නිපැයුම් වැඩි කර බඩු මිල පාලනය කර සියලු දෙනාටම යහපත් ජීවිතයක් උදා කරනවා – ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත

 

භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කරමින් සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා ලබන වසරේ පළමු කාර්තුවේ එහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කළේය. ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ‍ මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 2024 අය වැය ලේඛනය ගැන විවිධ කතිකාවන් නිර්මාණය වී තිබෙනවා. එහිදී මා විසින් නියෝජනය කරන ස්වදේශ කටයුතු විෂයට අදාළව රාජ්‍ය සේවකයන්ට බලපාන විවිධ ගැටලු, වේතන පිළිබඳව සහ උද්ධමනය සමඟ ජීවත්වීමට ඇති අපහසුතා ගැන අවධානය යොමු කෙරුණා.

බඩු මිල වැඩිවීම සහ උද්ධමනය රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපා තිබෙනවා. එය වැටුප් වැඩි කිරීමකින් පමණක් විසඳීමට නොහැකියි. නමුත් ජනතාව පත්ව සිටින පීඩනය ගැන රජයක් ලෙස අප සංවේදී විය යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. ඒ වගේම 2024 අය වැය මඟින් විශ්‍රාමිකයන්ට දෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ රැසක් ඉහළ දමා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අලුතින් අයැදුම් කරන අයකුට එය ලබා ගැනීමට මෙතෙක් මාස තුනක පමණ කාලයක් ගතවුණා. නමුත් අප එම කාලය සතියක් හෝ දෙකක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

භාණ්ඩ මිල පාලනය කරමින් නිෂ්පාදනය වැඩි කර සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ වෙනවා. 2024 අය වැය අනුව ද ලබන වසරේ පළමු කාර්තුවේ භාණ්ඩ මිලේ සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම, නව විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම මෙන්ම අබලන් වූ මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙවර අය වැයේදී අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් සංවර්ධනය වීමට අවශ්‍ය පදනම මෙවර අය වැයේ ඇතුළත් බව සඳහන් කළ යුතුයි. මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *