රණ විරුවෝ ඉල් විරුවෝ සහ අන් විරුවෝ // – සම්පත් අමරසිංහ

 

While the Revolution of 1776- 1783 created the United States, the civil war of 1861- 1865 determined what kind of nation it would be – Dr James McPherson ( A Brief Overview of the American Civil War )

ජේම්ස් මැක්පර්සන් කියන ආකාරයට 1776- 1783 විප්ලවයෙන් එක්සත් ජනපදය ගොඩනැගුණා සේම 1861 – 1865 සිවිල් යුද්ධය විසින් එක්සත් ජනපදයේ ජාතිකත්වය කවරාකාර විය යුතුද යන්න තීරණය කළේය.

එකී කියමන සිහි වන්නට හේතුව උතුරේ මහ විරු සමරුව හේතු කරගෙන මේ දිනවල දකුණේ ගොඩනැගී ඇති හාහෝවය.උතුරේ විරු සමරුව යෙදී ඇත්තේ දකුණේ ( ඉල් මහ ) විරු සමරුව නිමාවී වැඩි කලක් ගතවන්නට පෙර වීම  එකී කලබැගෑනියේ උත්ප්‍රාසය වඩාත් තීව්‍ර කරන හේතුවකි.

ස්වභාව අනුව ගත් කල උතුරේත් දකුණේත් කැරලි එක හා සමානය. එනම්, ආණ්ඩුවේ පාලන බලය අභියෝගයට ලක්කරමින් ගෙන යනු ලැබූ සන්නද්ධ අරගල ය. ආණ්ඩුව විසින් ඒ කැරලි හඳුන්වනු ලැබුවේද ත්‍රස්තවාදය ලෙසිනි. ආණ්ඩුව විසින් කැරලි මර්දනය කරන්නට යෙදුණු ආකාරයද බෙහෙවින් සමානය. වෙනසකට ඇත්තේ එක් කණ්ඩායමක් උතුරේ දෙමළ වන අතර අනෙක් කණ්ඩායම දකුණේ සිංහල වීම සහ දකුණේ කණ්ඩායම ප්‍රසිද්ධියේ දේශපාලනයේ යෙදීමය.  උතුරේ කණ්ඩායම ත්‍රස්තවාදීන් ලෙස තහනමට ලක්ව ඇති බව කෙනෙක් කියන්නට පුළුවන. එහෙත් මහ විරු සමරුව එල්ටීටීඊ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන්නක් නොවේ. තහනමට ලක්කර ඇත්තේ එල්ටීටීඊ සංවිධානය මිස එහි මියගිය සාමාජිකයන්ගේ ජීවත්ව ඉන්නා අයද නොවේ. ජීවත්ව සිටින අයකුට තම මියගිය සමීපතමයන් හෝ ඥාතීන් සමරන්නට නොදෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය කුමක්ද?

 

උතුරේ මහ විරු සමරුවට මතුවන විරෝධය විසින්ම උතුරේ දෙමළ අරගලය කොතරම් සාධාරණ ද යන වග පෙන්නුම් කරන බව තවත් ආකාරයකින් සඳහන් කළ හැකිය. එනම් දකුණේ සිංහල ජනයාට සිය මළවුන් සමරන්නට ඇති අයිතිය උතුරේ දෙමළ ජනයාට උරුම නැත යන්නය. දෙමළ ජනතාව දෙමළ වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්නයක් තිබේද? යනු උතුරේ අරගලයට විරුද්ධ වන්නන් කලෙක ඇසූ පැනයකි. කනගාටුවට කරුණ වන්නේ උතුරේ අරගලය මර්දනය කර වසර ගණනකට පසුවත් එයට,ඔව්! කියා උත්තර දෙන්නට සිදුවී තිබීමය. මියගිය අය සිහිකිරීමට දකුණට ඇති අයිතිය උතුරට නැත.

මැක්පර්සන් පවසන ආකාරයට ඇමරිකාවේ ජාතිය කවරාකාරද යන්න තීරණය කරන්නට එරට සිවිල් යුද්ධය හේතු සාධක වු නමුත් මෙරට එවැන්නක් සිදුවී නැත.

දකුණේ වුව උතුරේ වුව යම් ජනතා නැගිටීමක් සිදු වුයේ නම් ඊට හේතු සොයා බලා ඒවා නිවැරදි කිරීමේ වගකීම අදාළ රටේ රාජ්‍යයට පැවරේ. උතුරේ සිවිල් යුද්ධය අවසන් වූ පසුව මෙරට රාජ්‍යය හැසිරෙමින් සිටින්නේ රාජ්‍යයට එරෙහි කැරැල්ලක් මර්දනය කළායැයි සිතා නොව සතුරු රාජ්‍යයක් අත්පත්කර ගත්තා වැනි හැඟීමකින් යුතුවය. පරාජිතයාගේ සිත බිඳෙන ආකාරයේ සහ පරාජිත හැඟීම වැඩි වර්ධනය කරවන රණවිරු සැමරුම් ආදියෙන් ව්‍යංගව ප්‍රකාශ වන කරුණ එයයි.

දකුණේත් උතුරේත් සිදුවු මිනිස් ඝාතන සම්බන්ධයෙන් රටක් වශයෙන් වගකීම බාර ගන්නට ආණ්ඩුවත් විපක්ෂයත් සියලු දේශපාලන පක්ෂත් ජනතාවත් සූදානම් විය යුතුය. එහෙත් ජාතිවාදය නැතැයි කී ජාතික සමගිය ඇතැයි කී ගෝල්ෆේස් අරගලයේ පවා උතුරු නැඟෙනහිර ගැටුම හේතුවෙන් මියගිය  උතුරේත් දකුණේත් මිනිසුන් එක තැනක සැමරීම සිදුවූයේ නැත. එතැනත් රණවිරු සහ මහ විරු සැමරුම් සිදු කෙරුණේ වෙන් වෙන්ව දෙතැනකය. මෙයින් පැහැදිලි වන්නේ අප කවරාකාර ජාතියක් ද යන්නය. වසර තිහක සිවිල් යුද්ධයකින් පසුව හා උතුරේත් දකුණේත් සන්නද්ධ අරගල තුනකින් පසුව පවා අපට ඇමරිකානුවා  වසර හතරක සිවිල් යුද්ධයෙන් උගත් පාඩම හෝ සිදුකර ගත් පාලන වෙනස හෝ සිදුකර ගන්නට නොහැකි වී තිබීම රටක් වශයෙන් අප මේ මොහොතේ මුහුණ දෙන ඛේදවාචකයේ කොටසකි.

සම්පත් අමරසිංහ .

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *