ජී.එස්.පී.යට උඩු බිරීම – සී.ජේ. අමරතුංග

 

 යුරෝපා සංගමයෙන් ජී.එස්.පී.ප්ලස් සහනය ලබාගැනීම ශ්‍රී ලංකා රජය ලැබූ වැදගත් ජයග්‍රහණයක් බව අවංකව රට ගැන හිතන විද්වතුන්ගේත්, ව්‍යාපාරිකයන්ගේ හා සාමාන්‍ය ජනතාවගේත් පිළිගැනීම බවට සැක නැත. මෙරට අපනයන ව්‍යාපාරිකයන් බලා සිටියේ මෙය ලැබෙන තෙක්ය. සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම එලෙස සිතුවා විය හැකිය. මෙම සහනය ලැබෙන බව ප්‍රකාශයට පත්කිරීමත් සමග කොළඹ කොටස් වෙළෙඳ පොළේ ඇති වූ පිබිදීම එයට සාක්ෂියකි.

මෙරට අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සංගම් කියන්නේ මෙමගින් රටට විශාල ආදායමක් උපයාගත හැකිවන බවයි. විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ යළි පිබිදීමක් සිදුවිය හැකි බවත් එමගින් අලුත් රැකියා අවස්ථා දස දහස් ගණනක් නිර්මාණය විය හැකි බවත් ඔවුහු කියති. අගමැතිතුමා ප්‍රකාශ කළේ ජී.එස්.පී.ප්ලස් සහනය නොලැබුණේ නම් රැකියා දශ ලක්ෂයේ වැඩසටහන සාර්ථක කරගැනීමද සිහිනයක් වන බවයි.

රට තිබුණු තැන

යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට රට ප්‍රධාන අර්බුද තුනකට මුහුණ දී සිටි බව කිව හැකිය. එයින් පළමුවැන්න ණය අර්බුදයයි. එනම් රටට දරාගත නොහැකි තරමට ණය වී තිබීමයි. එම ණය වියදම්කොට තිබුණේ ආදායම් නොලබන ව්‍යාපෘතිවලටය. එය පළමු අර්බුදයයි.

රට මුහුණ දී තිබූ දෙවැනි අර්බුදය රාජ්‍ය මුල්‍ය කළමනාකරණ අර්බුදයයි. රජය ණයට ගනිමින් වියදම් කරමින් සිටියේ නිසි ආදායමක් නොමැතිවය. රජයේ ආයතන රාශියක් දිගින් දිගට පාඩු ලබමින් තිබිණි. ඒවා නඩත්තු කළේ මහජන මුදලිනි. ඒ සඳහා මහජනයාගේ අත්‍යවශ්‍ය ආහාරවලටත් ඛනිජ තෙල් වලටත් විශාල ලෙස බදු පනවා තිබිණි. එම අර්බුදයද විසඳාගත යුතුව තිබිණි.

අනෙක් බරපතළම අර්බුදය තිබුණේ විදේශ විනිමය සම්බන්ධයෙනි. රටේ අපනයන දිගින් දිගටම පහත වැටෙමින් තිබිණි. ආනයන වියදම ඉහළ ගොසිනි. විදේශ ආයෝජන හෝ වෙනත් ලැබීම්ද නොවීය. එම අර්බුදයද විසඳාගත යුතුව තිබිණි. මේ වනවිට වත්මන් ආණ්ඩුව මෙම අර්බුද තුනම කළමනාකරණය සඳහා පියවර ගෙන ඇත. හම්බන්තොට හා මත්තල සඳහා ලබාගෙන තිබූ අති විශාල ණය ප්‍රමාණය කොටස් හිමිකමක් ලෙස චීනය සමග ව්‍යාපාරික හවුල්කාරීත්වයකට යාම පළමු අර්බුදයට දුන් ප්‍රධාන විසඳුමයි. එමෙන්ම රජයේ ආදායම් ඉහළ නංවාගෙන ඇති ආණ්ඩුව පාඩු ලැබූ රජයේ ආයතන ගණනාවක් ලාභ ලබන තත්ත්වයට පත්කොට ඇත. ශ්‍රී ලංකන් එයාර් වැනි ආයතනවල පාඩුව අඩු කරගෙන ඇත. ආණ්ඩුව රජයේ වියදම් කළමනාකරණය කොට ඇත්තේ ජනතාවට සහනද ලබාදීමෙන් පසුවය. එලෙස දෙවන අර්බුදයටද මේ වනවිට විසඳුම් ලබාදී තිබේ.

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුවට පියවර ගණනාවක් ගැනීමට සිදුවිය. එහිදී මුලින්ම අවධානය යොමුවූ කරුණු දෙකක් නම් යුරෝපා සංගමයෙන් මෙරටට පනවා තිබූ මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කර ගැනීම හා නවතා තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමයි. මේ දෙක ලබාගැනීම පහසු වූයේ නැත. මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට නීති විරෝධී ධීවර කටයුතු පාලනය කළ යුතුවිය. එම කටයුතු ඉටුකොට පෙන්වීමට වසරකට වැඩි කලක් ගතවිය. කෙසේ වෙතත් පසුගිය වසර මැදදී මත්ස්‍ය තහනම ඉවත්විය. එයින් මෙරට ධීවර කර්මාන්තයට නව ප්‍රබෝධයක් ලැබිණි. ධීවර කර්මාන්තයේ යෙදෙන හා ඉන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට එහි ප්‍රතිලාභ අත්විය. රටේ ආර්ථිකයටද එය ශක්තියකි.

ජී.එස්.පී.ප්ලස් ලබාගැනීමද රජයට තරමක් අපහසු ඉලක්කයක්ව තිබිණ. ඒ මෙම සහනය ලබාදීම රටේ මානව හිමිකම්, යහපාලනය, කම්කරු හා ප්‍රජා අයිතිවාසිකම් ආදියට ගැට ගසා තිබූ හෙයිනි. එය නිකම්ම දෙන සහනයක් නොවේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යනවිට දෙන සහනයකි.

යුරෝපා සංගමය ලෝකයේ විවිධ රටවලට වෙළෙඳ සහන ලබාදීම සිදු කරන්නේ තල තුනකිනි. එයින් පළමුවැන්න නම් ඊ බී ඒ ලෙස හඳුන්වනු ලබන සහනයයි. එනම් ඇතැම් රටවලට අවි ආයුධ හැර අන් සෑම භාණ්ඩයක් සඳහාම බදු සහන ලබා දීමයි. එනම් එම රටවලින් යුරෝපයට යවන සෑම භාණ්ඩයක්ම (අවි ආයුධ හැර) බදුවලින් නිදහස් කිරීමයි. දුප්පත් රටවලට නැතහොත් අඩු ආදායම් ලබන රටවලට ලබාදෙන මෙම සහනය සඳහා එම රටවල මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජා අයිතිවාසිකම් ආදී කිසිවක් ගැන යුරෝපා සංගමය සොයා බලන්නේ නැත. එය ලෝකයේ රටවල් 49කට හිමිව ඇත. අපට එය ලබාගත නොහැකිය. ඒ අප රට මැදි ආදායම් ලබන රටක් තත්ත්වයට පත්ව ඇති නිසාය. ඒ අතර යුරෝපයට ඇඟලුම් අපනයනයේ අපගේ තරගකරුවා වන බංගලිදේශයට එම වරප්‍රසාදය හිමිව තිබීම අපගේ අවාසනාවකි.

ජීඑස්පී පිළිවෙත

මැදි ආදායම් රටවලට යුරෝපා සංගමය ලබාදෙන දෙවන මට්ටමේ සහනය ජී.එස්.පී. සහනයයි. එය ලබාගැනීමටද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී කිසිවක් අවශ්‍ය නැත. අප රටට මේ දක්වාම එම සහනය නොකඩවා ලැබුණේ අප රට මැදි ආදායම් රටක් වීම නිසාය. සුදු වෑන් වලින් මිනිසුන් උස්සා මරා දැමූ, මාධ්‍යවේදීන් මහමග ඝාතනය කළ හා අතුරුදන් කළ, කම්කරු හා මහජන රැස්වීම්වලට වෙඩි තබා ජන ඝාතන කළ සමයේද යුරෝපා සංගමය අප රටේ ජී.එස්.පී. ය අහෝසි කළේ නැත. ඒ ඔවුන්ගේ ජී.එස්.පී. ප්‍රති‍පත්තියට එය අදාළ නැති නිසාය.

එසේ වුවද යම් රටක් ජී.එස්.පී.ප්ලස් සහනය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා යුරෝපා සංගමයේ පිළිගත් ක්‍රමවේදයක් ඇත. එනම් පිළිගත් ජාත්‍යන්තර සම්මුති 27කට අත්සන්කොට එය දේශීය ව‍ශයෙන් ක්‍රියාවට නැගීමට පියවර ගැනීමයි. මෙම සම්මුති ඔවුන්ගේ නීති නොවේ. අප රට ද දායක වෙමින් සකස්කොට ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති ප්‍රඥප්ති 27 කි. ඒ අතර මානව හිමිකම්, කම්කරු අයිතීන්, ළමා හා කාන්තා අයිතීන් ආදී බොහොමයක් ඇතුළත්ය. ජී.එස්.පී.ප්ලස් ලැබෙන්නේ ඒවා ක්‍රියාවට නැගුවහොත්ය. 2010 දී ජී.එස්.පී. ප්ලස් අප රටට අහිමි කළේ ඒ වනවිට මෙරට ආණ්ඩුව එබඳු ජාත්‍යන්තර සම්මුතිවලට පයින් ගසා ඒකාධිපති මැර පාලනයක් ක්‍රියාත්මක කළ නිසාය.

අනෙක් වැදගත්ම කාරණය නම් ජී.එස්.පී.ප්ලස් ලබාදීම දෙන්නං කාසිවලට සිදු නොවන බවය. මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්ති ක්‍රියාවට නැඟීමට නිශ්චිත පියවර ගෙන තිබිය යුතුය. හෙට කරනවා කියා හරි යන්නේ නැත. යහපාලන ආණ්ඩුවට ජී.එස්.පී. ප්ලස් ලබාගැනීමට වසර දෙකක කාලයක් ගතවූයේ ඒ නිසාය.

බොරු ප්‍රචාර

මේ වනවිට රජය ජී.එස්.පී. ප්ලස් ලබාගැනීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉටුකොට හමාරය. ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීම, පොලිසිය, රාජ්‍ය සේවය, මැතිවරණ කොමිසම ආදිය ස්වාධීන කිරීම ආදියේ සිට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම දක්වා පියවර ඒ සඳහා ප්‍රමාණවත් වී ඇත. ජනවාරි 11 දා යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ජී.එස්.පී.ප්ලස් ලබාදීමට සුදුසු තත්ත්වයට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි.

හඳ පායන විට බල්ලන් බුරන්නා සේ ජී.එස්.පී. ප්ලස් ලැබෙනවිට ද කිසියම් පිරිසක් බුරන්නට පටන්ගෙන ඇත්තේ අමූලික බොරු ප්‍රචාරය කරමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ ජී.එස්.පී.ප්ලස් ලැබුණේ මේ රට ෆෙඩරල් කරන්නට පොරොන්දු වීම නිසා වැනි බොරු තම පුවත්පතේ මුල් පිටුවේ පළ කරන්නට තරම් ඇතැම් මාධ්‍ය අශීලාචාර වී ඇති බවයි. ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීමෙන් රජය අත්කරගත් කීර්තිය හෑල්ලුවට ලක් කරන්නට හදන්නේ මෙවැනි පච ගොතා ප්‍රචාරය කිරීමෙනි.

ජී.එස්.පී.ගැන කියන තවත් කතාවක් නම් මෙම සහනය ලබා ගත්තේ රටේ ස්වාධිපත්‍යයට හානිවන කොන්දේසි රාශියකට එකඟ වී බවයි. එසේ කියන කොන්දේසි මාලාවක්ද ප්‍රචාරය කරමින් තිබේ. ර‍ජයේ ආරංචිමාර්ග කියන්නේ මේවා සාකච්ඡාවේ පහසුවට යම් අවස්ථාවක ගොනු කළ කාරණා මිස කොන්දේසි නොවන බවයි. එමෙන්ම රටට හානිකර යැයි කිවහැකි කිසිවක් එහි නැත. ෆෙඩරල් ක්‍රමයක් ගැන ඇත්තේම නැත. තිබෙන්නේ බලය බෙදීමක් ගැනය. පසුගියදා පාර්ලිමේන්තු කමිටුවලින් නිකුත් කළ නිර්දේශ මාලාවේද තල තුනක බල බෙදීමක් ගැන සඳහන් ය. ඒවා කතාකර විසඳා ගන්නට තිබෙන කාරණාය.

අනෙක් අතට ෆෙඩරල් යන්නද රටවල් විනාශ කරන ක්‍රමයක් නොවන බව තේරුම් ගත යුතුව ඇත. ලෝකයේ ලොකු කුඩා රටවල් බොහොමයක් පාලනය වන්නේ ‍‍ෆෙඩරල් ක්‍රම යටතේ ය. ශ්‍රී ලංකාවේදී සිදුවී තිබෙන්නේ මෙය දෙමළ ජනයාගේ ඉල්ලීමක් වීමය. එය මුලින්ම ඉල්ලුවේ උඩරට සිංහල ජනයා වුවද පසුව එය දෙමළ ජනයාගේ ඉල්ලීමක් බවට පත්විය. ඒ නිසාම සිංහල අන්ත ජාතිවාදීන් මෙය භයානක ඉල්ලීමක් ලෙසත් රට බෙදීමක් ලෙසත් පින්තාරු කළහ. මෙහි පිටුපස ඇත්තේ “උන් ඉල්ලන දේ අපි නොදිය යුතුයි” යන මානසිකත්වයයි.

කෙසේ වෙතත් එය දැන් මහජන මතය බවට පත්ව ඇති අතර ප්‍රධාන පක්ෂ දෙකම ඒ යථාර්ථයට මුහුණ දී සිටින බව පැහැදිලිය. ඔවුනට මේ ජනමතයට පිටුපා යමින් රටට ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වාදිය නොහැකිය. ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වාදීමට නම් ඒ සඳහා ජන මනස හැදීම මුලින්ම කළ යුතුව ඇත. එසේ මහජනයා පිළිගන්න තත්ත්වයකට පත්වුවහොත් එවැන්නක් ගෙන ඒම වැළැක්වීමටද කිසිවකුට නොහැකි වනු ඇත. කෙසේ වෙතත් මේ මොහොතේ යථාර්ථය එය නොවේ.

අනෙක් අතට මේ රට ෆෙඩරල් කරන්නට කවුරුන් පොරොන්දුවක් දුන්නත් එය පිළිගන්නට යුරෝපා සංගමයේ සිටින්නේ කොණ්ඩය බැඳපු චීනුන් නොවන බවද තේරුම්ගත යුතු කාරණයකි. ඔවුන් අප රට ගැන තීරණ ගන්නේ මේ රට ගැන හොඳින් සොයා බැලීමෙන් පසුවය. ඔවුන්ව අන්දවන්නට කාටවත් හැකියාවක් නැත.

කුහක බලාපොරොත්තු

කවුරුත් තේරුම්ගත යුතු කාරණය වන්නේ ජී.එස්.පී.ප්ලස් ලැබුණේ යහපාලන ආණ්ඩුව කරපුදේට මිස කරන්නට හදන දේට හෝ පොරොන්දු වන දේට නොවන බවයි. යුරෝපා සංගමය ජනවාරි 11 වනදා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව දැන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට සුදුසු තත්ත්වයට පත්ව සිටින බවය. මානව හිමිකම් සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු සිදුව ඇතත් ඒවා බරපතළ තත්ත්වයේ සිදුවීම් නොවන බවද එහි සඳහන්ය.

මෙම යෝජනාව දැන් යුරෝපා කවුන්සිලයෙන් හා පාර්ලිමේන්තුවෙන් අනුමත විය යුතුය. ඇතැමුන් බලා සිටින්නේ ඒවායින් ප්‍රශ්නයක් ඇතිවන තෙක්ය. එසේ වුවද ආර්ථික ක්‍ෂේත්‍රයේ තතු දත් විද්වතෙකු වන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ.විජේවර්ධන මහතා කියා තිබුණේ මෙය දැන් ස්ථිරවම ලැබෙන තත්ත්වයට පත්ව ඇති බවයි. එය වෙනස් විය හැක්කේ මේ අතර ආණ්ඩු පෙරැළියකින් පමණක්ය යන්න ඒ මහතාගේ අදහසයි.

ආණ්ඩුවකට එරෙහිව නොයෙකුත් විවේචන තිබිය හැකිය. තිබිය යුතුය. එසේ වුවද ඒවා සත්‍ය කරුණු මත පදනම් වෙමින් කිරීම ශීලාචාර ක්‍රමවේදයයි. බොරු අතේ රෝල් යොදාගෙන ආණ්ඩු වි‍රෝධයක් ගොඩනැගීමට උත්සාහදැරීම අශීලාචාර තුච්ච ක්‍රියාවකි.

කෙනෙකු සිල්වතෙකු වන්නේ මල් වට්ටිගෙන පන්සල් යාමෙන් හෝ පෝයට සිල් ගැනීමෙන් නොවේ. අඩු තරමින් පන්සිල්වල වැදගත් සිල් පද රැකීමෙනි. සොරකමින් හා මුසාවාදයෙන් වැළකීම ඒ සඳහා අවශ්‍යය. දේශපාලන වාසි සඳහා පච කෙළීම කොයි අතින් බැලුවත් අශීලාචාරය. ජනාධිපතිතුමා ගාල්ලේදී කීවේ ඒකය.

සී.ජේ. අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *