එජාපයේ 77වෙනි සංවත්සරය තෙක් කතාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ඩී.එස්. නවසිය තිස් ගණන්වල ගොවි ජනපද පටන් ගත් කාලයේ මැලේරියාව ගැන කියා ජනතාව බය කළ වාමාංශිකයන්, 53 හාල් මිල වැඩි කළාට එරෙහි හර්තාල් ව්‍යාපාරයට රට බාර දී ඩඩ්ලි අගමැති ධුරයෙන් හා දේශපාලනයෙන් සමු ගත්තේ ය. ඒත් 56දී බණ්ඩාරනායක දිනුවේ, අදටත් රට කළඹන ජාති හා ආගම් භේද අවුස්සා මිස, රටට ගැලපෙන ආර්ථීක සමාජ ක්‍රමයක් හඳුන්වා දෙමින් නොවේ.
හර්තාලයේ අවස්ථාවක්
53 හර්තාල් වීරයා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාට, 1970දී ඩඩ්ලි වෙනුවට ජනතාව පත් කර ගත් මැතිනිගේ ආණ්ඩුවේ මුදල් ඇමති වී රටේ ජනතාවට බත් කෑම තහනම් කිරීමට සිදු විය. 1973 දී ඩඩ්ලිගේ ඇවෑමෙන් සේනානායක යුගය අවසන් වී අඩ සිය වසක් ඉක්ම ගොස් ය. අදටත් රටේ මිනිස්සු බත් කන්නේ මැලේරියා නො තකා සේනානායකලා සමග සිට ගත් ජනපද ගොවීන්ගේ දහදිය මහන්සියෙවනි. තවමත් වී බුසලට සාධාරණ මිලක් නැත. රටෙන් අඩක් යැපෙන කෘෂිකර්මාන්තයට පැවැත්මක් ආරක්ෂාවක් නැත. අද වන විට එජාපයකුත් නැත.
නවසිය හැත්තෑවේ එජාප ලැබූ බරපතල පරාජයට පසු දිනෙක දැදිගම මන්ත්‍රි ගරු ඩඩ්ලි සේනානායකගේ මෝටර් රිය කිංසි පාරේ ගමන් කරමින් සිටිනු දුටු කිහිප දෙනෙක් ඔහුට හූ කීහ. ඩඩ්ලි වහා තම රියෙන් බැස, ඒ කිහිප දෙනාට සමීපව මෙසේ ඇසීය.
”ඇයි මට හූ කියන්නේ… මේක ප්‍රජාතන්ත්‍රවාදි රටක්. ජනතාව මා වෙනුවට වෙනත් නායකයෙකු තෝරා ගත්තා. තෝරා ගත් නායකයා අසාර්ථක වුණොත් සමහර විට ඔබට නැවත මා තෝරා ගැනීමට සිදුවිය හැකිය. ඔහුට හූ කී පිරිස ඩඩ්ලි දෙස බලා සිට නිහඬව යන්ට ගියහ.
ඩඩ්ලි සේනානායක ජාතියේ පියා ලෙස විරුදාවලි ලත් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, ජනතාවගේ බඩගින්න වෙනුවෙන් චීනය සමග රබල් හාල් ගිවිසුමට අදාළ එකඟතාව ඇති කර ගත්තේ අමෙරිකාව පවා ඊට විරුද්ධවූ පසුබිමකය. නිදහස් ලංකාවේ පළමු අගමැතිවූ ඩී.එස්. පුරවැසිකම් අහිමි ව සිටි වතුකරයේ ලක්ෂ ගණනක ඡන්ද බලය අහෝසි කිරීමට නීති සැකසූ අවස්ථාවේ උතුරේ පොන්නම්බලම්ලාද ඊට සහාය දැක්වූයේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක තුළ පැවති ශ්‍රී ලාංකික මමත්වය පිළිබඳ පැවති දැඩි විශ්වාසය නිසාය.
එක්සත් ජාතික පක්ෂය පසුගිය සැප්තැම්බර් 06 වෙනිදාට (1946-2023) සිය 77වෙනි සංවත්සරයට එළඹීයා ය. හැත්තෑ හත් වසරක් විය පත් තැනැත්තෙකු ජ්‍යෙෂ්ඨ පුර වැසියෙකි. හෙතෙම, යහපත් පැවැත්මෙන් බුහුමන් ලබයි නම් පරමාදර්ශී වැඩි හිටියෙකි. හැත්තෑ හත් වසක් පරිනත ආයතනයක් හෝ සංවිධානයක් නම්, දේශයේ ඉතිහාමයට බද්ධ විශිෂ්ඨ පුරාවෘත්තයකි. ඒ අර්ථයෙන් එජාපය විශිෂ්ඨ පුරාවෘත්තයකි. සමාජ විද්‍යාත්මක තක්සේරුවෙන් අපරාජිත සංස්කෘතික දායාදයකි. මේ ජාතික මහා සම්ප්‍රදායික පුරාවෘත්තය 2020 මැතිවරණයේදී අතීත පුරාජේරුවකට සීමා විය. ඒ ඇයිදැය් විමසීමත් එජාපය ගැඹුරින් හැදෑරීමකි.
මයිකල් ඇන්ජිලෝගේ ඩේවිඩ් ප්‍රතිමාව
දේශපාලන පක්ෂයක් යනු එහි ක්‍රියාකාරිත්වයද? පැවැත්මද? මයිකල් ඇන්ජිලෝ (1475-1564) නම් මූර්ති ශිල්පියා, සුප්‍රකට ඩේවිඩ් නම් ප්‍රතිමා නිර්මානය ගැන විමසූ විට කීවේ කුමක්ද? කිරි ගරුඬ පර්වතයක අනවශ්‍ය කොටස් ඉවත් කළ විට, බයිබලයේ ඩේඩිඩ් ඉස්මතු වූ බවය. කාලයේ බලපෑම් තුළ පසුබෑමෙන් යටපත්වූ එජාපය කාලය විසින් යළි ප්‍රති නිර්මානය කරමින් සිටින්නාහ. එජාපය යනු වියපත් වන එක් වසරක් පාසා කියැවෙන්නේ ඡන්ද ප්‍රතිපලයක් නොවේ. මේ ලිපිය ආරම්භයේ සඳහන් කළ පරිනත කතාවය.
විසිවෙනි සියවසේ ආරම්භයේ නිදහස් ජාතික අරගලයට සමපාත වේ. 1911දී ව්‍යවස්ථාදායක සභාවට සර් පොන්නම්බලම් රාමනාදන් නම් හින්දු ලබ්ධික ලාංකේය විශිෂ්ට පුරවැසියා, බහුතර සිංහල බෞද්ධයන්ගේ ඍජු තේරීම හරහා පෙළ ගැසුණ ජාතික අපේක්ෂාවන් එක්සත් ජාතික පක්ෂය සතු චින්තනය වේ.
1912දී සුරාබදු ආඥා පනත් කෙටුම්පතට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවේදී සර් පොන්නම්බලම් රාමනාදන් ශ්‍රී ලාංකේය බහුතරය වෙනුවෙන් තනිව විරුද්ධ විය. 1912 ජූලි 14 වෙනි දින පිහිටුවා ගත් අමද්‍යප සභා ව්‍යාපාරයට බෝතලේ සේනානායකවරු මූලික වූහ.
1915දී ඇති වූ මහජන කැළඹීමේදී එෆ්.ආර්.සේනානායක, ඩී.බී.ජයතිලක, එඩ්මන් හේවාවිතාරණ, පියදාස සිරිසේන ආදි අමද්‍යප ව්‍යාපාර පුරෝගාමිහූ රාජ ද්‍රෝහින් ලෙස සැලකූහ. ධන උල්පතක් වූ මත්පැන් වෙළඳාමට පතල් හිමි වැවිලිකාර බෝතලේ සේනානායකවරු විරුද්ධවීම බ්‍රිතාන්‍ය පාලකයන්ගේ සැකයට හේතු විය. අමද්‍යප ව්‍යාපාරය හරහා දේශිය වටිනාකම් මතුකර ලාංකික අනන්‍යතාව පෙළ ගැස්වීම යනු සැලැස්මක් මිස කිසිසේත් අහඹුවක් නොවන බව යටත් විජිත පාලකයන් කල්පනා කළහ.
සිංහලයන් ජාතියක් ලෙස ගොඩ නැගුණේ බෞද්ධ දර්ශනය නිසාය. බුද්ධාගම නැතිදාට, සිංහල ජාතියක් නැත. එහෙයින් අප කළ යුත්තේ බුද්ධාගම රැකීම බව කී හින්දු භක්තික සර් පොන්නම්බලම් සමග ක්‍රිස්තු ලබ්ධික ඊ.ඩබ්ලිව්. පෙරේරා සිරගත කළ සිංහල බෞද්ධ දේශ ප්‍රේමින් මුදවා ගැනීමට එක්වීම යනු ලාංකේය ජාතින් සංධාන ගත වීමකි.
මෙකී පසුබිම තුළ 1919දී පිහිටුවා ගත් සිංහල ජාතික කොන්ග්‍රසය, සර් පොන්නම්බලම් අරුනාචලම් (1853-1924), සර් ජේම්ස් පීර්ස් (1856-1930) , එෆ්.ආර්.සේනානායක (1882-1926) , ඩි.එස්.සේනානායක(1884-1952), ඩී.බී.ජයතිලක (1868-1944), ඊ.ඩබ්ලිව්.පෙරේරා (1875-1953), සී.ඩබ්.ඩබ්.කන්නන්ගර (1884-1969) , පී. ද ඇස්. කුලරත්න (1893-1976) ,එච්.ඩබ්ලිව්. අමරසූරිය (1904-1981) , ආතර් ද සිල්වා (1869-1942) , ජෝර්ජ්. ඊ. ද සිල්වා (1879-1950), සර් එඩ්වින් විජයරත්න (1889-1968) ආදීන්ගේ සභාපතීත්වයෙන් ශක්තිමත් විය. මෙම නාමාවලිය සාම්ප්‍රාදායික සියලු කුල ගෝත්‍ර මෙන්ම ලබ්ධිකයන්ගේ විශිෂ්ට එකතුවකි.
1946 වනවිට එකී විශිෂ්ට මිනිසුන්ගෙන් ජීවතුන් අතර සිටියේ 7 දෙකෙකු පමණකි. එයින් එවකට හැත්තෑ එක් හැවිරිදි ඊ.ඩබ්ලිව්.පෙරේරා හැර අනෙක් සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයන් වූහ. නිදහස් සටනට එක් වූ සමහර ශ්‍රී ලාංකික පිරිස්, පළමු මැතිවරණයේදීම ඛෙදී ගියහ. ඉන්දිය නිදහස දිනා ගැනීමට මූලික වූ ජාතික කොන්ග්‍රසය, 489ක් වූ ව්‍යවස්ථාදායක සභා සංයුතියෙන් ආසන 364ක් හෙවත් 44.99%ක ප්‍රති ශතයක් දිනා ගත්හ. ඊට සාපේක්ෂව, ලංකාවේ එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ 101ක් වූ පාර්ලිමේන්තු සංයුතියෙන් ආසන 45ක් හෙවත් 39.81%ක ප්‍රතිශතයකි. එක්ව දිනා ගත් දේශපාලන සංහිඳියාව නිදහස් ලංකාව ආරම්භයේදීම මෙසේ කඩා බිඳ දමා ගත්හ. ඒ බිඳ වැටීම තුළ වාමාංශික බලවේග පාලන බලය ඇල්ලීමට ඉව කළහ. ගොඩනැගුණ ජාතික සංහිඳියාව ගැන අවබෝධයෙන් සිටි උතුරු නැගෙනහිර ලාංකේය ද්‍රවිඪ නියෝජිතයන් ගෙවුණ තිස් තුන් වසරක් පුරා ගොඩ නැගුණ නිදහස් සටනේ පුරෝගාමි මත වාදයන්ට අනුගත වීමෙන් ඩී.එස්.සේනානායක ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා විය.
බ්‍රිතාන්‍යයන් විසින් කඳුකරයේ පදිංචි කළ දකුණු ඉන්දිය කුලී කරුවන් ආපසු යැවිය යුතු බවට අග්‍රාමාතය ඩී.එස්.ගේ අදහස විය. ඔහු ඒ අරමුණෙන් සිදු කළ 1949 ඉන්දු පකිස්ථාන් පුරවැසි පනත් සංශෝධනයට වාමාංශික පක්ෂ දැඩිව විරුද්ධ වෙද්දී උතුරු නැගෙනහිර ලාංකේය ද්‍රවිඪ නියෝජිතයන් ඒ පනත ජයග්‍රහණය කරවීමට සහාය දුන්නේ ලාංකේය හැඟීමෙනි. නිදහස් ලංකාවේ සිංහල සහ බෞද්ධ බහුතරය සමග නො ඛෙදී එක්ව සහජීවනයෙන් වාසය කිරීම උතුරු නැගෙනහිර ජනතාවගේ අපේක්ෂාව බව 1949දී ඔවුන් සහතික කළහ. මේ සහෝදරත්වය 1911 දී ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තෝරා ගැනීමේ සිටම පැවතිණ. 1948දී උතුරේ එකම ආසනයක් හෝ ජය නො ගත් එජාපය 1952 දී උතුරු ප්‍රදේශයේ මන්ත්‍රී ආසන අටෙන් හතරක් දිනා ගැනීම ඊට සාක්ෂියකි.
1953දී ඩඩ්ලි සේනානායක දේශපාලනයෙන් ඉවත් වූ පසුව ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක එතෙක් ජාතික නායකයන් එකමුතු කළ ලාංකේය ජාතිකත්වය ඛෙදා වෙන් කරමින් පටන් ගත් නව දේශපාලනය නිසා රටේ ජාතික සමගිය පමණක් නොව, ආර්ථීකය ප්‍රජාතන්ත්‍රවාදය සියල්ල ක්‍රමයෙන් විනාස වී ගියේය.ඒ හැරවුම අදටත් ලංකාවේ පැවැත්මට සිදු කරන හානිය බරපතලය.
ඉන්දු පකිස්ථාන් පුරවැසි පනත් සංශෝධනය සුළු ජන කොටස් නො තනා හැරීමක් ලෙස වාමාංශික පක්ෂ විවරණය කළද, උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාව එය දුටුවේ ලාංකේය දෘෂ්ඨියෙනි. සමහර විට දූපත් මානසිකත්වයෙන් විය හැකිය. වතු කම්කරුවන් ආපසු ඉන්දියාවට යැවීමේ ඩී.එස්.ගේ ප්‍රතිපත්තියට ඉන්දියාව එරෙහි වුවද, උතුරේ ජනතාව ලංකාණ්ඩුවේ එකී ස්ථාවරය සමග පෙළ ගැසීම හේතුවෙන් ඉන්දීය අගමැති නේරු ප්‍රශ්නයට අත ගෑසුවේ නැත. කන්කසන්තුරේ සිමෙන්ති, පරන්තන් රසායන වැනි රාජ්‍ය ව්‍යාපාර උතුරේ ස්ථාපිත කෙරුණේ ජාත්‍යන්තරය පවා දුර්මුඛ කළ ඒ ජාතික සංහිඳියා පාදම රටක් ලෙස ඛෙහෙවින් දූරදර්ශී පියවරයන් විය.
1956න් මෙපිට වසර 67 ක් තුළ උතුරුකරයට ලැබුණ සේනානායක පාලන යුගයෙන් මෙපිට ලැබුණ යමක් නැත. 56 පෙරළියේ ප්‍රතිපලයක් වූ තිස් අවුරුදු යුද්ධයෙන් වඩාත් බැට කෑමේ උතුරේ මිනිසුන් ය. 2005 ජනාධිපති මැතිවරණයේදී එල්ටීටීඊ තර්ජනය නො තකා තනිව ඡන්ද පොළට ගිය කිලිනොච්චි පුරවැසියාත්, 1988දී ජවිපේ තුවක්කුවට නො බියව, දකුණේ ඡන්ද පොළට ගිය සිංහල බෞද්ධයන් බහුතරයද, කතිරුය ගැසුවේ අලියා ඉදිරියේය. හේතුව එජාපය යනු සහජීවනය සමගිය ආර්ථීකය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද සිදු කළ ඓතිහාසිකව කැපවීම නිසා ය. මේ ඓතිහාසික කියැවීම 2020 ඡන්ද ප්‍රතිපලයෙන් යටපත් කළ නො හැකිය. සත්තකින්ම 2020 ඡන්ද ප්‍රතිපලය එජාපයේ ඇද වැටීමක් නොව එය රටේ ප්‍රජාන්ත්‍රවාදය ලිස්සා යාමකි.
මා වෙනත් දේශපාලන විවරණයකදී 2015-19 අතර යහ පාලන කාලයේ රටේ පැවති සමාජ ආර්ථීක තත්වය කිසිසේත් රටේ පාලකයා වෙනස් කරන තරමට පිරිහී නො තිබුණ බවත් පෙහොට්ටුව ගොඩ ගියේ වඳ කොත්තු සහ පාස්කු කුමන්ත්‍රණය නිසා බව දක්වා ඇත. එය කියවූ වහා කෙනෙකු කීවේ 2018 පළාත් පාලන ඡන්ද ප්‍රතිපලයට වඳ කොත්තු බල නොපෑ බවය. විග්‍රහයකදී එවැනි කරුණු සැඟවිය නො හැකි හෙයින් එකී තත්වය යළි නිරීක්ෂණය කළෙමි. 2018 මැතිවරණයෙන් පොහොට්ටුවට වැඩි ආයතන ගණනාවක බලය ලැබුණාට පොහෝටටුවට ලැබුණ ජන කැමැත්ත සියයට හතළිස් ගණනකි. එය සමානුපාතික විග්‍රහයක් පමණකි.
1956 යූඇන්පියට එරෙහිව ඉස්මතු වූ බණ්ඩාරනායක පක්ෂය තුළින්ම විනාශ විය. 1970දී එජාපය වෙනුවට තෝරා ගත් මැතිනියගේ ආණ්ඩුවේ වැඩි බලය ඇයගේ නෑයන් සතු විය. 2020දී පිහිටවූ ආණ්ඩුවේ රාජපක්ෂලා වෙනුවෙන් එස්.බී. දිසානායකත් පිටමන් කෙරිණ. 1972 නව ව්‍යවස්ථාවක් සමග රට අලුත් කළ මැතිනියට 1973 හිමි වුණේ පාරේ තැන තැන මියෑදුණ මිනිසුන්ය. 2020දී 20 වෙනි ව්‍යවස්තා සංශෝධනයෙන් උත්ථානය ලද රාජපක්ෂලාටත් ඉන්ධන පෝලිම්වල මළ මිනී ගනින්නට සිදු විය. කිසිදාක ඇද නො වැටුණ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, තේරූ ජනාධිපති උමඟක් හරහා පළා යාමෙන් අනතුරට ලක් විය. එහෙත් රාජපක්ෂ කල්ලිය තවමත් හොල්මන් කරන බව කෙහෙළිය රඹුක්වැල්ල සිද්ධියේදී සාගර කාරියවසම් තහවුරු කළේය.
මෙවැනි අවස්ථාවක විපක්ෂ කාර්ය භාරය, තමුසෙලා ගියාට රටවත් ආණ්ඩුවවත් වැටෙන්නේ නෑ යයි ප්‍රකාශ කිරීමය. මස් රාත්තලම ඉල්ලන යුදෙව්වන්ගේ ඊශ්‍රායල් අත්දැකීම වැදගත් ය. එහෙත් සජිත් හෝ අනුර එහෙම නැත. විපක්ෂයට අවශ්‍ය රකින්නට නොව කෙළවෙනවා බලන්නටය. මුන් කැමකි කාට කෙළ වෙනවා බලන්නටදැයි කෙනෙකුට ඇසිය හැකිය. උත්තරය රනිල්ට විය හැකිය. එහෙත් කෙළවෙන්නේ රටට මිස රනිල්ට නොවේ. එජාපය අවශ්‍ය අවස්ථාවල රට වෙනුවෙන් පෙනී සිටියේ සද්භාවියෙනි. 2010 පොන්සේකා වෙනුවෙන් පෙනී සිටියේ එජාපයයි. 2015දීත් එජාපය ඒ කැප කිරිම ඒ ආකාරයෙන්ම සිදු කළේය. 2022 සංසිද්ධියේදී කිසිවෙකු රනිල්ට උදව් කරන්නේ නැත.
2022 ජූලි 22 සිට රනිල් යන්නේ, වලල කෙල්ල තරුෂි කරුණාරත්න ගියා වැනි තනි ගමනකි. තරුෂි උපන්නේ එක දිගට අඩි දහයක් සමතලා බිමක් නැති කඳුකර ගමක ය. රනිල්ගේ දේශපාලනය අදටත් සුමුදු තැනි තලාවක් නොවේ. තරුෂි එකම අරමුණ ලෙස කල්පනා කළ ඇයගේ දෙ මාපියන් නැති බැරිකම් පසෙක ලා ජය කණුව තෙක් ඇය ගෙන ගියාය. රනිල්ද රට වෙනුවෙන් එවැනි ගමනක් යමින් සිටියි.
2020දී එජාපය ලද පරාජය රට අත් විඳි පරාජයකි. රට ලැබූ ඒ පරාජය 2022 අප්‍රේල් වල නිර් දේශපාලනික දිය වැළක් බවට පත් විය. ගෝටා ගෝ ගම පසු පස සිටියේ කවුද? ජවිපෙ මාලිමාව හෝ පෙරටුගාමින් නොවේ. තනි මන්ත්‍රී ආසනයකට ලඝු වූ එක්සත් ජාතික පක්ෂයට එවැනි හපන්කමක් කිසි සේත් කළ නොහැකි ය. එහෙත් ගෝඨා ගෝ ගම යටිබිම්ගත දිය වැල යූඇන්පිය නැති කමය. එජාපයේ 77 වෙනි සංවත්සරය පැවැතියේ මේ අතර ය.
කතිර දේශපාලනය නිසා හැඩයක් නැති පර්වතයක්ව පවත්නා රටේ පැවැත්ම වෙනුවෙන් මයිකල් ඇන්ජිලෝ අනුව යමින් ඩේවිඩ් වෙනුවට යළි එජාපය නිර්මානය කිරීමට අනාගතයට සිදුවනු ඇත.
ගඟක් ආපසු ගලන්නේ නැත කියා මා කියන්නේ ඒ නිසා ය.
(දෙවන කොටස ලියැවෙමින් පවතී.)
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
නිදහස් ලේඛක
sugathcb@gmail.com
The Leader