ජනාධිපති ක්‍රමය අහෝසි නොකළොත්…! – මහින්ද රත්නායක

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් සංශෝධනයක් හැර වත්මන් ව්‍යවස්ථාව වෙනස් නොකිරීම තම ස්ථාවරය බව ශ්‍රි ලංකා කිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව පසුගිය දා තීරණය කළ බව වාර්තා විය. ජනමාධ්‍යට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අමාත්‍ය එස්. බී. දිසානායකට අනුව වත්මන් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනතාවගේ අනුමැතියක් ලැබී නැත. තව ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණය, නායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා භාරගතයුතු බවට ඉඟියක් කරන අමාත්‍ය දිසානායක පවසන්නේ ජනාධිපතිවරයාගේ තීරණය කුමක් ද යන්න තමන් නොදන්නා බව ය. මේ අතර 2027 වන තුරු මේ රට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ පාලනය වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයකු වන ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේ ය. එයින් කියැවෙන්නේ ද 2020 දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත්, එහිදි වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන බවත් ය. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කරන මේ යෝජනාව පිළිබඳ සටහනක් තැබීමට ය.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය

ශ්‍රිලනිපයේ මේ යෝජනාව ජනාධිපතිතුමා දැනුවත්ව කළ එකක් බව ඇතැමෙක් පවසන නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ස්ථාවරය කුමක් ද යන්න අපිට නිශ්චිතවම කිව නොහැක. අප දන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ජනාධිපතිතුමා කළ ප්‍රකාශය මෙන්ම කුරුණැගල දී පැවැත් වූ පක්ෂ සම්මේලනයේ දී සම්මතකරගත් යෝජනාවේ ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන බව සඳහන් වී තිබීම පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂ සම්මේලනයේ දී සම්මතකරගත් යෝජනාව පසුව නොසලකා හැර ඇති නමුත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා තවමත් පෙනී සිටින බව සිතීම සාධාරණ ය.

ප්‍රජාතන්ත්‍රීය බලවේග හා පුරවැසි සංවිධාන මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පිළිිගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට පමණක් නොව එවැනි කූප්‍රකට ජනාධිපතිවරයකු බිහිකරන ව්‍යවස්ථාව වෙනස්කරන බවට වූ පොරොන්දුව මත ය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට නායකත්වය දුන් මාදොලූවාවේ සෝභිත හිමි කියාසිටියේ ද විධායක ජනාධිපත ක්‍රමය ඉවත් කළයුතු බව ය. ජනාධිපති ක්‍රමය ඉවත් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේ සපථ කරන්නට සිදුවන්නේ ඒ අනුව ය. ඔටුණු නොපලන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අභිෂේක කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තේමාව වූ බැවින් ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුමැතියක් නොලැබුණු බව අමාත්‍ය එස්. බී. දිසානායක කියනවිට එය සත්‍යයකි. එහෙත් පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඇති සමාජ ගිවිසුමේ මූලික කොන්දේසිය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම ය. ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණයෙන් ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට ජනතා අනුමැතිය ලැබුණූ අතර මුලූ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියායාදාමය ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙයින් පොදු අපේක්ෂක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඇතිකරගත් සමාජ ගිවිසුම ඉතාමත් පැහැදිළි වන අතර, 62 ලක්ෂයක් වූ ජනතාවගේ එම අනුමැතිය විකෘති කරන්නට එස්. බී. දිසානායක ඇමතිවරයාට සාදාචාරාත්මක අයිතියක් නැත. අනික් අතට අමාත්‍ය එස්. බී. දිසානායක කියන ආකාරයට පක්ෂ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගිවිසුමක් ඇති බව ද සත්‍යයකි.

එහෙත් ජනාධිපති වූවාට පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතිකරගත් ගිවිසුම, රටේ ජනාධිපතිවරයා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කළ සමාජ ගිවිසුමට වඩා බලවත් වන්නේ නැත.

ගිවිසුම් වෙනස්

මෙය වඩාත් නග්න ආකාරයෙන් පවසන්නේ නම් අති මහත් බහුතරයක් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයකු වූවාට, ඔවුන්ම පැවසූ ආකාරයට එදා සිරිසේන මහතා නිකම්ම නිකම් චරිතයකි.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගත් සමාජ බලවේගයට එදා මෛත්‍රිපාල සිරිසේන මහතා නිකම්ම නිකම් චරිතයක් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පලවාහැරීමට හැකියාව තිබූ නායකයෙකි. ඒ අනුව තමාව ජනාධිපතිකමට පත්කළ සමාජ ගිවිසුම ශ්‍රිලනිපය සමඟ පසුව ඇතිකරගත් ගිවිසුමට වඩා බලවත් බව ජනාධිපතිතුමා තේරුම්ගෙන ඇති බව ඉතා පැහැදිළි ය.

ජනාධිපතිතුමා ම ප්‍රකාශකරන ආකාරයට තමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත්තේ ඉහත කී සමාජ ගිවිසුමට අනුව ක්‍රියාකරන්නට ය.

වෙනත් ආකාරයට පවසන්නේ නම් අදාළ වෙනස කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිව අවශ්‍ය නිසාවෙනි. විශාල අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍ය නැතිවූවත් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ට කැබිනට් ඇමැති තනතුරු ලබා දී ආණ්ඩුවට ඇතුලත් කරගත්තේ සමාජ ගිවිසුමේ කොන්දේසි කඩ කිරිමට නොව එය ඉටුකිරීමට ය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගැනීමට හැකිවූයේ තමා ශ්‍රිලනිපයේ සභාපතිකම භාරගත් නිසා බව, එම භාරගැනීම විවේචනය කරන්නවූන්ට පිළිතුරක් ලෙස ජනාධිපතිතුමා කිහිප විටක්ම පවසා තිබීමෙන් එය මොනවට පැහැදිළිවේ.

ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට වූ පොරොන්දුව මත කිහිපදෙනෙක්ම මේ රටේ ජනාධිපති වී තිබේ. එම පොරොන්දුව මත 1994 දී ප්‍රථමයෙන්ම ජනාධිපති වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය වේ.

පොරොන්දු පත්‍ර

පසුව පරිවාස ආණ්ඩුව හරහා ජාතිවාදි බලවේග සමඟ එක් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව බිඳදැමූ නමුත් ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට 2000 ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් එක්සත් ජාතික පක්ෂය එයට සහාය දුන්නේ නැති බව ප්‍රකාශ නොකිරීම ඇයට කරන අසාධාරණයකි.

නමුත් අවසාන වශයෙන් ඇයගේ ප්‍රතිරූපය සමාජගත වී තිබෙන්නේ පොරොන්දු දී බලයට පත්ව ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ නායිකාවක් ලෙසට ය. මහින්ද රාජපක්ෂ මහතා ද විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන බවට පොරොන්දු විය.

බලයට පත්වී පොරොන්දු ඉටුකරනවා වෙනුවට රාජපක්ෂ මහතා කළේ වාරදෙකේ සිමාව ඉවත්කර ජිවිත කාලයටම ජනාධිපති වී සිටිමට උත්සහා දැරිම ය. ජනාධිපති පදවිය දරමින් නැවතත් ජනාධිපති තරඟයට මුහුණ දී පරාජය වූ එකම ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසගත වී තිබේ. තම පක්ෂයේ බහුතරයක් ඡන්දවලින් බලයටපත් වූ හෙයින් පොරොන්දුව ඉටු නොකළ නමුත් එම දෙදෙනා කෙරෙහි තම පාක්ෂිකයින්ගේ ගෞරවයක් ඉතිරිව ඇත.

පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට ඒකාබද්ධ විපක්ෂයේ බලපෑමෙන් ශ්‍රිලනිපය ගලවා ගැනීමේ උපායක් ලෙසට 2027 වනතුරු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරනු ඇති බව ඉහත කී ඇමතිවරු ප්‍රකාශ කළා යැයි සිතිය හැක. ජනාධිපති ක්‍රමය ඉවත් නොකරන බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේ එම උපාය තාර්කිකවීම සඳහා වෙන්නට පුළුවන.

එහෙත් එම තීන්දුව දේශපාලන වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද ජනාධිපතිතුමාට යහපත් වන්නේ නැත. එම නිසා ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට සහාය නොදෙන්නට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගත් මේ තීන්දුව පිළිබඳව පක්ෂ නායකයා ලෙස ද ජනාධිපතිතුමාගේ අවධානය ලක්විය යුතුව තිබේ.

මොන යම් හේතුවක් නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පොරොන්දුව ඉටු නොකරන තැනකට ගමන් කළහොත් ඇතිවන ප්‍රතිඵලය ජනාධිපතිවරු මෙයට පෙර පෙරපොරොන්දු කඩකලාට වඩා හාත්පසින්ම වෙනස්වනු ඇත. මක්නිසා ද යත්, මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුරයක ඡන්දයෙන් නොව ප්‍රජාතන්තන්ත්‍රවාදි බලවේග හා සුළුජාතීන්ගේ ඡන්ද ඇතුළත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් වූ ඡන්ද වලිනි.

ගිවිසුම් ප්‍රකාර බැඳිමක් මිස භාවත්මක බැඳිමක් ජනාධිපතිතුමා හා පෙර කී සමාජ බලවේගයන් අතර නැත. එහෙයින් මේ සමාජ ගිවිසුම ජනාධිපතිතුමා කඩකරන තැනකට ගමන් කළහොත් ජනාධිපතිතුමා කෙරෙහි මොනයම් ම හෝ ගෞරවයක් ඉතිරි වන්නේ නැත.

ගිවිසුම්ගත සමාජ බලවේගයන්ගේ කෙසේ වෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා අනුගත වූව ද එම පක්ෂයේ ගෞරවයට සිරිසේන මහතා පත්වේ යැයි සිතය නොහැක. ජනාධිපති ක්‍රමය ඉවත් නොකරන තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂය ලෙස පොදු අපේක්ෂකයකු ඉදිරිපත්කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු වූ ප්‍රසන්න රණතුංග මහතා මේවනවිට ද පවසා ඇත. එවිට සිදුවන්නේ තමන් බලයට පත්කළ සමාජ බලවේගයන්ගේ පමණක් නොව තම පක්ෂයේ ද ගෞරවයට නොව ගර්හාවට ලක් වූ පාලකයකු ලෙස ජනාධිපතිතුමාට විශ්‍රාම යෑමට සිදුවීම ය.

යථාර්ථය වටහා ගැනීම

ජනාධිපතිතුමා ඇතුළු වත්මන් ආණ්ඩුව රළපහරට මුහුණ දෙමින් දැන් ගඟ මැදට පිහිනා තිබේ. රළ පහර ප්‍රචණ්ඩ යැයි පවසා නැවතත් මෙගොඩට පිහිණිමේ තේරුමක් දැන් නැත. දෙපැත්තටම ඇත්තේ එකම දුරක් වන බැවින් බුද්ධි ගෝචර වන්නේ එගොඩට පීනීමය.

එයට දේශපාලන අධිෂ්ඨානයක් සහ ධෛර්යයක් අවශ්‍ය ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට එවැනි දේශපාලන අධිෂ්ඨානයක් හා හා ධෛර්යයක් නොතිබුණේ නම් මහින්ද රාජපක්ෂ වැනි ෆැසිස්ට් මාදිළියේ පාලකයකු පලවා හැරීමට ඉදිරිපත් නොවන බව අපගේ අත්දැකීම ය.

කළ කැප කිරීම අනුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය පරිවර්තනය ඇති කළ නායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතිහාස ගතවන්නේ එම දේශපාලන අධිෂ්ඨානය හා ධෛර්ය එසේම පවත්වා ගන්නේ නම් පමණි.ජනපති මේ යථාර්ථය වටහා ගෙන ඇති බව අපගේ විශ්වාසයයි.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *