රතන හිමිගේ පාර කුමක් ද? – දේශපාලන වතගොත

ප්‍රාදේශිිය ලේකම් කාර්යාල 21ක් මුල් කරගනිමින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වු ජනපති නිල මෙහෙවර ගාල්ල දිස්ත්‍රික් සමාප්ති උත්සවය සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පසුගිය සෙනසුරාදා ජනපති මෛත්‍රී ලබුදුව, සිරිධම්ම විදුහලට පැමිණියා. ජනපති මෛත්‍රී රැගත් හෙලිකොප්ටරය ගාල්ල කුරුඳුවත්ත චීන මිත්‍රත්ව ගම්මාන ක්‍රීඩාංගනය වෙත පැමිණි අතර ජනපතිතුමන් පිළිගැනිම සඳහා දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා කල්වේලා ඇතිවම එම ස්ථානයට පැමිණ සිටියා. අනතුරුව තම මෝටර් රථයට මහ ඇමැති ෂාන්වත් නන්වාගත් ජනපතිතුමන් කෙලින්ම උත්සව භූමියට ළගා වුණා. ඒ වන විටත් ඔහු පිළිගැනිමට අගමැතිතුමන් සමගින් ඇමතිවරුන් වන වජිර, ජෝන් අමරතුංග, ගයන්ත, හැරිසන්, ආණ්ඩුකාර හේමකුමාර ඇතුළු විශාල පිරිසක් පැමිණි සිටි අතර පිළිගැනිමෙන් අනතුරුව ඇමැති වජිරගේ ඇරයුමින් ජනපති, අගමැති, ඇතුළු පිරිස තේ පැන් සංග්‍රහය පැවැති ස්ථානයට කැඳවා ගෙන යනු ලැබුවා. ජනපති තේ මේසයට අසුන් ගන්නවාත් සමඟම තම දුරකථනයෙන් ඇමතුමක් ගනිමින් ඉතා සුහදව හා සිනාමුසු මුහුණින් විනාඩි කිහිපයක් කා සමඟදෝ කතා කරනු දක්නට ලැබුණු අතර අගමැති ඇතුළු අවට සිටි සෙසු අයටද මේ කතා කරන්නේ කා සමඟදැයි ප්‍රශ්නයක් වුණා. දුරකථන සංවාදය නතරකළ ජනපති මෛත්‍රී කහට කෝප්පයක රස විඳිමින් පැවසුවේ. මම කතා කළේ වෙන කාටවත් නොවෙයි. අපේ අක්මීමන ආසනයේ සංවිධායක දොස්තර රමේෂ් පතිරණ මහත්තයට කියලයි. කොහෙද අපි එයාගේ ගමට එනකොට එයාගෙදර අයත් එක්ක කතරගම ගිහින්. කලින් යොදාගත්ත එකක් නිසා ගියාලූ ගමේ හිටිය නම් එනව කිවා. මම කීවා කතරගම දෙවිහාමුදුරුවන්ට පඩුරු දාන ගමන් මාවත් මතක් කරල දාන්න කියලා. මෛත්‍රී කියපු කතාවට කවුරුත් සිනා වුණා. ඉන් අනතුරුව උත්සව සභාව පටන් ගත් අතර උත්සවයේ පිළිගැනිමේ කතාවෙන් අනතුරුව මහ ඇමැති ෂාන් විජයලාල් උත්සව සභාව ඇමතුවා. ඔහු පැවසුවේ දිස්ත්‍රික්කයේ පවත්වන ලද ඉතාම සාර්ථක හා ඵලදායි වැඩසටහනක් ලෙස ජනපති නිල මෙහෙවර හැඳින්විය හැකි බවත්, මේ පිළිබඳව ඇමැති වජිරට නිරන්තර ගෞරවය හිමිවන බවත්. ඉන්පසු ඇමැති වජිර උත්සවය ඇමතුවා. ඔහු පැවසුවේ ඉතාම සාර්ථක වැඩසටහනක් ලෙස ජනපති නිල මෙහෙවර ගාලූ දිසා වැඩසටහන සාර්ථක කරගැනිමට ජනපතිතුමාගෙන් මෙන්ම අගමැතිතුමාගෙන් ලද ආශිර්වාදය ඉතා ප්‍රමුඛ වු බවත්, එයට පළාතේ මහ ඇමතිවරයා ලෙස ෂාන් විජයලාල් මහඇමතිතුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පැවැති වැඩසටහන් 21ටම සක්‍රිය දායකත්වයක් ලබා දෙමින් දෙන ලද සහය අගයකරන බවත්ය.

අගමැතිතුමන් කිවේ රට දැන් සංවර්ධන ක්‍රියාවලියට ගමන් කරමින් සිටින බවත් ඔබට අවශ්‍ය වන්නේ එවන් යුගයක්ද නැතිනම් මාධ්‍ය සංදර්ශන පවත්වමින් රට ආපස්සට හරවන යුගයක්ද කියායිි. තවදුරටත් උත්සව සභාව ඇමතු අගමැති රනිල් කිවේ කවදත් අපේ වජිර ඇමතිතුමා මේ වගේ වැඩවලට දක්ෂයා බවයි. සියලූ දෙනාගේ කතාවලින් අනතුරුව ජනපති මෛත්‍රී උත්සව සභාව අමතමින් පැවසුවේ මෙවන් වැඩසටහන් අපේ රටට අලූත් දෙයක් නොවන බවත්, එහෙත් අලූත් සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කළ ජනපති නිල මෙහෙවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලට පිළියම් සපයන හොඳ ස්ථානයක් වීම සතුටට කරුණක් බවයි.

උත්සව සභාවේ වැඩකටයුතු නිමාවීමෙන් අනතුරුව ජනපති මෛත්‍රී ඇතුළු පිරිස ජනතා ගැටලු විසඳන කුටි නැරඹිමට යනු ලැබුවා. එහිදි ජනපතිතුමන්ගේ නෙත ගැටුණේ සංවේදි ප්‍රශ්නයකට. ඒ ආබාධිත දරුවකු ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කර නොගැනිමේ සිද්ධියක්. එයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වු ජනපති අදාළ දරුවා එම පාසලට ඇතුලත් කර ගැනිමට අවශ්‍ය කටයුතු එවේලේම සිදුකරනු ලැබුවා.

ලබුදුව සිරිධම්ම විදුහලට ජනපති පැමිණියේ ජනපති නිල මෙහෙවර වැඩසටහනේ දෙවන අදියරටයි. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලින් වැඩම කළ 900කට ආසන්න මහා සංඝරත්නය හමුවිම සඳහා මුළු සභාවම කසාවතින් බැබළුණා. උත්සවය දුටු මෛත්‍රීට දැනුණේ පුදුම සතුටක්. ඒ මොහොතේ ප්‍රකාශ වුෙණ් ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන අභිවෘද්ධිය සඳහා අරමුදලක් පිහිටුවන බවයි. වැඩම කරන ලද සියලූම මහා සංඝරත්නය වෙත සිවුරු පුජා කිරිමටද කටයුතු සලස්වා තිබිම විශේෂත්වයක් වුණා. අනතුරුව මහාසංඝරතනය අමතමින් ඇමැති වජිරත්, මහ ඇමැති ෂාන් විජයලාලූත් කතා කළ අතර ජනපති මහ සංඝරත්නය අමතමින් පවසා සිටියේ තමන් ජනපති පදවියේ සිටින තාක් කල් මේ රටේ එක බිම් අඟලක්වත් විකිණිමට ඉඩ නොතබන බවයි. එසේම මහජන මුදලින් ඉදිකරන ලද ව්‍යපෘති සංවර්ධනය කිරිමට විදේශ රටවල් සමඟ එකතුවි වැඩකටයුතු සකස් කළද, රටට අහිතකර යමක් තමන් අතින් සිදු නොවන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ පැවැත්වුණු උත්සව ගණනාවකට සහභාගි වුණා.

පසුගිය සිකුරාදා උදේ අරලිය ගහ මන්දිරයේදි පැවැත්වුණු රාජ්‍ය කළමනාකරණ සහකාර 3 ශ්‍රේණිය පත්වීම් 1050 ක් ප්‍රදානය කිරීම අගමැතිවරයා අතින් සිදු වුණා. එහිදි අගමැතිවරයා පැවසුවේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ශ්‍රි ලංකාවට පැමිණි අතර වර්තමානයේදීත් විදේශ ආයෝජන නොමැතිව රට සංවර්ධනය කිරීම අසිරූ බවයි. හම්බන්තොට වෙළෙඳ කළාපය ඇතුළු අනෙකුත් වෙළෙඳ පුරවරයන් සඳහා විදේශ ආයෝජකයින් පැමිණීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන විරෝධතා හුදු දේශපාලන අරමුණු ඉලක්ක කර ගත් ඒවා මිස ජනතාවට හිතවාදීව සිදු වන ඒවා නොවන බව අගමැතිවරයා අවස්ථා කිහිපයකදීම සිදු කළ කතාවලින් පෙන්වා දුන් කරුණක්.

එදින හවස් වරුව අගමැති වික්‍රමසිංහ මහතා ගත කළේ ගාල්ල නගරයේයි. එහි පැවැති උත්සව අවස්ථා දෙකකට අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුයේ බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියද සමගයි. වික්‍රමසිංහ මහත්මිය මහජන උත්සවවලට සහභාගි වනුයේ ඉතා අඩුවෙන් වුවද මීට පෙරත් ගාල්ලේ පැවැති උත්සවවලට සහභාගි වී තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි අධ්‍යයන අංශයේ මහාචාර්යවරියක් වන ඇය මහාවංශය ඉංග්‍රිසියෙන් එළිදැක්වීමේ උත්සවයට සහභාගි වුයේ කැමැත්තෙන් බව පෙනී ගියා. අනතුරුව ෆෙයාවේ ජාත්‍යන්තර සම්මාන උළෙලටද දෙපළම සහභාගි වුණා.

මෙවර ජාතික තෛපොන්ගල් උත්සවය පැවැත්වුණේ සීතල නුවරඑළියේයි. මේ දිනවල නුවරඑළියේ පවතිනුයේ ඉතාම දැඩි සීතලක්. නගර සභා පිට්ටනියේ තෛපොන්ගල් උත්සවය පැවැති අතර ග්‍රෙගරි වැව දෙසින් සීතල සුළඟ හමා ආවා. රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයට ආවේ සීත කබායක්වත් හැඳ නොවේ. එහි රැස්ව සිටි ජනතාවගෙන් අගමැතිවරයාට ලැබුණේ ඉතාම උණුසුම් පිළිගැනිමක්. ඉදිරියේ ඉඳි කෙරෙන ආර්ථික පුරවරයන්හි රැකි රක්ෂා වතුකරයේ තරුණ තරුණියන්ටද ලබා දෙන ලෙස අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කළ ඉල්ලීමට අගමැතිවරයාගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. ඉදිරි ආර්ථික සංවර්ධනයේදි සියලුම ජාතීන්වල ජනතාවට රැකියා හිමි වන බව අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

පසුවදා අගමැති වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා පිටත්ව ගියා. වික්‍රමසිංහ මහතා මේ සමුළුවට සහභාගි වන දෙවන අවස්ථාව මෙයයි. පසුගිය වසරේදි මේ සමුළුවට වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ සහභාගි වු අතර ශ්‍රි ලාංකික දේශපාලන නායකයෙකුට ලෝක ආර්ථික සමුළුවට ආරාධනා ලැබුණු ප්‍රථම අවස්ථාව එය වුණා. මෙවරද ජාත්‍යන්තරයෙන් ශ්‍රි ලංකාවට වාසි රැසක් අගමැති වික්‍රමසිංහ මහතා රැගෙන එනු ඇති.

තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 35ක වියදමින් රංගශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගීවීමට ගිය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැන ගැනීමට ලැබුණේ විද්‍යාලයේ ගුරුවරුන් හා මාපියන් දෙපිළකට බෙ දී විදුහල්පතිවරයාට පාසල පවත්වාගෙන යාමට බාධා පමුණුවන බවයි.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව එක්තරා ගුරුවරුන් පිරිසක් ළමයින් ලවා පාසලේ ඇතැම් ඩෙස් පුටු කඩා බිඳ දැමීමට කටයුතු කර ඇති බවත් සජිත් ඒ වන විට දැන සිටියා. සිය කතාවේ දී සජිත් කීවේ “කට්ටියක් මගෙන් ඉල්ලීමක් කළා, විදුහලට අවුරුදු 15කට මෙපිටින් ඩෙස් පුටු ලබා දී නැති නිසා අලුතින් ඒවා ලබාදෙන්න කියලා. ඒවා ලබාදෙන්න පුළුවන්. එකම දේ මේවා විනාශ කරන්නට පෙලඹවීම් කරන කණ්ඩායම් ගැන වහාම විනය පියවර ගන්න ඕනෑ. නැත්නම් පොදු දේපොළ විනාශ කිරීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්න වෙනවා” කියාය.

සයිටම් ආයතනය පිළිබඳ පැනනැ‍ඟී ඇති නීතිමය ගැටලූව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථාවරය දැන ගැනීම සඳහා එහි සභාපති කාලෝ ෆොන්සේකා හමුවී සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා. පක්ෂ නායක අනුර දිසානායක, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූණා ”කලින් ආණ්ඩුව මේක ගෙනාවා. මේ ආණ්ඩුව පවත්වාගෙන යනවා. මේක පටන් ගන්න තැන ඉඳලම නීති විරෝධී විදියට කටයුතු කළා. මව්පියන්, දරුවන් පමණක් නෙවෙයි රජයේ ආයතනවලටත් බොරු කළා.” අනුර දිසානායක කීවා. ”ඔව් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ආයතනයට නීතිමය පිළිගැනීමක් දුන්නොත් අපේ රටේ අනෙක් වෛද්‍යවරුන්ගේ තත්ත්වය ගැනත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපේ රටේ වෛද්‍යවරු ඉදිරියේ දී පිළිගන්නේ නැති තත්ත්වයක් මතුවෙනවා.” කාලෝ ෆොන්සේකා කියා සිටියා. ”අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් වෙන්න ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නවා. නමුත් මේ වගේ ලාබ ලැබීමේ අරමුණින් පමණක් පවත්වාගෙන යන ව්‍යාපාරවලට ඉඩ දිය යුතු නැහැ.” අනුර දිසානායක කීවා. මේ සම්බන්ධයෙන් පත්කළ අනුකමිටු වාර්තා පිළිබඳවද විවිධ කරුණු ගණනාවක් මෙහි දී සාකච්ඡාවට බඳුන්වුණා.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මාස කිහිපය තුළ ගම් මට්ටමේ පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා සෘජුවම පක්ෂයේ නායකයින් මැදිහත්වී විවිධ වැඩසටහන් ගණනාවක් දින ගණනාවක් පුරා දියත් කිරීමට සැලසුම් සකස් කොටඅවසන්. ”ජනබලය ගොඩනගන දිස්ත්‍රික් මෙහෙයුම” නමින් එම වැඩසටහන නම් කොට තිබෙනවා. මෙහි දී පක්ෂ නායකයින් කණ්ඩායමක් එක් දිස්ත්‍රික්කයක් තුළ දින හතරක පමණ කාලයක් ගත කරමින් ගමින් ගමට පත්‍රිකා බෙදාහැරීම, ජනහමු, සාකච්ඡා සම්මන්ත්‍රන, විද්වත් කථිකා, විවිධ සංස්කෘතික වැඩසටහන් ආදිය සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහි පළමු දිස්ත්‍රික් මෙහෙයුම ජවිපෙ නායක අනුර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයින් වන ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ යන අයගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

එය ලබන 27, 28, 29 සහ 90 යන දිනයන්හි දී පැවැත් වෙනවා. මේ ආකාරයටම ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක, මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අයගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 16, 17, 18 සහ 19 දිනයන්හි දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී මෙම දිස්ත්‍රික් මෙහෙයුම ක්‍රියාත්මකකිරීමට නියමිතයි. අපේ‍්‍රල් මාසය දක්වා දිස්ත්‍රික් ගණනාවක දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

තමන් වහන්සේ පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළා. උන්වහන්සේ ප්‍රසිද්ධියේ මෙය ප්‍රකාශ කළේ මේ සතියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වුවද පසුගිය කාලයේද උන්වහන්සේ තමන්ගේ පක්ෂය වන ජාතික හෙළ උරුමය සමඟ කටයුතු කළේ නැහැ. එම පක්ෂය සමඟ උන්වහන්සේගේ බිඳීම ආරම්භවන්නේ 2015 මහ මැතිවරණය පැවැති සමයේදීයි. ජනාධිපති උපදේශකයකු ලෙස නිල නොවන ලෙස කටයුතු කළ අශෝක අබේගුණවර්ධනගේ ක්‍රියාද මෙම ගැටුමට හේතු වුණා.

2015 ජනාධිපතිවරණයත් සමඟ ජනාධිපතිවරයාට සමීප වූ අතුරලියේ රතන හිමියන් සහ අශෝක අබේගුණවර්ධන දෙදෙනා කටයුතු කළේ ජාතික හෙළ උරුමයේ අදහස් අනුව නොවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි කරලියට ගෙනැවිත් ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීමේ උපාය මාර්ගයක අශෝක අබේගුණවර්ධන මහතා යෙදී සිටි අතර රතන හිමියන්ද එයට උපකාර කළා. ඒ නිසා මේ දෙදෙනාම ජාතික හෙළ උරුමයෙන් වෙන් වුණා. පසුගිය වසරේ පැවැති ජාතික හෙළ උරුමයේ සමුළුවටද මේ දෙදෙනා සහභාගී වුණේ නෑ. පක්ෂයේ ඔවුන්ගේ නිලතල ද ඉවත් කර තිබුණා. දැන් සිදුව තිබෙන්නේ එම බෙදීම ප්‍රකාශයට පත්වීමයි. රතන හිමියන් ඉදිරියේ දී ගන්නා දේශපාලන ක්‍රියාමාර්ග තවමත් පැහැදිලි නෑ.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාද දේශපාලන තීන්දුවක් ගන්නට යන බව ප්‍රකාශ කළා. ඒ මහතා කීවේ ශ්‍රීලනි‍පයේ කණ්ඩායම් දෙක ගැනම තමා කලකිරී සිටින බවයි. වික්‍රමනායක මහතාගේ කලකිරීම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ සිට ප්‍රකාශ වුණා. මහින්ද රාජපක්ෂ පාලනය ගැන කලකිරී සිටියත් ඔහු දිගටම පක්ෂය සමඟ හිටියා.

මැතිවරණයෙන් පසුව පක්ෂය පිල් බෙ දී සිටියත් විදුර වික්‍රමනායක මහතා එක පිලකටවත් සම්බන්ධ වුණේ නෑ. මේ නිසා වික්‍රමනායක මහතා සිටියේ දෙපාර්ශ්වයටම පිටස්තරයෙක් වශයෙනුයි. ඒ නිසා දෙපැත්තෙන්ම ඔහුව නොතකා හැරීම ඔහු වඩාත් කලකිරීමට පත්වීමට හේතුවක්. මෙම මස 23 දා කැඳවා තිබෙන ආසන බල මණ්ඩල රැස්වීමෙන් පසුව කිසියම් දේශපාලන තීන්දුවක් ගන්නා බව වික්‍රමනායක මහතා පසුගියදා ප්‍රකාශ කළා.

ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බවටත් මීළඟ ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයාම ඉදිරිපත් කරන බවටත් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කළ ප්‍රකාශ නිසා සිවිල් සමාජ ක්‍රියාකාරින් අතර කම්පනයක් හටගෙන තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයෙත්, පුරවැසි බලයෙත් නායකයන් එක්ව පසුගියදා මේ පිළිබඳව සාකච්ඡා කළා. එහි දී තීරණය වූයේ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාට සහයදුන් හා ව්‍යවස්ථා වෙනසට පක්ෂ සියලු කණ්ඩායම් කැඳවා සාකච්ඡා කිරීමටයි. එය මේ මස 22 දා වෝටර්ස් එජ් හි දී පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවේ කැඳවුම්කරුවන් ලෙස මහාචාර්ය සරත් විජේසූරිය, කේ.‍ඩබ්ලිව්.ජනරංජන, ගාමිණී වියන්ගොඩ හා සමන් රත්නප්‍රිය කටයුතු කරනවා. සිවිල් සංවිධානවලට, දේශපාලන පක්ෂවලට හා කණ්ඩායම්වලටත් මේ සඳහා ආරාධනාකොට තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය, ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම රාජිත සෙනාරත්න ඇමැතිවරයාද මෙයට සහභාගී වන බව තහවුරුකොට තිබෙනවා. මෙය දැන්වූ වහාම රාජිත ඇමැතිවරයා “මම එනවා” කීම විශේෂත්වයක් වුණා.

ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල මුළු බර යොදා කටයුතු කරමින් සිටින්නේ මෙම 27 දා නුගේගොඩ පවත්වන රැස්වීම උපරිම ලෙස සාර්ථක කරගැනීම සඳහායි. එයට උපරිම ප්‍රචාරයක් දීමටත් සංවිධානාත්මකව පිරිස් කැඳවාගැනීමටත් කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් එයට මුලින් යෝජනා වී තිබූ ‘ව්‍යවස්ථා මර උගුල පරදවමු’ යන්න වෙනුවට ‘පෙරළියක ඇරඹුම’ යන සටන් පාඨය යොදාගැනීමට දැන් තීරණය වී තිබෙනවා. විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදින් විසින් යෝජනා කළ ‘ව්‍යවස්ථා මරඋගුල පරදවමු’ යන්නට ඒකාබද්ධ විපක්ෂයේම වෙනත් පිරිස් විරෝධය ප්‍රකාශ කිරීම එයට හේතුවයි. ඔවුන්ගේ මතය වී ඇත්තේ තවමත් හදා නැති ව්‍යවස්ථාවකට විරුද්ධව මහජනයා පෙලඹවීම අසාර්ථක වන බවයි.

නුගේගොඩ රැලියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද සහභාගීවන්නේ වෙනම පක්ෂයක් වශයෙනුයි. මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය මෙය සලකන්නේ තමන්ගේ මංගල රැස්වීම වශයෙනුයි. පොහොට්ටු පක්ෂය ලෙස ප්‍රචලිත වී ඇති මෙම පක්ෂයට පදනමක් වැටී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පළාත් සභා හා හිටපු පළාත් පාලන නියෝජිතයන් අතරයි. පක්ෂයට සම්බන්ධ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානින් හා නියෝජිතයන් වෙන් වෙන්ව සංවිධානය කිරීමට එම පක්ෂය මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට වැඩ කිරීම හා සම්බන්ධ වී සිටීම ගැන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තුළ තියුණු වාද විවාද සිදුවුණා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගිය 13 හා 14 දින දෙක පුරා එක දිගට රැස්වී මෙම ප්‍රශ්නය ගැන කතා කළා. සාකච්ඡාව ආරම්භ කරමින් කතා කළ පක්ෂ ලේකම් ඩිව් ගුණසේකර පවතින තත්ත්වය ගැන විග්‍රහයක් කළා. ඒකාබද්ධ විපක්ෂය සමඟ තවදුරටත් කටයුතු නොකළ යුතුයි කියන පිරිස දිගින් දිගට කරුණු දැක්වූයේ පක්ෂයේ න්‍යාය හා වැඩපිළිවෙළ ඉස්මතු කරමින්. එසේ වුවත් පක්ෂයට වැඩි ජන පදනමක් ඇති මාතර, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල නියෝජිතයන් කතා කළේ ඒකාබද්ධ විපක්ෂයේ සිටීමට පක්ෂවයි. ඔවුන්ගේ ප්‍රධාන අවධානය මැතිවරණයක දී වැඩි ආසන ගණනක් ගැනීම සඳහා යොමු වී තිබුණු බව පෙනී ගියා. අනෙක් කණ්ඩායම හිටියේ පක්ෂයේ ප්‍රතිපත්ති රැකගැනීම අනාගත පැවැත්ම සඳහා වැදගත්ය යන අදහසෙයි.

ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමට නායකත්වය දෙන රාජා කොල්ලුරේ මෙහි දී වැඩිපුර කතා නොකිරීම කැපී පෙනෙන කරුණක් වුණා. කෙසේ වෙතත් අවසානයේ පක්ෂය තීරණය කළේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතුවලින් කොමියුනිස්ට් පක්ෂය ඉවත් වී සිටිය යුතු බවයි. එයට හේතු පෙන්වා යෝජනාවක් සකසා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යොමුකිරීමටත් එය පෙබරවාරි 08 වැනිදා කැඳවා මෙම තීරණය තහවුරු කරගැනීමටත් තීරණය වුණා.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *