රතන හාමුදුරුවනේඑක එක්කෙනාගෙ න්‍යායපත‍්‍ර මුදුන්පත් කරගන්න රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය

මාදුලාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය සිදු වූ දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාවෙන් උදෘතයක් උපුටා දක්වනව නම්, ඒ කතාවේ එක තැනක එතුමා කියනව මේ වගේ අදහසක්, ‘‘මා අද ජනාධිපතිධුරයේ සිටින්නෙත්, අගමැති රනිල් වික‍්‍රම සිංහ මහතා වගේම ප‍්‍රධාන පක්‍ෂ දෙකක් එක් වූ රජයක් විදිහට ජාතික රජයක සංකල්පය තුළ කටයුතු කරනනෙත්, නව රජයේ මේ සියලූ කටයුතුවල දී මූලික අඩිතාලමෙ, අත්තිවාරමෙ, නිර්මාණකරුවාණන් වන්නේ, ගෞරවණීය පූජ්‍ය මාදුලාවේ සෝභිත ස්වානීන්ද්‍රයාණන් වහන්සේයි. උන්වහන්සේට කරන ගෞරවය, මීට පෙර ගිහි පැවිදි අනුශාසනා වලදී සඳහන් කළ ආකාරයට උන්වහන්සේ බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට කිරීම මගේත් වෑයමයි. සාධාරණ සමාජයක්, යහපාලනයක්, ඒ තුළ පුළුල් වූ ප‍්‍රබුද්ධ වූ මානව හිතවාදී සමාජයක් ඇති කිරීම අපේ අරමුණයි. ඉතා පැහැදිලිවම උන්වහන්සේ තුළ තිබුණා මේ රටේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ දැඩි අධිෂ්ඨානයක්. මා ජනාධිපතිධුරයට පත් වූයේ ද උන්වහන්සේ ප‍්‍රමුඛ ඒ සඳහා කැපවුණ සියලූ නායකයින්ගේ සහ පොදු මහජනතාවගේ මූලික ඒ අභිප‍්‍රාය තුළයි. ඒ නිසා උන්වහන්සේගේ මේ උතුම් ගෞරවණීය දේහය ඉදිරියේ මා සපථ කරනවා උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන්න, මුළුමහත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනගන්න, සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා මා විසින් කළ හැකි, කළ යුතු සියලූ කැපවීම් මම කරන බව’’ එතකොට මේ ප‍්‍රතිඥාව අපි සුලූකොට සලකන්නට අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා හෘදය සාක්‍ෂියට එක`ගව සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේ මේ සපථ කළ දේ යථාර්ථයක් බවය පත් කරන එක එතුමාගේ පරම වගකීමක්. මා අවධාරණය කරනව, මා විසින් කළ හැකි, කළ යුතු සියලූ කැපවීම් මම කරන බව.
දැන් මේ වෙනකොට තත්ත්වය කුමක්ද කියල සිතා බලනකොට අපිට පෙනී යනව ජනාධිපතිවරයා විසින් ඉටු කළ යුතු යම් යම් දේවල් සම්බන්ධව එතුමා තුළ යම් කිසි බියක් ඇති වෙලා තියෙන බව. මේ බිය ඇති කරල තියෙන්නෙ කවුද කියල කියන එක පිළිබඳ නිරීක්‍ෂණය කරනකොට මූලික වශයෙන් මට පෙනෙන්නේ ජනවාරි 8 වෙනිදා එතුමා පරාජය කිරීමට උත්සාහ කරපු බලවේග තමයි මේ බිය ඇති කරල තියෙන්නෙ. ඒ නිසා ජනාධිපතිතුමා ඒ බිය නැතිකර ගත යුතුයි.
මහින්ද රාජපක්‍ෂ ඒ අවස්ථාවේ දී නැවත වතාවක් බලය ඉල්ලලා ඉදිරිපත් කරපු මැතිවරණ ප‍්‍රකාශනයෙත් සඳහන් කරල තියෙනව විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරනව කියල. අලූත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනව කියල. ඒ කොන්දේසි ඔහු ඇතුළත් කරල තියෙන්නෙ ඒ අවස්ථාවේ සමාජය තුළ ඇතිවෙච්ච මතවාදයට පිළිතුරක් හැටියට. එතුමාට උපදෙස් දෙන කේවට්ටයො තමයි ඒක ඒ වෙලාවෙ ඇතුළත් කර තිබුණෙ. ඒක අවංකව ඇතුළත් කළ දෙයක් නෙමෙයි. සැබැවින්ම ජනවාරි 8 වෙනිදා වෙනස සිද්ධ වෙන්නෙ සෝභිත හාමුදුරුවො උන්වහන්සේගේ 70 වෙනි උපන්දිනය දවසෙ ඉතාම අභීත ලෙස කිව්වා, ‘‘මගේ ජීවිතයෙ ඉදිරි කාලය මම කැප කරන්නෙ විධායක ජනාධිපති ක‍්‍රමය සහමුලින් අහෝසි කිරීමට. ඒකට අදාල කාරණා 11ක් උන්වහන්සෙ පැහැදිලි කරල තියෙනව. එතන තමයි ආරම්භය. ඒ වෙනකොට මේ රටේ බහුතරයක්, මම හිතන්නේ 90% කට වැඩිය පුරවැසියො දැනගෙන හිටියෙ නැහැ මහින්ද රාජපක්‍ෂ අවුරුදු 2කට කලින් ජනාධිපතිවරණයකට යන බව.
සෝභිත හාමුදුරුවන්ගේ මේ ව්‍යාපාරය යටතේ තමයි මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට බහුතරයක් නීතිගරුක පුරවැසියො, දේශපාලන සංවිධාන ඒක රාශි වෙන්නෙ. ඒ ඒකාරාශි වීමේ ඒකායන පරමාර්ථය තමයි විධායක ජනාධිපති ක‍්‍රමය කියන එක අහෝසි කරනව කියන එක. ඒකට තමයි ජනවාරි 8 වෙනිදා ජනවරමක් ලැබුණෙ. ඒ ජනවරම තමයි අගෝස්තු 10 වෙනිද නැවත වතාවක් සනාථ වෙන්නෙ. ඒ නිසා රතන හාමුදුරුවන්ට අද සදාචාරාත්මක අයිතියක් නැහැ උන්වහන්සේගේ මතය අනුව මේ රටේ හැට දෙලක්‍ෂයකට වැඩිය බහුතරයකගෙ අපේක්‍ෂාවන්ට විරුද්ධව කටයුතු කරන්න. උන්වහන්සේ ප‍්‍රකාශ කරනව, ‘‘මම ස්වාධීනව වෙනම බලවේගයක් ගොඩනගනව’’ කියල. එහෙම බලවේගයක් ගොඩනගන්න පුලූවන් නම් උන්වහන්සේ ඉස්සෙල්ලාම එක් දෙයක් කළ යුතුයි. තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ඒ මන්ත‍්‍රී පදවිය භාවිත කරමින් උන්වහන්සේට ස්වාධීන වෙන්නට බැහැ. කොහොමද ස්වාධීන වෙන්නෙ? උන්වහන්සේ නාම යෝජනා ලබා ගත්තෙ නැහැ. මහජනයා ඉදිරියට ගිහිල්ලා පාර්ලිමේන්තුවට යන්න වරමක් ලබා ගත්තෙ නැහැ. යනඑනමං නැතුව අතරමං වෙලා ඉන්නකොට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක එකතුවෙලා තමයි උන්වහන්සේ අවසානයේදී පාර්ලිමේන්තුවට යන්නට මාවතක් සොයා ගන්නෙ. එහෙම නම් උන්වහන්සේ ඒ අවස්ථාවෙදි සූදානම් වෙන්නට  ඕනැ, ඒ අවස්ථාවෙ ප‍්‍රකාශ කරන්නට  ඕනැ, ‘‘මම ලෑස්ති නැහැ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්නට, බලය බෙදන්ඩ, ඒවා කියල තමයි මේ රටේ ජනතාවගෙන් දෙවෙනි වතාවටත් වරමක් ලබා ගත්තෙ. ඒ නිසා අවධාරණයෙන් පැවසිය යුතු කාරණාව තමයි එක එක්කෙනාගෙ න්‍යායපත‍්‍ර මුදුන්පත් කරගන්න රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්නට එපා. ඒක අපරාධයක්. භික්‍ෂූන්වහන්සේ නමක් හැටියට දරුණු අපරාධයක් එහෙම දෙයක් කරන එක. ඒකට උඩගෙඩි දෙන එක. අවසාන වශයෙන් සේවය කරන්නේ අන්ත ජාතිවාදයට. මේක ගැන අපි සංවේදි වෙන්නට  ඕනැ.
මේ රටේ ජනතාවගෙ අදහස් විමසීමක් කරනව, අලූත් ව්‍යවස්ථාවක් සම්බන්ධව. අධිනීතාඥ ලාල් විජේනායක මහතාගේ නායකත්වයෙන් මුලූ ලංකාව පුරාම සියලූ දිස්ත‍්‍රික්කවල ගිහිල්ලා කිසියම් ජනමතයක් ලබා ගන්නව. එතුමා පිළියෙල කරල තියෙන වාර්තාවෙ අකුරක් නෑර මම කියවල තියෙනව. මේ රටේ විවිධ තරාතිරම්වල පුද්ගලයො ඒකමතිකව ප‍්‍රකාශ කරල තියෙනව අලූත් ව්‍යවස්ථාවක්  ඕන බව. ඇයි මිනිස්සු එහෙම කියල තියෙන්නෙ? කෑම දිරව ගන්නට බැරි අමාරුවකට නෙමෙයි. අපිට ඉලක්කම්වලින් පෙන්නන්නට බැරි වුණාට මේ විධායක ජනාධිපතිධුරය යටතේ නීතිගරුක පාලනයක් අහිමිවෙච්ච බව,  මිනිස්සුන්ට ඒක දැනිල තියෙනව. ඒකට කරුණු කාරණා පෙළගස්සන්නට බැරි වුණාට මිනිස්සුන්ට දැනිල තයෙනව. රටේ නීතියක් නැහැ. විධායක ජනාධිපතිට අභිමත ආකාරයට, ඔහුට විතරක් නෙමෙයි, ඔහුගේ භාර්යාවට, සහෝදරයන්ට, දරුවන්ට  නීතිය හසුරුවන්නට පුලූවන්. මේ ආශ‍්‍රයෙන් ජනතාව තේරුම් ගත්ත එකක් තමයි මේ කරුණ. එක පුද්ගලයෙකුට බලය කේන්ද්‍රග ගත වෙන එක අශිලාචාර පාලනයක්. ඒ වගේම ලංකාවේ රාජ්‍ය පාලනය පාර්ලිමේන්තුවක් තුළ සිද්ධ වෙච්ච ආකාරය ගැන අත්දැකීම් තියෙන පුරවැසියො මේ රටේ ජීවත් වෙනව. මේ කතා කරන මමත් ලංකාවේ රාජ්‍ය පාළනය පාර්ලිමේන්තුවක් තුළ  සිද්ධ වෙනකොට ළමයෙක් හැටියට අත්දැකීම් ලබපු කෙනෙක්. ඇත්තවශයෙන්ම ඒ කාලය තුළ සෑහීමකට පත්වෙන්න පුළුවන් වෙන්න නීතිගරුක පාළනයක් මේ රටේ තිබුණ. පාර්ලිමේන්තුවෙ අගමැතිවරයා, මැති ඇමතිවරුන් මහජනතාවට ලබා දුන්න. ප‍්‍රතිඥා ඉටු කළේ නැත්නම්, ඔවුන්ව ඊළ`ග මැතිවරණයේදී නෙරපා හැරීමට මහජනයට හැකියාවක් තිබුණ. ඒ නිසා අපි ඒ පාර්ලිමේන්තු ප‍්‍රජතන්ත‍්‍රවාදය තුළින් රට පාලනය කිරීම ඉල්ලා සිටින්නට  ඕනැ. මේ රට ශීලාචාර රටක් බවට පත් කරගන්නට නම්, ඒක අත්‍යාවශ්‍යම දෙයක්. ඒ විතරක් නෙමෙයි මේ අලූත් ව්‍යවස්ථාවට බයවෙලා ඉන්න ජනවාරි 8 වෙනිදා මේ රටේ නීතිගරුක පුරවැසියො, ඒ පැවතුන දුර්දාන්ත පාළනය වෙනස් කළාට පස්සෙ, ඒක නැවත ගේන්න කල්පනා කරල, බැරිවෙච්ච පුද්ගලයො නැවත පාර්ලිමේන්තුවෙ නියෝජිතයො බවට පත්වෙලා, මැති ඇමතිවරු බවට පත්වෙලා ඒගොල්ලො යම් ආකාරයකට ජනාධිපතිවරයව ත‍්‍රස්ත කරන බවක් අපිට දැනෙනව ඔවුන් ඒ කරන ප‍්‍රකාශ වලින්. මාධ්‍ය සාකච්ඡුා වලදි පවසන දේවල් වලින්. ඇයි ඔවුන් ඒ ආකාරයට බය වෙලා තියෙන්නෙ? මේක වැරදිද මන්දන්නෙ නැහැ. මට දැනෙන විදිහට, ඔවුන් කල්පනා කරනව රනිල් වික‍්‍රමසිංහ කියන පුද්ලයා අවුරුදු හත්අට දාහක් මේ රටේ ජීවත් වෙනව කියල. එහෙම බියක් තියෙනව.
අපි ව්‍යවස්ථාවක් හදන්නෙ රනිල් වික‍්‍රමසිංහට සදාකාලික බලයක් දෙන්නද? ඔහු ම මේ රට පාලනය කරන්නට ද? ඔහුගෙ බලය ස්ථාපිත කරන්නට ද? මේ තරම් මුග්ධ මිත්‍යාවක ගැලිලා ඉන්නෙ ඇයි දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන මහජන නියෝජිතයො. ඔහු තව අවුරුදු කීයක් ජීවත්වෙනවද කියල අපි දන්නෙ නැහැ. මිනිහෙක් අවුරුදු සීයක්, එකසිය විස්සක් ජීවත් වෙයි. අද අපේ ආයුෂ තත්ත්වය අනුව බලනකොට මම හිතන්නෙ නෑ. අපිව පාලනය කරන එක මිනිහෙක්වත් අවුරුදු සීයක් ජීවත්වෙයි කියල. ඉතින් මේ ආකාරයට කල්පනා කරනව නම්, අසවල් තැනැත්තාට මේ හරහා සදාකාලික බලයක් ලැබෙනව කියල, වැදගත් උගතුන් කියන, අධ්‍යාපන පවරප‍්‍රසාදයක් ලබපු පුද්ගලයො මේ වෙනුවෙන් කල්පනා කරනව නම්, කතා කරනව නම්, මත ගොඩනගනව නම්, මම හිතන්නෙ අධ්‍යාපනයෙන් මේ අය ලබාගත්ත දීප්තිය මොකක්ද කියන එක.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *