|

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් ඇගයීම – නොරගල් දස්නි ලක්මාලී හේමචන්ද්‍ර

 

මෙම ලිපිය මඟින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ ජාතික අවදානම් ඇගයීම පිලිබදව කරුණු සමාලෝචනයක් සිදු කරනු ලැබේ.  ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මඟින් 2021/2022 වර්ෂය සඳහා වන ජාතික අවදානම් ඇගයීම (සංශිප්ත) වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කරන ලද දෙවන ජාතික අවදානම් ඇගයීම වන අතර පළමු ජාතික ඇගයිම් වාර්තාව (සංශිප්ත) 2014 වර්ෂයේදී පලකරන ලදී.

ජාතික අවදානම් ඇගයීම් වර්තාවක් සිදු කල යුතු බවට මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිලිබඳව ජාත්‍යන්තර ප්‍රතිපත්තීන් සම්පාදනය කරනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකාය මඟින් නිර්දේශ කර ඇත. මෙකී නිර්දේශ සාමාජික රටවල් මඟින් ක්‍රියාත්මක කල යුතු අතර එසේ එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිලිබඳව මුදල් විශුද්ධිකරණය පිලිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම මඟින් නිරීක්ෂණය කරනු ලැබේ.  ඒ් අනුව ජාතික අවදානම් ඇගයීම් වාර්තාවක් පිලියෙල කිරීම මඟින් ශ්‍රී ලංකාව තුල සිදුවන හෝ සිදුවිය හැකි බවට සාධාරණව සිතිය හැකි මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිලිබඳව ජාතික මට්ටමින් ඇගයීමක් සිදු කරනු ලබනවා පමණක් නොව එමඟින් ජාත්‍යන්තර සම්මුතීන් සමඟ අනුගත වීමක්ද සිදු වේ.

මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ජාතික අවදානම් ඇගයීම් වාර්තාවක් ලෙස දක්වා ඇත්තේ රටක් විසින් තම රටෙහි මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිලිබඳ අවධානම හදුනාගත යුතු බවත්, එකී අවදානම පිලිබඳව ඇගයීමක් කල යුතු බවත්, ඒ පිලිබඳව නිසි අවබෝධයක් තිබිය යුතු බවත්ය. එමඟින් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයිමේ අවධානම අඩු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරයක් නම් කල යුතු වීම හෝ අවදානම පිලිබඳව නිසි ඇගයීමක් සිදු කර ඊට අදාලව ප්‍රතිපාදන, අවදානමේ ප්‍රමාණයට ගැලපෙන ආකාරයෙන් යෙදවිය යුතු බවත් දක්වා ඇත. සරලව දැක්වුවහොත් ශ්‍රී ලංකාව තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ඉහල මට්ටමකින් සිදු වන බවට පෙනි ගියහොත් එය මැඩ පැවැත්වීම සඳහා මූල්‍යමය, මානව ආදී ප්‍රතිපාදන වැඩි වශයෙන් යෙදවිය යුතු අතර රක්ෂණ අංශය තුලින් ඇතිවන මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම පහල මට්ටමින් සිදුවන්නේ නම්  ඒ්වා මැඩ පැවැත්වීමට සාපේක්ෂව අඩු ප්‍රතිපාදන යොදා ගත හැකි බවය. ඒ අනුව පෙනී යන්නේ ජාතික අවදානම් ඇගයීම් වාර්තාවක් සකස් කල යුතු බව දැක්වීම මඟින් මූල්‍ය කාර්ය සාධක බලකායෙහි පරමාර්ථය වන්නට ඇත්තේ රටක පවත්නා සම්පත් මානව කළමනාකරණය කිරිම මඟින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම වැලැක්වීම විය යුතුය.

මෙහිදී මතුවන ඊලඟ බාධකය වන්නේ රටක් තුල සිදුවන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයිම පිලිබඳව දත්ත ලබා ගන්නේ කෙසේද යන්නයි. මෙහිදී පෙනී යන කරුණක් වන්නේ බොහෝ රටවල් විසින් රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන මඟින් පවත්වා ගෙන යනු ලබන නිල දත්ත හා සංඛ්‍යා ලේඛණ  තම ඇගයීම් සඳහා පාදක කර ගන්නා බවයි. එමෙන්ම මෙකී දත්ත විශ්ලේෂණය කිරීම සඳහා එකී ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහය ලබා ගනු ලැබේ. ඒ අනුව පෙනී යන කරුණක් වන්නේ ජාතික අවදානම් ඇගයීමක් පිළියෙල කිරීම සඳහා විශාල කැපවීමක් මෙන්ම මෙහෙය වීමක්ද අවශ්‍ය බවයි.

මීලඟට සලකා බැලිය යුතු කරුණක් වන්නේ මෙසේ ජාතික අවදානම් ඇගයීම් වාර්තාවක් පිලියෙල කිරීමෙන් සාක්ෂාත් කිරීමට අපේක්ෂා කරන අරමුණු කවරේද යන්නයි. කලින් දැක්වු ආකාරයට මෙකී වාර්තාවක් පිලියෙල කිරීම මඟින් මූල්‍ය කාර්ය සාධක බලකාය මඟින් දක්වා ඇති ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුගත වීමක් සිදුවනවා පමණක් නොව රටක මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා නව නීති රීති රෙගුලාසි හදුන්වා දිම, පවත්නා නීති රීති වලට අවශ්‍ය සංශෝධන ගෙන ඒම, අවශ්‍යතාවය පරිදි කාර්ය සාධන බලකා නිර්මාණය කිරීම සිදු කල හැක. මෙකී ක්‍රියා මාර්ගය තුල පෙනී යන කරුණක් වන්නේ මූල්‍ය කාර්ය සාධක බලකාය මඟින් රටක මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම සඳහා ඇති නීතිමය රාමුව හා යන්ත්‍රණය යාවත්කාලීන කරනු ලබන බවයි.

මීට උදාහරණයක් ලෙස රට තුල මුදල් භාවිතය වැඩි නම් හා එසේ මුදල් භාවිතය වැඩි වීම තුලින් මුදල් විශුද්ධිකරණයට එනම් කළු සල්ලි සුදු කිරීම සඳහා අපරාධකරුවන්ට අවස්ථාවක් සලසයි නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ අවධානය යොමු කල යුතු වේ. ඉතාලිය විසින් එරට තුල සිදුවන මුදල් භාවිතය අවම කිරීම සඳහා ඉහල වටිනාකමින් යුතු ගනුදෙනු අනිවාර්යයෙන්ම බැංකු පද්ධතිය හරහා සිදු කල යුතු බවට දක්වා ඇත. මෙකී උදාහරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුලද ඉහල වටිනාකමින් යුතු ගණුදෙනු වන දේපල මිලදී ගැනීම් අනිවාර්යයෙන්ම බැංකු හරහා සිදු කල යුතු බවට ප්‍රතිපත්තිමය තීරණ ගත හැක.

ජාතික අවදානම් ඇගයීම් වාර්තාවක අවධානය යොමු වන තවත් ප්‍රධාන කරුණක් වන්නේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමයි. මෙසේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම සඳහා කරුණු විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකාව තුල සිදුවන හෝ සිදු විය හැකි බවට සාධාරණව උපකල්පනය කල හැකි ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම වැනි ක්‍රියාකාරකම් වලට අමතරව කලාපීය වශයෙන් හා ජාත්‍යන්තරව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාමෙන්ම ඒවාට අරමුදල් සපයා ගන්නා ආකාර පිළිබඳව අවධානය යොමු කල යුතුවේ.මෙයට හේතුව වන්නේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම එක් රටකට පමණක් සීමා නොවී රටවල් කිහිපයක් අතර සිදුවිය හැකි අපරාධමය වරදක් වීමයි. උදාහරණයක් ලෙස LTTE සංවිධානයෙහි ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාව තුල පමණක් සිදු වුවත් ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන් අරමුදල් සපයා ගන්නා ලද්දේ විදේශ රටවල වාසය කරනු ලැබු දෙමළ ජාතික ඩයස්පෝරාව මඟින් වීමයි. ඒ අනුව ත්‍රස්තවාදීන්ට අරමුදල් රැස් කිරීම විදේශ රටවලටත් ත්‍රස්ථවාදී ක්‍රියා සිදු කිරීම තවත් රටකත් සිදු විය හැක.

ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමෙහි මෑතකදී පෙනී යන ප්‍රවනතාවයක් වන්නේ ත්‍රස්තවාදීන් විසින් නීත්‍යානුකූල මාර්ග වලින් එනම් වැටුප, ව්‍යාපාර ප්‍රතිලාභ මඟින් උපයා ගන්නා මුදල් ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදා ගැනීමයි. ශ්‍රී ලංකාවෙහි 2019 වර්ෂයේ සිදු වු පාස්කු ඉරු දින ප්‍රහාරය සඳහා අරමුදල් සම්පාදනය කරන ලද්දේ ඉබ්‍රාහිම් සහෝදරයින් බවට විමර්ශන වලදී කරුණු අනාවරනය විය. මෙය ශ්‍රී ලංකාව තුල සිදු වූ ආසන්නතම සිදු වීම වුවත් මේ ආකාරයෙන් ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ඔවුන් විසින්ම නීත්‍යානුකූල ක්‍රියා මඟින් අරමුදල් සැපයීම පිළිබඳ උදාහරණ 2005 වර්ෂයේදී එක්සත් රාජධානියේ මගී උමං මාර්ගයක සිදු වූ බෝම්බ ප්‍රහාරය සාක්ෂි සපයයි. මෙකී කරුණු අනුව පෙනි යන්නේ ගෝලීය වශයෙන් ත්‍රස්ථවාදීන්ට අරමුදල් සැපයීම සම්බන්ධව දක්නට ලැබෙන ප්‍රවනතා කෙරෙහි සැලිකිලිමත් විය යුතු බවයි.

සමස්ථයක් ලෙස මේ අනුව පෙනී යන කරුණක් වන්නේ ජාතික අවදානම් ඇගයීම් වාර්තාවක් සැපයීම රටක් ලෙස ඉතාමත් වැදගත් බවයි. මෙසේ වාර්තාවක් සැපයීම තුලින් දැනට පවත්නා අවධානම් පිළිබඳ  හදුනා ගැනීමක්, අවධානම් පිළිබද පුරෝකථනය කිරීමක් මෙන්ම ගෝලීය වශයෙන් සිදුවන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ථවාදීන්ට අරමුදල් සැපයීමේ ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කිරීමක් මෙන්ම එමඟින් ශ්‍රී ලංකාව කෙරෙහි සිදුවිය හැකි බලපෑම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටද අවස්ථාවක් සැලසේ.

තවදුරටත් ජාතික අවදානම් ඇගයිම යථාර්ථවාදී කිරීමට නම් ජාතික අවධානම් ඇගයීම මඟින් නිරාවරණය වූ කරුණු පිළිබඳව කාලීන සමාලෝචනයක් සිදු කර එකී අවධානමට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කල යුතු වේ. මෙසේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීම ආයතනික මට්ටමින් පමණක් සිදුකල හැකිද යන්න ප්‍රශ්නාර්ථයක් වන අතර ඒ සඳහා අන්තර් දෙපාර්තමේන්තු සම්බන්ධතාවයන් ගොඩනැගීම හෝ කාර්ය සාධක බලකායක් පිහිටුවීම සාධනීය යෝජනා වලින් වේ. ජාතික අවදානම් ඇගයිම් වාර්තාවෙහි ඇති වැදගත්කම වන්නේ එකී වාර්තාව මඟින් පිළිබිඹු කරන කරුණු කොතෙක් දුරට ජාතික ප්‍රතිපත්තීන් නිර්මාණය කිරීම සඳහා යොදා ගනු ලබන්නේද යන කරුණු මතයි.

නොරගල් දස්නි ලක්මාලී හේමචන්ද්‍ර

 

(මෙම අදහස් හුදෙක් කතෘගේ අදහස් වන  බව කරුණාවෙන් සලකන්න.)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *