|

අවුකන කිළිටි කළ අමන බෞද්ධයෝ – අනුර සූරියබණ්ඩාර .

 

අවුකන පිළිමයට සිවුරු පෙරවීම මහත් ආන්දෝළනයකට තුඩුදී ඇති බව පෙනෙන්නට තිබේ. අදාළ පාර්ශවය කියා ඇත්තේ සිවුර පොරවන ලද්දේ බාරයක් ඔප්පු කරන්නට බව රූපවාහිනී ප්‍රවෘත්ති අනුව කියැවිණ. දෙවියන්ට පණට පණක් පුදන්නට බාර වන්නා සේ බුදු පිළිමවලට සිවුරු පූජා කරන්නට බාර වීම සාධාරණීකරණය කළ හැකි වන්නේ කවර බුද්ධාගමකට අනුවද යන්න පැහැදිලි නැත. අප දන්නා බුදුන් වහන්සේ පුදපෙත් ගෙන අවශ්‍යතා ඉටු කරන දෙවියකු නොව සසර ගමන කෙළවර කර ගනු පිණිස යොදා ගත හැකි මාර්ගය පැහැදිලි කළ ප්‍රාඥයකු පමණි. උන්වහන්සේ ගේ විමුක්ති මාර්ගය අනුගමනය කළ හැකි වන්නේ උන්වහන්සේ ගේ දර්ශනය හෙවත් ධර්මය අනුගමනය කිරීමෙනි. වර්තමාන භික්ෂුව ඒ බව තේරුම් නොගැනීම වත්මන් බුදු දහම මුහුණ දී ඇති බරපතළම අභියෝගය වේ.

මෙකී සිවුරු පෙරවීම අන්‍යාගමිකයකු විසින් කරන්නට යෙදුණේ නම් කවර ආකාර තත්වයක් උදා වනු ඇත්දැයි එසේම කල්පනා කළ යුතුය.

අවුකන පිළිමයට අමුතුවෙන් සිවුරු පොරවන්නට කිසිම අවශ්‍යතාවක් ඇත්තේ ද නැත. හේතුව එය මයිකල් වැනි නිරුවත් පිළිමයක් නොවීමය. පිළිමය නෙළා ඇත්තේ, තනිපට සිවුර, අඳනය, පටිය සහිතවය. බැලූ බැල්මටම කවරකුට වුව පිළිමයේ සිවුර දැකගත හැකිය. ඇස්වට හන්දියේ සිට අඟල් හතරක් පමණ ඉහළින් අවසන් වන ලෙස පිළිමයේ අඳනය නිමවා ඇත. ඒකාංශපාරූපන ක්‍රමයට පොරවා ඇති සිවුර නූවාව පෙනෙන පරිදි අඳනයේ යට සීමාවට අඟල් හතරක් පමණ ඉහළින් නිමවා තිබේ. එවන් පරිපූර්ණ කලා නිමැවුමකට පිටතින් සිවුරු පොරවන්නට යාමෙන් සිදුවන්නේ එය කරන්නාගේ ඔලමොල බව ප්‍රදර්ශනය වීම පමණි.

බ්‍රෝහියර් දුටු ලංකාව කෘතියේ ( පරිවර්තනය අභය හේවාවසම් ) සඳහන් වන්නේ මෙසේය: ” කලා වැවේ සිට සැතපුම් එක හමාරක් වාහනයෙන් පැමිණි විට, මා සිතන හැටියට ලංකාවේ ඇති විශිෂ්ටතම කලා නිධානය වන අවුකන විහාරයට පැමිණිය හැකිය. මෙහිදක්නට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කැරුණු සුවිශේෂ කලා නිර්මාණය වන අවුකන පිළිමයයි. ”

පිටරැටියෙකු වන බ්‍රෝහියර් ට වැටහුණු පිළිමයේ කලාත්මක වටිනාකම මෙරට බෞද්ධයන්ට නොවැටහීම බලවත් ඛේදවාචකයකි.  මේ කෙළෙසා ඇත්තේ බ්‍රෝහියර් කියන ලංකාවේ ඇති විශිෂ්ටතම කලා නිධානයයි.

පිළිමයේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම එවැන්නන්ට නොවැටහීම පුදුමයක් ද නොවේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක ස්වභාව වෙනස් කිරීම පුරාවිද්‍යා ආඥා පනතට අනුව වරදකි. අන්‍ය ආගමිකයන් ගෙන්  බුදු දහම, පුරාවස්තු , පුරාවිද්‍යාත්මක ස්ථාන රැක ගන්නට වෙර දරනවා වෙනුවට එකී පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පුරාවස්තුවල වටිනාකම සහ වැදගත්කම බෞද්ධ භික්ෂූන්ට සහ බෞද්ධයැයි කියාගන්නා පිරිසට වටහා දෙන්නට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතුව තිබේ. ඇතැම් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල එම වටිනාකම යටපත් කෙරෙන ආකාරයේ ඉදිකිරීම් කර ඇති බවට නිරන්තර මාධ්‍ය හෙළිදරව් කිරීම් අසන්නට ලැබේ. මිහින්තලය පුදබිම ආශ්‍රිතව ද එවැනි දේ සිදුව ඇති බව කලකට පෙර හෙළිදරව් විය. මෙවැනි දේ සම්බන්ධයෙන් නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක විය යුතුය. දැනගන්නට ඇති ආකාරයට සිවුරු පෙරවීම සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට අනුරාධපුර පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයා සහ එම කලාපයේ පුරාවිද්‍යා නිලධාරිවරයා පුද බිමට යවා තිබේ. ඔවුන් සිය රාජකාරිය විනිවිද භාවයෙන් සහ සාධාරණව ඉටු කරන්නේදැයි විමසිලිමත්ව සිටීම සියල්ලන්ගේම වගකීම වේ.

අනුර සූරියබණ්ඩාර .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *