියට රුපියල් බිලියන 257ක් වැටෙයි

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී.

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි.

මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති අතර ණය සහ පොලිය ගෙවීමේ කාලය දිගු කිරීමටත් ණය පොලිය යම් පමණකින් කපා දැමීමටත් තීන්දු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පිරිනමන දෙවෙනි වාරිකය වන ඩොලර් මිලියන 330 ක මුදල ලබන සති දෙක ඇතුලත නිදහස් කිරීමට නියමිතය.

ඒ සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා මත ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට නියමිතව පවතී. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන දෙසීයක් ලබාදීමටද නියමිතය.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 780ක් හෙවත් රුපියල් බිලියන 257ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව අැතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *