සජබ මුජිබර් රහමන්ට සිදු වූ විපත යලි නොවන්න රනිල්ගෙන් විසඳුමක්

 

කොළඹ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා ඉල්ලා අස්වීම නිසා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ සජබ හිටපු මන්ත්‍රී මුජිබර් රහමන් මහතාට සිදු වූ ආකාරයේ හානියක් අනාගතයේ කිසිවකුට නොවන ලෙස ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඕනෑම තැනැත්තකුට තල දෙකක මැතිවරණ සඳහා තරග කිරීමටත් එබඳු තනතුරු දෙකක් එකවර දැරීමටත් ඉඩ ලැබෙන පරිදි මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කොට ඇත්තේ මුජිබර් රහමන් මහතා සම්බන්ධ සිදුවීම නිසා බව කියති.

ජනාධිපතිතුමා විසින් පසුගිය සතියේ පත්කරනු ලැබූ මැතිවරණ නීති සංශෝධන කොමිසමට ලබා දී ඇති කාර්යයන්ට ද මෙම යෝජනාව ඇතුළත් කොට තිබේ.

මෙම අවස්ථාව අතීතයේ ද පැවති බව රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ප්‍රකාශ කළේ රුවන්වැල්ල මන්ත්‍රී එන් එම් පෙරේරා මහතා කොළඹ නගරාධිපති වීම ඇතුළු උදාහරණ ද ඉදිරිපත් කරමිනි.

ඒ  තත්ත්වය මේ වනවිට පැවතියේ නම් නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන්නට මුජිබර් රහමන් මහතාට සිදුවන්නේ නැත.

මැතිවරණයක් නොපැවැත්වෙන බව සහ ඒ නිසා ඉල්ලා අස් නොවන ලෙස තමන් මුජිබර් රහමන් මහතාට දැනුම් දුන් බව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මුජිබර රහමන් මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපදෙස් දුන්නේ කෙසේ හෝ මැතිවරණය ලබා ගන්න බව සහ එබැවින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී මැතිවරණයට තරග කරන ලෙස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *