|

2024 අයවැය වෙනස්විය යුත්තේ ඇයි? – දිනේෂ් වීරක්කොඩි

sharethis sharing button

අයවැය යෝජනා තුළින් ආර්ථිකයක්  ශක්තිමත්  කිරීම සහ නැවත බලගැන්වීම සඳහා මූලික අඩිතාලම දැමීම සිදු කෙරේ. වර්තමාන ශ්‍රී ලංකාවට අවශ්‍යවන්නේ නූතන ලෝකයට ගැළපෙන  තරගකාරී  නව ආර්ථිකයක් ගොඩනැගීම සදහා වන අයවැය යෝජනාය. එබැවින්, 2024 අයවැය යෝජනා බොහෝ සෙයින්  වෙනස් හා ක්‍රියාත්මක කළහැකි යෝජනා විය යුතුය. මෙහිදී  රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්  අයවැය සැකසීමේදී  පහසුවෙන් ලගා කරගත හැකි අයවැය ඉලක්කයන් ඉදිරිපත් කිරීම වඩා වැදගත්ය. මෙම ලිපිය තුලින් විග්‍රහ කරනුයේ  රජයේ ආර්ථික ප්‍රගමනයට වඩාත් කඩිනමින් ලගාවිය  විය හැකි ක්ෂේත්‍ර පිළිබදව හදුන්වා දිමකි.

සංචාරක ව්‍යාපාරයෙන් පටන් ගෙන, නව සංචාරක මුලපිරීම්, අපනයනය ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තය, ඛනිජ සම්පත් , මූල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා SMART බදුකරණ ප්‍රතිපත්ති සහ ඒ සදහා සහය වන පුද්ගලික අංශයේ  ආයෝජනය කිරීමට ලබා දෙන දිරිමත් කිරීම් පිළිබදව තව දුරටත් සදහන් කළ හැක.

සංචාරක ව්‍යාපාරය ප්‍රකෘතිමත් වීම

සංචාරක කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් ලබා දියහැකි සහ රැකියා  අවස්ථා ජනිත කළ  හැකි එක් අංශයකි. එබැවින් සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ගෙන් අයකරන  අවිධිමත් පොලී සහ පොලී දඩමුදල්  මෙම ක්ෂේත්‍රයේ වර්ධනයට විශාල ලෙස බලපායි.

මෙතෙක් සංචාරක අවධානයට ලක්නොවු හෝ නොසලකා හරින ලද ඓතිහාසික ස්ථාන, සංස්කෘතික බිම් සලකුණු සහ ස්වභාවික ආකර්ෂණ ස්ථාන ප්‍රවර්ධනය කිරීම මෙයට ඇතුළත් වේ. සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රවේශතා වැඩිදියුණු කිරීම සහ අලෙවිකරණ ව්‍යාපාර සඳහා  ආයෝජනය කිරීම සඳහා රජයට පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකිය. එසේ කිරීමෙන්, සංස්කෘතික හා ස්වභාවික වස්තු ආයෝජන ප්‍රාග්ධනයක්  කරගනිමින් රජයට ලාභ ලැබිය හැකි වෙළෙඳපොළකට පිවිසිය හැකිය.

දැනට පවතින සංචාරක වත්කම් ප්‍රතිෂ්ඨාපනය කිරීම අත්‍යවශය වන අතර, ඉහළ ආදායම් ලබන සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා නවෝත්පාදන ද වැදගත් වේ. නව සංචාරක මූලාරම්භයන් ලෙස පරිසර හිතකාමී සංචාරක , වික්‍රමනාන්විත සංචාරක, සෞඛ්‍ය සහ සුවතා සංචාරක  වැනි විවිධ ක්ෂේත්‍ර යොදා ගත හැකිය. මෙම ප්‍රවණතා  විවිධත්වයෙන් පිරි සංචාරක ගමනාන්තයක් ලබාදෙන අතර  සංචාරක ක්ෂේත්‍රය වර්ධනයක් ඇති  කළ හැකිය.

නිදසුනක් වශයෙන්, තිරසාර සහ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මගින් සංචාරකයින් ආකර්ෂණයකර ගැනීම පමණක් නොව,  පාරිසරික සුරක්ෂිතතාවයද  පෝෂණය කළ හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පරිසරය සුරැකෙන අතරම, ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙවැනි දේ මුල් විය හැක. හරිතකරනය සහ ඒ තූලින් ගෝලීය වෙලදපල වෙත යාම අපවැනි නිවර්තන කලාපීය රටවල් වලට ඉතා පහසුවෙන් ප්‍රවර්ධනය කලහැකිය.

අපනයනය ඉලක්කකරගත් කෘෂිකර්මාන්තය 

කෘෂිකර්මාන්තය ශ්‍රි ලංකාවේ ආර්ථිකය නැවත නඟා සිටුවිය හැකි ප්‍රධාන අංශයකි. අපනයනය ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තයට අනුගත වීමෙන්, අපට විශ්වාසදායක ආදායම් මාර්ගයක් නිර්මාණය කරමින් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසිය හැකිය. ඉහළ ඉල්ලුමක් ඇති භෝග හඳුනා ගැනීම, කෘෂිකාර්මික භා  කෘෂිකාර්මික භාවිතයන් වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණය සඳහා ආයෝජනය කිරීම මෙයට ඇතුළත් වේ. තවද, අගය එකතුකළ  කෘෂි නිෂ්පාදන මගින් කෘෂිකාර්මික  ලාභදායිතාවය ඉහළ නැංවීමට, රැකිය උත්පාදනය කිරීමට සහ ග්‍රාමීය සංවර්ධනයට සහාය විය හැක. එබැවින් රජය කෘෂිකර්මාන්ත කේෂ්ත්‍ර සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයට අවස්ථා වැඩි වශයෙන් නිර්මාණය කර දිරිගැන්වීම් කළ යුතුය.

ඛනිජ සම්පත්

ශ්‍රි ලංකාව ඛනිජ සම්පත්වලින් පොහොසත් රටකි. ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා මෙම සම්පත් භාවිතයට ඇවැසි කාලය පැමිණ ඇත. ඛනිජ කැණීම තිරසාරව සහ විනිවිදභා වයෙන් සිදු කරන්නේ නම්, සැලකිය යුතු ආදායම් සහ රැකියා උත්පාදන මූලාශ්‍රයක් විය හැකිය. පතල් කැණීම නිසි ක්‍රමවේදයකට අනුව පාරිසරික ප්‍රමිතින්ට අනුකූල විය යුතුය. එහි  ලාභය සාධාරණ ලෙස බෙදී යන බවට රජය සහතික විය යුතුය. මීට අමතරව,  ඛනිජ සැකසීම සහ පිරිපහදු කිරීම සඳහා  ආයෝජනය කිරීමෙන් මෙම කේෂ්ත්‍රයට තවදුරටත් වටිනා කමක් එකතු කළ හැකිය.තාක්ෂණික නවෝත්පාදන සඳහා  අවස්ථා නිර්මාණය ද  කළ හැකිය. එබැවින් ව්‍යාපාර පවත්වා  ගෙනයාමේදී, මෙරට තුල විධිමත් ක්‍රමවේදයක්  පවත්වා ගෙන යන බවට මෙම ක්ෂේත්‍රයේ නිරත  ජාත්‍යන්තර ආයෝජන ප්‍රජාව තුළ විශ්වාසයක් ඇති කරන ප්‍රතිපත්තීන්  රජය විසින් ප්‍රකාශ කළ යුතුය.

මූල්‍ය අංශය

ශක්තිමත් සහ ස්ථාවර මූල්‍ය අංශයක් ඕනෑම රටක ආර්ථිකයේ  ප්‍රධාන සාධකය වනු ඇත. ප්‍රාග්ධන ප්‍රවාහය දිරිමත් කරන හිතකර ප්‍රතිපත්ති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමෙන් රජයට දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගත හැකිය. මූල්‍ය අංශය ශක්තිමත් කිරීමෙන්  ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන ප්‍රවේශය පහසු කරනවා පමණක් නොව, පුද්ගලයන්ගේ ඉතුරුම් සහ ආයෝජන දිරිමත් කරයි. තවද, ඩිජිටල් මූල්‍ය සේවා සහ ෆින්ටෙක් නවෝත්පාදන වැලඳ ගැනීමෙන් මූල්‍ය ඇතුළත් කිරීම් වැඩිදියුණු කළ හැකිය. පුළුල් ජනගහනයකට බැංකු සේවා  වෙත ප්‍රවේශය විය හැකිය. ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම පහසු කිරීම සඳහා, බැංකු අංශයේ  පුළුල් නව්‍යකරණයක් සහ ශේෂපත්‍ර අවදානම් ඉවත් කිරීමක් අවශ්‍ය වේ. මේ සඳහා  කර්මාන්ත ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයක් පවතී.  මෙහිදී    නව  ප්‍රාග්ධනයට දායක විය හැකි විශාල බැංකු ශේෂපත්‍ර හිමි, විශාල ප්‍රමාණයේ ප්‍රාග්ධන හිමිකරුවන්, දිගුකාලීන වටිනාකම් සහිත කොටස් හිමියන්ගේ දායකත්වය  වඩා අවශ්‍ය වේ.

දරිද්‍රතාවය අඩුකිරීම

ශ්‍රි ලංකාව විදේශ විනිමය අර්බුදයකට සහ ජීවන වියදම ඉහළ යාමේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබේ. මෙම දුෂ්කරතා  රටේ දුප්පතුන්ට සැලකිය යුතු ලෙස දැඩි බලපෑමක් ඇති කර ඇත.රටතුල පවතින ආර්ථික අස්ථාවරභාවය මීට සෘජුලෙස බලපායි.

දුප්පතුන්ගේ දරිද්‍රතාවය අඩුකර ජීවන මට්ටම වැඩිදියුණු කිරීමට සඳහා සැදුම්ලත් ප්‍රතිපත්ති රජය විසින් ක්‍රියාත්මක කළ යුතුය. උදාහරණ වශයෙන් කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් වැනි  අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා  මූල්‍ය ආධාර, හෝ සෞඛ්‍ය සේවා සපයන සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් ශක්තිමත් කළ යුතුය. තරුණයන් සඳහා ද අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය සහ ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා ව්‍යාපාර සහාය ලබා දීම වඩා වැදගත් වේ.

නිගමනය

රටක ආර්ථිකය ගොඩනැංවීම සදහා කරන ආයෝජනයකදී පූර්ව වෂයෙන් අවධානය යොමුකරනුයේ රට තුළ පවතින සාර්ව ආර්ථික  ස්ථාවරත්වය සහ නොවෙනස්  ප්‍රතිපත්ති  පැවතීමයි . 2024 අයවැය මගින් රජයට ප්‍රබල ප්‍රකාශයක් කිරීම අවස්ථාව සලසා දී ඇත. එනම් ශ්‍රි ලංකාව සතු  ශක්තිමත් මානව ප්‍රාග්ධනය  සඳහා ආයෝජනය කළ යුතු අතර, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය කෙරෙහි වැඩි ආයෝජනයක් කළ යුතු බවය. තවද ජාතික ආරක්ෂාව සඳහා ඥානවන්තව වියදම් කළ යුතුය. එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ මාවතකට පහසුකම් සැලසීම සඳහා රජයට SMART අයවැය යෝජනා අවශ්‍ය වේ. එය සිදුවිය යුත්තේ පවතින බදුගෙවන්නන් මත වැඩිබරක් පැටවීමකින් තොරව, රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය පුනර්ජීවනය කිරීම හා පෞද්ගලික අංශයේ ආදායම් වර්ධනයට ඇති උනන්දුව ශක්තිමත් කිරීම තුළින්ය.

 

දිනේෂ් වීරක්කොඩි     

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *