විමල් විරවංශට ඇප නෑ

* රජයේ වාහන 40ක් අවභාවිතයේ
* 5ක් නෑයන්ට
* 10ක් ජානිපෙට
* 25ක් හෙන්චයියන්ට: පාඩුව කෝටි 9යි
* ඉංජිනේරු සංස්ථා හිටපු නි. සාමාන්‍යාධිකාරිත් රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් වාහන 40කට අදාළ ගෙවීම් හා භාවිතාවේ දී අක්‍රමිකතා සිදු කළ බවට කොළඹ මූල්‍ය අපරධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු ඇමැති විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියෝග කළාය.

මින් රජයට සිදුව ඇති අලාභය රුපියල් නව කෝටි දහසය ලක්ෂ තිස්පන්දහස් නවසිය අනූ එකයි ශත තිස්තුනක් බව මූල්‍ය අපරධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සහ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මඬුල්ල ඉදිරිපත් කළ ලිඛිත හා වාචික කරුණු සම්බන්ධයෙන් එදිනට නියෝගයක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය කීවාය.

මේ වාහන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත කුලී පදනම මත ලබා දීමෙන් අනතුරුව මේ වාහන ඉංජිනේරු වැඩබිම් වෙත ලබා දී ඇති බව පවසමින් වාහන අවභාවිත කර ඇති බවට අධිකරණයට කරුණු දක්වමින් කොළඹ මූල්‍ය අපරධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

මේ වාහන අවශ්‍ය බව එම වැඩ බිම්වලින් ඉල්ලා ඇතත් ඔවුන්ට වාහන ලබා දී නැති බවට විමර්ශන අනාවරණය කර ඇති බව කී ඒ මහතා එම වාහන ඇමැතිවරයාගේ ජනසෙවණ ව්‍යාපෘතියට අනුයුක්ත කර ඇති බව පවසමින් සමීප ඥාතීන් පස් දෙනකු වෙත ලබා දී ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කළ බව කීවේය.

එම වාහනවලින් එක් වාහනයක් වීරවංශ මහතාගේ වඩිමහල් සොහොයුරියගේ පුතුන් දෙදෙනාට ද එක් වාහනයක් මස්සිනාවරුන් දෙදෙනකුට ද එක් වාහනයක් නැඟණියට ද දී ඇති බවත් වාහන 10ක් ජාතික නිදහස් පෙරමුණට ද ඉතිරි වාහන ඇමැති කාර්යමණ්ඩලයට ද දී ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන් ජනසෙවණ ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ එම වාහනවල රියැදුරන්ගෙන් ලබා ගත් කටඋත්තරවලින් අනාවරණය වී ඇති බව ද කොළඹ මූල්‍ය අපරධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

වාහන භාවිත කළ ඇතැම් පුද්ගලයන් වාහන භාවිත කිරීමට අවසරය නැති අය බවත් ජනසෙවණ ව්‍යාපෘතියට ස්වේච්ඡා සෙවකයන් යෙදවීමේ බාධාවක් නැති බවත් එහෙත් වාහන සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් හෝ ජනාධිපති ලේකම්වරයාගෙන් අවසර ගත යුතුව ඇතත් ඊට අදාළ අවසරය ලබා නොගත් බව එම කාලයට අදාළව හිටපු ලේකම්වරුන් දෙදෙනා අනාවරණය කර ඇති බවත් මූල්‍ය අපරධ විමර්ශන ඒකකය කියා සිටියේය.

කුලී පදනම මත ලබා ගත් මේ වාහන ලබා ගැනීම සඳහා විමල් වීරවංශ මහතා ලිඛිතව හා වාචිකව ආධාර අනුබල දී ඇති බවටත් හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලබා දුන් උපදෙස් අනුව වාහන මුදා හැර ඇති බවටත් මූල්‍ය අපරධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

පාඩු ලබමින් තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 2000ක් ලාභ ලබන තත්ත්වයට වීරවංශ මහතා ගෙනා බවත්, ඒ සඳහා එම ලාභය ලබා ඇත්තේ ස්වේච්ඡා සේවකයන් යෙදවීමෙන් බවටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කියා සිටි අතර, එලෙස කටයුතු කළ පුද්ගලයකුව දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අධිකරණයට රැගෙන විත් ඇති බව කීවේය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ චක්‍රලේඛය මඟින් කරුණු දක්වා ඇති බවත් අධිකරණයට කියා සිටි ජනාධිපති නීතිඥවරයා සුවිශේෂී ආරක්ෂක හේතූන් මත වාහන භාවිත කළ හැකි බවට එහි දක්වා ඇති බවත් රාජ්‍ය පාඩු සම්බන්ධයෙන් සොය බලන කෝප් කමිටුව මෙතෙක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මෙවන් පාඩුවක් සිදුව ඇති බවට නිගමනය කර නැති බව පෙන්වා දුන්නේය.

මෑතක දී පත් වූ රජයේ දේශපාලන බලධාරීන්ගේ පැමිණිලි මත මොවුන් අධිකරණයට ගෙන එන බව කී ජයන්ත වීරසිංහ මහතා දූෂණයක් වී ඇත්නම් එවකට සිටි සභාපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කළ යුතුව ඇති බවත් එවකට සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති වත්මන් සභාපතිවරයා වන ආශු මාරසිංහ මහතා වන බවත් ඔහු වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවත් අධිකරණයට කී අතර, ඔහුගේ උපදෙස් මත නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මේ වාහන මුදා හැර ඇති බව ද කියා සිටියේය.

මෙහි දී දෙවැනි සැකකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ වීරවංශ මහතාට එරෙහි මේ නඩුව සම්බන්ධයෙන් සාක්කි දුනහොත් තමන්ව රජයේ සාක්ෂිකරුවකු කරන බවට මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය තම සේවා දායකයා වෙත උපදෙස් ලබා දී ඇති බවටත් ඔහු මවුබිම වෙනුවෙන් වෙඩි වැදුණු යුද හමුදාවේ විශ්‍රාම ගිය කපිතාන්වරයකු ලෙස එය ප්‍රතික්ෂේප කර ඇති බවටත් අධිකරණයට කරුණු දක්වා සිටියේය.

මේ සැකකරුවන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරිපත් කර ඇති ලේඛනයේ මුලින් සහතිකයක් බවටත් අවසානයේ වාර්තාවක් බවටත් ඉදිරිපත් කර ඇති බව කී ජනාධිපති නීතිඥවරුන් එය දෝෂ සහගත වාර්තාවක් බවත් මෙවන් වාර්තා ඉදිරිපත් කර තිබූ අවස්ථාවල වාර්තාවේ දෝෂ සහගත භාවය හේතුවෙන් මහාධිකරණය ලබා දුන් නඩු තීන්දු සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේය.

වීරවංශ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වය සහ ලොකුහැන්නදිගේ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වයත් සැකකරුවන් දෙදෙනාගේම දියණියන් සාමාන්‍ය පෙළට පෙනී සිටින බවටත් ලොකුහැන්නදිගේ මහතාගේ දියණිය උසස් පෙළට මෙවර පෙනී සිටින බවටත් කරුණු දක්වමින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට ජනාධිපති නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම ලබන 24 වැනිදාට සලකා බලන බව මහේස්ත්‍රාත්වරිය කීවාය.

වාහන අවභාවිතය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ශවින්ද්‍ර ප්‍රනාන්දු නීතිඥ විජේසිරි අමරවංශ, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, කපිල ගමගේ, පාලිත ගමගේ, රසංග හරිස්චන්ද්‍ර ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සුභාෂිණී සේනානායක – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *