|

රටේ ස්වාභාවික පිහිටීම ආර්ථිකයට සවියක් කර ගන්න පුළුවන් – ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ

 

2024 අය වැය යෝජනා මඟින් ලැබෙන ප්‍රතිලාභ මෙරට ආර්ථික සහ සමාජ තත්ත්වය ගොඩනැඟීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද රටේ ආර්ථික ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පසුගිය වසරක කාලය තුළ සිදු වූ ආර්ථික ප්‍රවණතා රටේ ආර්ථික වර්ධනයට බලපෑ ආකාරය 2022 වර්ෂයට වඩා වර්තමානයේදී ආර්ථික තත්ත්වය කෙතෙක් දුරට ස්ථාවර ද යන්න පිළිබඳව ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මෙවර අය වැය පිළිබඳව එහි හොඳ නරක පිළිබඳව සමාජය තුළ තවමත් කතාබහ කරනවා. එහි කාරක සභා අවස්ථා විවාද පැවැත්වෙනවා.

ඇත්තෙන්ම මෙවර අය වැය පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකි ද?

ඇත්තෙන්ම අප තවමත් ගත කරමින් සිටින්නේ දුෂ්කර කාලසීමාවක්. ඒ සීමාව තුළ අප රටක් විදිහට සීරුවෙන් කටයුතු කළ යුතුයි. අපට ඒ නිසා එදා මෙන් පහසුවෙන් වැඩ කිරීමට තාමත් හැකියාව ලැබී නැහැ. එනිසා ඒ බාධා මැද ඉදිරිපත් කළ අය වැය තුළ කිසිදු ගත යුතු දෙයක් නැහැ කියා කවුරුන් හෝ කියනවා නම් ඔහුට තිබෙන්නේ සාධාරණ විවේචනයක් නොවෙයි. ඇත්තෙන්ම මෙවර අය වැය තුළ මේ කාලයට ගැළපෙන විදිහේ යෝජනා රැසක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අනිවාර්ය ඇගැයීමක් කළ යුතුයි. පසුගිය දෙදහස් විසිදෙක වර්ෂය සමඟ සසඳා බැලීම මඟින් අපට එදා තත්ත්වය සහ අද තත්ත්වය සසඳා බැලුවාම අපට තේරුම් ගන්න පුළුවන් එදා සහ අද තත්ත්වය අතර, වෙනස කොහොමද කියලා. ඇත්තෙන්ම එදා තිබූ ආරවුල් සහගත තත්ත්වයට වඩා අද තත්ත්වය ගොඩක් වර්ධනාත්මක තැනක තිබෙනවා. ඒ තත්ත්වය සලකා බැලූ විට මෙවර අය වැය මඟින් ඇතිව තිබෙන වර්ධනාත්මක තත්ත්වය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙන බවට ඉදිරිපත්ව තිබෙන අය වැය යෝජනා මඟින් හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා.

අපේ රට පසු ගිය කාලයේදී අර්බුදකාරී තත්ත්වයට මුහුණ දුන්නේ විදේශ විනිමය හිඟ වීම ඇතුළු කරුණු නිසයි, මෙවර අය වැය මඟින් මේ තත්ත්වය වැළැක්වීමට සහ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය කරන යෝජනා තිබෙනවාද?

ඇත්තෙන්ම මෙවර අය වැය යෝජනා අතර, ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහා යෝජනා තිබෙනවා. කාර්මික උද්‍යාන ඇති කිරීම වැනි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෙමඟින් මෙරටට පැමිණෙන ආයෝජකයන් දිරිමත් කිරීමටත් මෙරට කාර්මික අංශය ශක්තිමත් කිරීමටත් යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. ඒ නිසා මෙම යෝජනා පිළිබඳ හොඳින් සලකා බැලිය යුතුයි. මේ වගේ යෝජනාවලින් අපේ ආර්ථිකයට අලුත් ශක්තියක් ඇති කිරීමටත් පත්ව තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමටත් හැකියාව ලැබීමටත් ලොකු අවස්ථාවක් උදා වී තිබෙනවා. මම කියන්නේ නැහැ, මෙවර අය වැය මඟින් මහා හාස්කම් පෙන්වන්න හැකියාව තිබෙනවා කියලා. එහෙත් ඇතිව තිබූ තත්ත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය මූලික පදනම මේ යෝජනාවලින් ඇතිව තිබෙනවා. එය සතුටුදායක තත්ත්වයක් විදිහට පෙන්වා දෙන්න හැකියාව තිබෙනවා.

ඒත් ඇතැමුන් මෙවර අය වැයේ හොඳ ලක්ෂණයක් දකින්නේම නැහැ. දිගින් දිගටම විවේචන පමණක් එල්ල කරනවා. ඒ විදිහට කටයුතු කිරීම තුළ රටට සිදුවන යහපතක් නැහැ. සමහර කණ්ඩායම් උත්සාහ කරනවා රටට විදේශ විනිමය පැමිණෙන එක අවහිර කිරීමට. එවැනි උත්සාහයන්හි යෙදෙන කණ්ඩායම් තමයි විවේචන පමණක් සිදු කරන්නේ. ඒක ඇත්තෙන්ම සිදු නොවිය යුතු දෙයක් විදහටයි මම සලකන්නේ. විවේචනය කිරීම නරක දෙයක් නොවෙයි. එහෙත් ඒ විවේචනය සිදුවෙන්න ඕනෑ යහපත් අරමුණෙන් මිසක් දෙයක් කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව නොවෙයි.

සිදු වෙන්න ඕනෑ සිදුවන දේ කඩාකප්පල් කිරීම හෝ අවහිර කිරීම නොවෙයි. ඉන් එහා ගිහින් ධනාත්මක විදිහට මෙම තත්ත්වයන් ගැන බලා රටේ ආර්ථිකය නැවත නිසි මඟට ගැනීමට අවශ්‍ය කරන ධනාත්මක අදහස් දැක්වීමයි.

ආර්ථික සුභසාධනය පිළිබඳවත් මහජනතාවගේ සුභසාධනය පිළිබඳවත් මෙවර අය වැය යෝජනාවල කරුණු ඇතුළත් කර තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කරන්න පුළුවන්ද?

ඇත්තෙන්ම සුභසාධනය අවශ්‍ය කණ්ඩායම් ඉන්නවා නම් ඔවුන්ට අවශ්‍ය සුභසාධනය සිදු කළ යුතුයි. ඕනෑම රටක සුභසාධනයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. රටක් විදිහට ඉදිරියට යද්දී අපට නියමිත මට්ටමට පහළින් ජීවන තත්ත්වයක් ගත කරන පිරිස් අමතක කරන්න බැහැ. මෙවර අය වැය මඟින් එවැනි කණ්ඩායම් අමතක නොකර ඔවුන් වෙත තිබෙන රාජ්‍ය අවධානය ඉහළ දමා තිබෙනවා. එය ඇත්තෙන්ම හොඳ දෙයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. එහෙත් මෙහිදී ගත යුතු දේ තවත් තිබෙනවා. එනම් සුභසාධනයේ ප්‍රතිලාභ ඒවා ලැබිය යුතු කණ්ඩායම් වෙතම ලැබෙනවාද කියන එක. පසුගිය කාලයේදී ඒ ගැන සමීක්ෂණ කටයුතු කිරීම සිදු කළා. ඒ අනුව තමයි අවශ්‍ය ප්‍රතිලාභ ලබාදීම් සිදු විය යුත්තේ. ඒ වගේම විවිධ සෞඛ්‍ය ආබාධ, ශරීර ආබාධ තිබෙන ආධාර ලැබිය යුතු පිරිස් වෙත ද මෙවර අය වැය මඟින් අවධානය යොමු කිරීම හොඳ ලක්ෂණයක් විදිහට පෙන්වා දීමට පුළුවන්.

පහළ මට්ටම දක්වා ආර්ථික සහ සෙසු ප්‍රතිලාභ ගලා යන ක්‍රමයක් ද ඇති කිරීම කළ යුතු බවට අදහසක් පළ වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

අනිවාර්යෙන්ම පහළ මට්ටමට ප්‍රතිලාභ පැමිණෙන ක්‍රමයක් ඇති වෙන්න ඕනෑ. ඇත්තෙන්ම සමූපකාර ක්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම මඟින් ග්‍රාමීය ආර්ථිකය වගේම ඒ ආශ්‍රිත වෙනස්කම් වෙත මඟක් ඇති කරන්න පුළුවන්.

වැටුප් ඉහළ දැමීම වෙනුවට ජීවනාධාර දීමනාව වැඩි කිරීමට අය වැය තුළ යෝජනා කර තිබෙනවා. මෙය රාජ්‍ය සේවකයාගේ පැත්තෙන් සුබදායක දෙයක් නේද?

ඇත්තෙන්ම මේ අවස්ථාවේ ජීවනාධාර දීමනාව ඉහළ දැමීම හොඳ දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලයේදී රටේ ජීවන වියදම විශාල ලෙස ඉහළ ගියා. එහෙත් ඒ සමානව වැටුප් වැඩි කිරීමක් සිදු වුණේ නැහැ ඒ නිසා ලබා දුන් ජීවනාධාර දීමනාව වැඩි කිරීම මේ දුෂ්කර අවස්ථාවේ ලබා දුන් හොඳ දෙයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. ඇත්තෙන්ම අප මුලින් සඳහන් කළ පරිදිම මේ වගේ කාලයකදී මීට වඩා හොඳ දේවල්, වැටුප් වැඩි වීම ගැන කතා කිරීමට වඩා ලබාදුන් ජීවනාධාර දීමනාව ඉහළ දැමීම හොඳ ප්‍රවේශයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

වක්‍ර සහ ඍජු බදු පැනවීම පිළිබඳව වෘත්තිකයන් අතර සහ පොදුවේ සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ඇතැමුන් අපේක්ෂා කළා මෙවර අය වැය මඟින් යම්කිසි බදු සහනයක් හෝ ලැබෙයි කියලා. එහෙත් එම බදු සහන ලැබී නැහැ. මේ ගැන නැඟෙන විරෝධය සහ චෝදනා ගැන ඔබේ අදහස මොකක්ද?

අපේ ආර්ථිකය ලොකු අර්බුදයක තිබුණේ. ඒ අර්බුදය කෙතරම් ඉහළ තැනක තිබුණා ද කියනවා නම් අපේ රටේ රාජ්‍ය ආදායම ඉතාමත් පහළ තත්ත්වයක තිබුණේ. ඒකට විවිධ හේතු බලපාන්න ඇති. එහෙත් රාජ්‍ය ආදායම පහළම අඩියකට වැටිලා තිබුණේ. ඒ තත්ත්වය තුළ මූලික වශයෙන් රාජ්‍ය ආදායම ඉහළ දමා ගත යුතුයි. ඒ සඳහා උත්සාහයක් විදිහට තමයි බදු පැනවීම් ඇති කළේ, අපට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කර ගැනීමට නම් බදු පැනවීම්වලින් යම් ශක්තියක් අත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපට යම් දුෂ්කර තත්ත්වයකට පත් වීමට සිදු වෙනවා. එහෙත් මේ අගාධයෙන් ගොඩ ඒමට නම් මේ වගේ දේවල්වලට මුහුණ දීමට යම් යම් කැප කිරීම් කිරීමට සිදු වෙනවා.

මේ ගැන ජනතාවට අවශ්‍ය කරන අවබෝධය ලබා දිය යුතුයි. සෑම පාර්ශ්වයක්ම මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය කැප කිරීම් සිදු කළ යුතුව තිබෙනවා. මම සඳහන් කරන්නේ නැහැ බදු පැනවීම මඟින් වෘත්තිකයන් සහ පොදු ජනතාව අපහසුතාවට පත්වන්නේ නැහැ කියලා. එහෙත් අප මේ තත්ත්වය තේරුම් ගෙන වැඩ කිරීම කළ යුතුයි. ඒ වගේම මේ දුෂ්කර කාලයෙන් පසු සුදුසු විදිහට සංශෝධනයන් කළ යුතුයි කියන යෝජනාව ද මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා.

නාස්තිය නැති කිරීම ද අද ඇතිව තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන මාර්ගයක් නේද?

අනිවාර්යයෙන්ම මෙවැනි සිදුරු ඇති තැන් සොයා වැඩ කළ යුතුයි. අයි.එම්. එෆ්. ණය මුදල ලබා දීමේදී පවා මෙවැනි දේවල් නැති කළ යුතු බවට සඳහන් කළා. මෙවැනි නාස්ති සිදුවන තැන් වසාදැමීම මඟින් අපේ රටේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා. එහෙම නැතිව ලෝකය අපට මේ වගේ අවස්ථාවක ණය මුදලක් ලබා දෙන්නේ ඒ ණය මුදලින් සතුටු සාද පැවැත්වීමට නොවෙයි. අප අපට ලැබෙන ණය මුදල් නිසි විදිහට කළමනාකරණය කිරීම වගේම අප රට නැවත දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර තැනක තිබෙන බවට ලෝකය ඉදිරියේ පෙන්වා දීමට හැකියාව ලැබෙනවා. එනිසා අප දැන් රටක් විදිහට කළ යුතුව තිබෙන්නේ ඇතිව තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කිරීමයි. ඒ සඳහා ස්ථාවර ආර්ථිකයක් වගේම ජාත්‍යන්තර ලෝකය තුළ අප රට පිළිබඳ විශ්වාසයක් ද ගොඩනැඟිය යුතුයි.

අපේ රට නැවත පුනරුදයක් වෙත යොමු කිරීමට හැකි සාධක රැසක් තිබෙනවා. ඒ සාධක අපේ රටේ වාසිය සඳහා යොදා ගන්නේ කොහොමද?

අපේ රටේ ස්වාභාවික සම්පත් රැසක් තිබෙනවා වගේම ස්වාභාවිකව ලෝකයේ ඉතාමත් හොඳ භූගෝලීය පිහිටීමකයි රට තිබෙන්නේ. එහෙත් අප මෙතෙක් කල් ඒ ස්වාභාවික දේවල්වලින් නිසි ප්‍රයෝජන ගත්තා ද කියන දේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

අද අප රටක් විදිහට පත්ව තිබෙන අර්බුදකාරී අවස්ථාව අපට රට ගොඩනැඟීම සඳහා තිබෙන ස්වර්ණමය අවස්ථාවක් බවට පත්කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ ආකාරයට සැලසුම් සහගතව වැඩ කළොත් ඉදිරි අවුරුදු දහය තුළ අපට නැවත අපේ රටේ දියුණුව වෙත රැගෙන යාමට හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම දැන් මේ ගත වෙමින් තිබෙන්නේ ඒ සඳහා සූදානම් වීම සඳහා වූ අවස්ථාවක් විදිහට සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවෙයි.

ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ

මහාචාර්ය සමිත හෙට්ටිගේ

 

උදිත ගුණවර්ධන

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *