රොෂාන් කෙළෙව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විතරක් නොව ශ්‍රී ලංකාවේ විපක්ෂයටත් එක්කද ?~ දර්ශන වීරසිංහ

sharethis sharing button

ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළියට වීසි වුණාට මොකද ලංකාව ඇතුළේදී පහුගිය සතියේ තරගාවලියේ වීරයා වුණේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ.

රොෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෂම්මි සිල්වා ප්‍රමුඛ පරිපාලනය අයින් කරලා අතුරු පාලන කමිටුවක් දැම්මා. ඒ අතුරු පාලනයට එරෙහිව ෂම්මි සිල්වා උසාවි ගියා. උසාවිය රොෂාන්ගේ අතුරු පාලන කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ෂම්මි ආයෙත් ක්‍රිකට් ආයතනයට ආවා. ඊටපස්සේ රොෂාන් පාර්ලිමේන්තුව ඇතුළේදී උසාවියත් පැටළෙන විදියට බොහොම උද්වේගකර කතාවක් කරලා, ජනාධිපතිවරයාට හිතවත් පාර්ශ්වයකටත් චෝදනා එල්ල කෙරුවා. ඊළඟට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය “දූෂිත ක්‍රිකට් පරිපාලනය එළවා දමන්න” කියලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් සම්මත කළා. ඊළඟට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ලංකාවේ ක්‍රිකට් තහනම් කළා. ඔය විදියටනෙ වැඩේ වුණේ.

ඔය අතරේ වෙච්චි දේවල් බැලුවොත් මුලින්ම කවුරුත් හිතුවේ මේ වැඩේ පුදනකොටම රොෂාන්ගෙ ඇමතිකම ගහලා ගිහිල්ලා ඉවරවෙයි කියලා. නමුත් එහෙම වුණෙත් නෑ. මොකද රොෂානුත් ඔතන අමුතු ගේමක් ගහපු නිසා. ඒ කියන්නෙ 1996 ලෝක කුසලාන චූන් එකෙන් තවමත් ඉන්න අපේ ජනතාව අවුස්සන්න එයා අතුරු කමිටුවේ සභාපතිකම දුන්නේ අර්ජුන රණතුංගට. අර්ජුන කියන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගේ සහෝදරයා. ඊළඟට එයා ඔය කමිටුවට මේ දවස්වල ජනාධිපති රනිල්ගේ හොඳ පොතට වැටිලා ඉන්න අධිකරණ ඇමති විජේදාසගේ පුතාවත් දාලා තිබුණා. ඒ විතරක් නෙවෙයි පරණම යූඑන්පී කාරයෙක් වෙන ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ පුතෙක්වත් ඔය කමිටුවට දාලා තිබුණා. ඒවා ජනාධිපති වුණත් හිරවෙන තැන්. ඊට අමතරව රොෂාන්ව අයින් කළොත් ප්‍රශ්නයක් වෙයි කියලා නිමල් සිරිපාල ද සිල්වායි, නිමල් ලංසායි දෙන්නත් ජනාධිපතිට කියලා තිබුණා කියලා ගොසිප් පළවෙලා තිබුණා. ඔය ඔක්කොම බැලුවාම අඩුම ගාණෙ තවමත් රොෂාන්ගේ එක ගේමක් සාර්ථකයි.

දෙවනි එක, ක්‍රිකට් ගැන පාර්ලිමේන්තුවේ විවාදය යද්දී ජනාධිපතිවරයා වෙනුවෙන් දිගටම පෙනී ඉන්න ඇමතිකෙනෙක් වෙන කංචන විජේසේකර කෙළින්ම කිව්වා ලංකාවේ ක්‍රිකට් තහනම් වුණොත් පාර්ලිමේන්තුවේ 225 ටට ඒකට වගකියන්න වෙයි කියලා. දැන් කිව්වා වගේම වැඩේ වෙලා. ඔතන 225 කිව්වාට ෂම්මිලා එළවන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂය නිසා ඉදිරියේදී ගාණට ඒකෙ වගකීම සජබට පැවරෙන්නත් පුළුවන්. මොකද ජනතා විමුක්ති පෙරමුණ ඔය වැඩේට කරනොගහා ගාණට ෂේප් වුණ හින්දා.

තුන්වෙනි එක තමයි, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ක්‍රිකට් ප්‍රශ්නය ගැන කියපු බොහොම බැලන්ස් කතාව. ජනාධිපතිවරයා කිව්වෙ තමන්ට ඕකෙදි පැත්තක් නෑ, කොහොම වුණත් ICC එකට පටහැණිව නොයන විදියට වැඩේ කරගන්න ඕනෙ කියලා. හොඳම වැඩේ කියන්නෙ, ඒ කතාව කියනකොට කවුරුහරි මන්ත්‍රී කෙනෙක් ඒක තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකෙන් වීඩියෝ කරලා මාධ්‍යවලට ලීක් කරලාත් තිබුණා. ගෲප් මීටින් එකේ ජනාධිපති කරපු කතාවක වීඩියෝ ලීක් වෙනවා කියන එක නිකම්ම වුණා වෙන්න බැහැනෙ, නේද ?

ඔයින් මෙයින් කරුණු පැහැදිලි වෙන විදියට නම් මේකෙ මීළඟට ජවනිකාව, රොෂාන් රණසිංහයි පාර්ලිමේන්තුවේ විපක්ෂයයි එකතුවෙලා ක්‍රිකට් තහනම් කරවාගත්තා, ජනාධිපතිතුමා මැදිහත් වෙලා සාකච්ඡා කරලා ක්‍රියාමාර්ග අරන් ඒ තහනම අයින් කරවාගත්තා කියලා නිව්ස් එකක් එන එක වෙන්න පුළුවන්.

ඊට අමතරව රොෂාන් රණසිංහ, මීට කලින් පොලොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේනතුමා ගියපු අඩිපාරේම වීරයා වගේ ගිහින් විපක්ෂයේ පොදු අපේක්ෂයා වෙන තැනට පාර කපාගන්නත් බැරි නෑ. ගෝඨාභයත් 69 ලක්ෂයක් ඡන්ද අරන් ජනාධිපති වෙච්චි රටනේ … මේකෙ ඕනෙම දෙයක් වෙන්න පුළුවන් !

~ දර්ශන වීරසිංහ

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *