|

රාජ්‍ය ආයතන රැක ගනිමු ! ( වෘත්තීය සමිතිවලින් ) // – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

තැපෑල රකින්නට, සෞඛ්‍යය රකින්නට,දුම්රිය රකින්නට, ආදි වශයෙන් රාජ්‍ය ආයතන ආරක්ෂා කරන්නට මේ දිනවල වෘත්තීය සමිති මහත් සටනක් කරමින් සිටිති. ඔවුන් මේ ආරක්ෂා කරන්නට සැරසෙන්නේ කවරාකාර ආයතන පද්ධතියක් ද යන්න පෞද්ගලික අද්දැකීම් කිහිපයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට උත්සාහ දරමි.

මගේ මිතුරියකට දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ෆෝල්ඩරය සකසා ගැනීමට අවශ්‍ය  අයදුම්පත නිසි ලෙස සකසාගෙන ඇය ආසන්න දුම්රිය ස්ථානයට ගිය නමුත්, එය බාර ගත්තේ නැත. මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය ට ගෙන ගොස් බාර දෙන ලෙස දන්වනු ලැබිණ.  හේතුව එකී ෆෝල්ඩර සකසා එවීමට කල් ගතවීම බව කියැවිණ. දැන් දුම්රිය සේවයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මගියා ආකාර දෙකකින් අපහසුතාවට පත්වේ. එකක් ඒ සඳහා ගමන් වියදමක් දරන්නට සිදුවීමය. අනෙක අනවශ්‍ය කාලයක් සහ ශ්‍රමයක් වැය කරන්නට සිදු වීමය. මගියා කොළඹ ගෙනෙන බුද්ධිමත් තීරණය දුම්රිය ස්ථානාධිපති සංගමයක් ගත් එකකි.

රාජ්‍ය ආයතන රකින්නට කියන නමුත් බොහෝ වෘත්තීය සමිති කටයුතු කරන්නේ ආයතන හෝ ආයතනවලින් සේවය ලබාගන්නා ජනතාව නොවේ. තම තමන්ට වාසි සලසා ගැනීමටය. නිදසුනක් වශයෙන් විදුලි බල මණ්ඩලයට තවමත් සෑම නගරයක් පාසා බිල්පත් එකතුකිරීමේ මධ්‍යස්ථාන ඇතිකිරීමට හැකිවී නැත. එසේ හෙයින් විදුලිය පාරිභෝගිකයාට සෑම බිල්පතක් සමඟම අමතර මුදලක් ගෙවන්නට සිදුවේ. එසේම නිපදවන විදුලිය සකසුරුවම් ලෙස භාවිත කිරීමේ වැඩ පිළිවෙළක් ද නැත. මෙරට විදුලි බිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන්නේ, විදුලි ඉංජිනේරුවන් කාලයක් තිස්සේ ගෙන ගිය ගල් අඟුරු විරෝධයයි. සේවක අයිතිවාසිකම් වැටුප් වැඩිවීම් ආදිය සම්බන්ධයෙන් උනන්දු වන තරමට වෘත්තීය සමිති ආයතනවල නාස්තිය දූෂණය අකාර්යක්ෂමතාව වැනි කරුණු සම්බන්ධයෙන් උනන්දු වන බවක් පෙනෙන්නට නැත.

මේ දිනවල තැපැල් වෘත්තීය සමිති නුවරඑළිය තැපැල් කාර්යාලය බේරා ගැනීමට දිවි නොතකා සටන්වැද සිටිති. ගැටලුව වන්නේ විරෝධය පෑම හැර වඩාත් පලදායී ලෙස එම ගොඩනැඟිල්ල යොදා ගත හැකි මගක් ඔවුන් යෝජනා නොකිරීමය. තැපැල් කාර්යාලය එම ගොඩනැගිල්ලේම පවත්වාගෙන යා යුතුය කියා නියමයක් නැත. තැපැල් කාර්යාලය සඳහා ගොඩනැගිල්ලේ සම්පූර්ණ ඉඩකඩ අවශ්‍යද යන්නද සලකා බැල්ය යුතුය. අවම තරමින්  පෞරාණික වශයෙන් සුළු ඉඩ ප්‍රමාණයක තැපැල් කාර්යාලය පවත්වාගෙන යමින් ඉතිරි කොටස වඩාත් පලදායී කටයුත්තකට යෙදවීමට යෝජනාවක් හෝ නැත.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙවන ලෝක යුද්ධය සමයේ පටන් වැඩකට නොගෙන නැති නාස්ති වෙමින් පවතින්නේද වෘත්තීය සමිති වල පටු කල්පනා හේතුවෙනි.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට පෙර වතාවක මිතුරකු හමුවන්නට ගිය විට විවේක කාමරයක කැරම් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි සේවක පිරිසක් දැක ඔවුන් එසේ සිටින්නේ මන්දැයි විමසු විට රියැදුරන් වන ඔවුන්ට සේවය කරන්නට වාහන නැතැයි මිතුරා පිළිතුරු දුන්නේය. නමුත් ජපන් සමාගම පැමිණි වහා එකී සේවකයනට වෙනත් රාජකාරි පැවරූ බව මිතුරා පසුව කීවේය. ආයතන ආණ්ඩුව යටතේ ඇති විටත් පෞද්ගලික අංශය සතුවූ විටත් තත්ත්වය එයය. රට ගැන සිතන ආයතන ගැන සිතන වෘත්තීය සමිති කල්පනා කළ යුත්තේ සේවකයන්ටත් රටටත් වඩාත් වාසිදායක ලෙස ආයතන නවීකරණය කර පවත්වාගෙන යන ආකාරය මිස කරන්නන් වාලේ සියල්ලටම විරෝධය පෑම නොවේ.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *