මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට

මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට

මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත එලෙස විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

නොවැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය නොවැම්බර් 07 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔක්තෝබර් 19 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම සතියට අදාළ න්‍යාය පත්‍රය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, නොවැම්බර් මස 07 වනදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් මස 08 වනදා සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදය නොවැම්බර් මස 09 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

නොවැම්බර් පළමු පාර්ලිමේන්තු සතියේ අවසන් දිනය වන 10 වනදා පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය.

ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 10 වනදා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලබන වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් මස 13 වන සඳුදා දින සිදුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

ඒ අනුව, අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 14 වනදා සිට 21 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වනදා පස්වරු 06ට පැවැත්වෙයි.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වනදා සිට දෙසැම්බර් මස 13 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වනදා පස්වරු 06ට පැවැත්වීමට නියමිතය.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *