|

ජනතාව කබලෙන් ලිපට දමන 20,000/ ඉල්ලීම – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

මේ දිනවල මෙරට රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹී සිටිති . ඒ ඉදිරි අයවැයෙන් රුපියල් 20,000/- ක වැටුප් වැඩි වීමක් ලබා ගන්නා අටියෙනි. තම ඉල්ලීම සාධාරණීකරණය කරන්නට ඔවුන් ඉදිරිපත් කරන හේතුව වන්නේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවය. ගෑස් මිල , එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ප්‍රවාහන වියදම් බදු බර ආදි කරුණු රැසක් ඒ සඳහා ඔවුහු ඉදිරිපත් කරති. ඒ සියලු කරුණු ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ගැටලුව වන්නේ ඉහත ජීවන වියදම් ප්‍රශ්නය බලපානු ලබන්නේ රාජ්‍ය සේවකයනට පමණක්ද යන්නය. ජීවන වියදම යනු රටේ එක්තරා කොටසකට පමණක් නොව සමස්ත ජනතාවට ම බලපානු ලබන ගැටලුවකි. රාජ්‍ය සේවකයා, පෞද්ගලික අංශයේ සේවකයන් පමණක් නොව එදිනෙදා රැකියාවකින් මුදලක් උපයා ගනිමින් යැපෙන කම්කරුවාටත් මෙකී  ප්‍රශ්නය එක ලෙස බලපානු ලැබේ.

අනෙක් ජනතාවට සාපේක්ෂව රාජ්‍ය සේවකයන් යම් පමණකට ගැටලුවෙන් නිදහස් බවද මෙහිදී සඳහන් කළ හැකිය. නිදසුනක් වශයෙන් ඔවුනට ස්ථිර මාසික ආදායමක් ලැබේ. පෞද්ගලික අංශයේ මෙන් රැකියා අහිමි වීමක්,  වැටුප් කප්පාදු කිරීමක් වැනි දේට මුහුණ දීමට රාජ්‍ය සේවකයන්ට සිදුවී නැත.

අතීකාල කප්පාදු කර ඇත වැනි හේතු රාජ්‍ය සේවකයන් නගන බව සැබෑය. ආදායම් මාර්ගයක් වශයෙන් අතීකාල වැදගත් නමුත් ඇත්ත වශයෙන් ම රාජ්‍ය සේවයට අතීකාල සේවා අවශ්‍යද යන ප්‍රශ්නය නැගෙන්නේ රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් පවතින බව කියන බැවිනි. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයන් සිටින තැනක අතිකාල සේවයක් කුමකටද? අතිකාල යනු සාමාන්‍ය සේවා මුරය තුළ කළ නොහැකි රාජකාරි ඉටු කිරීම සඳහා සේවා කාලයෙන් පසුවත් සේවයේ යෙදීමයි. එවැනි අවස්ථාවක අමතර මුදලක් සේවකයාට ලැබෙන නමුත් දැන් සිදුවන්නේ අතීකාල දීමනා ලබා ගැනීමේ අරමුණෙන්ම සේවා කාලයට අමතර පැය කිහිපයක් පොත අත්සන් නොකර රාජකාරි ස්ථානයේ රැඳී සිටීම බව රාජ්‍ය සේවකයන් සියල්ලෝම දනිති.

රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප් වැඩිවීම ගෙවන්නට සිදු වන්නේ භාණ්ඩාගාරයෙනි.භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ බදු මුදල්වලිනි. බදු අයකරනු ලබන්නේ ජනතාවගෙනි. මේ ආකාරයට ගත් කල යම් ආකාරයකින් රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප් වැඩිවීම ලබා දෙන්නට රජය කටයුතු කළ හොත් නැවත බදු වැඩි කරන්නට රජයට සිදුවනු ඇත. ඒ බදු මුදල් රජයේ සේවකයන් මත පමණක් නොව පෞද්ගලික අංශයේ සේවකයන් සහ කිසිදු වැටුපක් නොලබන සාමාන්‍ය ජනතාව මත පවා පැටවීම වැලැක්විය නොහැකිය.  තවත් ආකාරයකින් ගත් කල මෙය රාජ්‍ය සේවකයන්ගේ පරිප්පුව රටේ සමස්ත ජනතාව මතම පැටවීමකි.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම යනු රටේ  මුදල් සංසරණය ප්‍රසාරණය වීමක්ද වේ. මුදල් සංසරණය ප්‍රසාරණය වීම යනු ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව උද්ධමනය ඉහළ යාම සඳහා බලපාන හේතුවකි. ඒ ආකාරයෙන් ගත් කලද රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම යනු නැවතත් සමස්ත ජනතාව මත අලුත් වටයකින් බර පැටවීමක් වේ.

වැඩි වැටුප් ඉල්ලීම යනු මෙරට වෘත්තීය සමිති දේශපාලනයේ චින්තනමය සහ දාර්ශනික දරිද්‍රතාව පැහැදිලි කරන සටන් පාඨයක් වන්නේ එහෙයිනි. සබුද්ධික වෘත්තීය සමිති ව්‍යාපාරයක් නම් මේ මොහොතේ සටන් පාඨ තෝරනු ඇත්තේ සියලු ජනතාවගේ යහපත පිණිසය. නිදසුනක් වශයෙන් වැටුප් වැඩි කරනු යන්නට වඩා, බඩු මිල පහත හෙළනු වැන්නක් එහිදී වැදගත් වනු ඇත.  වැඩි වැටුප් ලබාගත හැකි ආකාරයට සහ වඩා හොඳ මහජන සේවයක් සැලසිය හැකි වන ආකාරයට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නේ කෙසේද වැනි දේ ගැන කල්පනාවක් මේ වෘත්තීය සමිතිවලට නොමැතිකම රටේ අබග්ගයකි.

 

  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *