බොරු අලුත් කරන්න කාලය ඇවිත් – එස්. එම්. ලියනගේ

“ආණ්ඩුවේ ප්‍රායෝගික නොවන වැඩපිළිවෙළ පිළිබඳ IMF පවා කනස්සල්ලෙන්”

“IMF දෙවැනි වාරිකය ලැබෙයි කියලා විශ්වාසයක් නෑ”

“ලෝකයේ රටවල්වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණයවලින් එක ඩොලර් එකක් වත් තවම කපාගෙන නෑ”

“ජනවරමක් නැති ජනාධිපති ඡන්ද තියන්න බයයි”

“ජනාධිපති වික්‍රමසිංහ මැතිවරණ සිතියම අකුළා ඒකාධිපති ගමනකට සූදානම් වෙනවා”

මේ පසුගිය කාලයක් තිස්සේ මෙරට වෛරී විපක්ෂය හන්දි ගානේ පමණක් නොව, පාසල් – පන්සල් ගානේ ගිහින් කියපු කතාය. ඒ කතාවල ඇත්තක් නොවූවත්, ඒ කතා ඇත්ත නොවන බව කියන්න ආණ්ඩුව නම්, මහන්සි වූයේ නැති තරම්ය. ඒ මේ මොහොතේ වැදගත් වන්නේ, “වචන නොව, වැඩ” වන නිසාය. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම ආණ්ඩුව කළේ වෛරී විපක්ෂයට ඕන දෙයක් කියවන්න දී සැලසුම්සහගත ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් වැඩ කිරීමය. ආණ්ඩුවේ මේ අලුත් මෙන්ම නිර්මාණශීලි දේශපාලනයේ සරු අස්වනු ප්‍රමාණයක් පසුගිය සති අන්තය වන විට ලැබුණේ, වෛරී විපක්ෂයේ වෛරී ප්‍රකාශ එක පෙළට තබා පරාජය කෙරෙමින්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා මෙරට සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය. ඒ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 03ක මාස 48ක විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදු කරන ලද පළමු සමාලෝචනයෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ප්‍රසිද්ධ කරමින්ය. මොරොක්කෝහි පැවති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම් අතරතුරදී, මෙම නිවේදනය නිකුත් කර තිබුණේ ශ්‍රී ලංකාව සඳහා වූ IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී විසින්ය. ඒ ද මෙරට වගකිව යුතු පාර්ශ්ව සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුවය.

ඒ අනුව IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට දෙවන වාරිකය ලෙස හිමි වීමට නියමිත මුදල අ‍ෙමරිකානු ඩොලර් මිලියන 330ය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 660ක් දක්වා ඉහළ යන්නේය.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති

IMF නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති බවය. ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බවය. එසේම උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70ක උපරිමයේ සිට 2023 සැප්තැම්බර් මාසයේදී සියයට 1.3 දක්වා පහත වැටී ඇත. මේ වසරේ මාර්තු – ජුනි කාලය තුළ දළ ජාත්‍යන්තර සංචිත ඩොලර් බිලියන 1.5කින් ඉහළ ගොස් ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ද අඩු වී ඇත. අවශ්‍ය බදු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් සක්‍රියව තුරන් කිරීම මඟින් ආදායම් ඉහළ නැංවීමට සහ වඩා හොඳ පාලනයක් සඳහා වන බලධාරීන්ගේ කැපවීම අගය කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් දේශීය ණය ක්‍රියාකාරීත්වය අනුගමනය කරමින්, තීරණාත්මක ඊළඟ පියවර වන්නේ IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැඩසටහන් පරාමිතීන්වලට යටත්ව සහ ණය ඉලක්කවලට අනුකූලව, ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් නිල ණය හිමියන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමය. ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන – ආනයන බැංකුව අතර ඇති තාවකාලික ගිවිසුමක් පිළිබඳව තම අවධානය යොමුව ඇති බවත් එය ලැබුණු පසු තොරතුරු විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සියලුම නිල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් සපයන ලද මූල්‍ය සහතිකවලට අනුකූලව සුදුසු ණය ගෙවීම් ක්‍රමවේදයක් අනුව ඉදිරියට යාමට එකඟ වන ලෙසය. වාණිජ ණය හිමියන් සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා සිදු වෙමින් පවතින බව තමන් වටහාගෙන ඇති අතර, ශක්තිමත් ලෙස ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාවයද IMF විසින් අවධාරණය කර ඇත.

ජයග්‍රහණ රැසක්

මෙහිදී වඩාත් වැදගත් කරුණක් ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි ණය වාරිකය මෙරටට ලබා දීමට එකඟතාව පළ කර තිබෙන්නේ මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල ඉටු කර සම්පූර්ණ කර නොමැති තත්ත්වයන් හමුවේ වීමය. සැබැවින්ම ජනාධිපති රනිල් , IMFහි ඇතැම් නිර්දේශ ඒ ආකාරයටම සිදු කිරීම ප්‍රතික්ෂේප කළේය. නමුත්, ඊට විකල්ප ඔහු ඉදිරිපත් කළේය. ඊට පාදක වූයේ, අන් කිසිවක් නොව, තවදුරටත් ජනතාව මත පීඩනය මුදා හැරිය නොහැකි බව පවසමින්ය. ඒ අනුව ජනාධිපති රනිල් ඉදිරිපත් කළ විකල්ප වෙත IMF එකඟතාව පළවී ඇති බව පැහැදිලිය.

එසේම , 3 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට චීනයට ගිය ජනාධිපතිවරයා පෙරළා පැමිණියේ ද ජයග්‍රහණ රැසක් සමඟය.

ඒ බව හොඳින්ම තහවුරු කෙරුණේ මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රධානියා වූ ජනාධිපති ෂී ජින් පින් සහ චීන මුදල් අමාත්‍යවරයා සමඟ පැවති ද්වීපාර්ශ්ව සාකච්ඡාවලදීය.

එහිදී චීන මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බවය. එසේම ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බවත් අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇගයීමට ලක් කරන බවත් ය. එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර, චීනය සමඟ සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ්‍රී ලංකාවට සහාය ලබා ‍ෙදන ලෙස ඉල්ලා සිටින බව ද චීන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මධ්‍යස්ථ ස්ථාවරය

චීන ජනාධිපති ෂී ජින් පින් හමු වූ අවස්ථාවේ ඔහුද සහතික කර සිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා සුහද, ප්‍රායෝගික හා කඩිනම් සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවටය. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිදු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබා දීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් ඔහු සඳහන් කර තිබිණ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිබිඹු වූ බවද සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරන මධ්‍යස්ථ ස්ථාවරය ද ඇගයීමට ලක් කර තිබුණේය.

එපමණක් නොව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි ලාංකේය සමාජය ඉන් මුදවාගෙන සංවර්ධන මාවතකට යොමු කර ඇති බවද චීන ජනාධිපතිවරයා පවසා තිබිණ.

මේ ආකාරයේ සහතිකයක් පසුගිය ඉන්දීය සංචාරය අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙතින් ලබන්නටද ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකි විය. ඒ අනුව මෙරට ණය අර්බුදය විසඳීමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහය ගැනීමට ජනාධිපති රනිල් සමත්ව ඇත. ඒ එක් පසෙකින් චීනයත්, අනෙක් පසින් ඉන්දියාව ප්‍රමුඛ බටහිරත් වශයෙන්ය.

මේ රටට එම සමර්ථභාවය ලැබුණේ පසුගිය කාලය මුළුල්ලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ගිය ජාත්‍යන්තර මෙහෙයුමේ ප්‍රබලත්වය නිසාය. අනෙක් ප්‍රධාන හේතුව නම්, නැවත ගොඩගැනීමක් ගැන හිතාගන්නවත් බැරි බවට ලෝකයක් කියූ මෙරට ආර්ථික අර්බුදය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළමනාකරණය කර දැක්වූ විශිෂ්ටත්වය නිසාය.

නූතන රාජ්‍ය ණය අර්බුදය පිළිබඳව හදාරමින් සිටින ආර්ථික විශේෂඥයන් වගේම ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව දරන පොදු අදහසක් වන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අර්බුදයෙන් ගැලවීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ ප්‍රවේශය ගෝලීය ආදර්ශයක් ලෙස ගත හැකි බවය. එසේම එහි සාර්ථකත්වය තවත් මේ ආකාරයට පීඩාවට පත් රටවල ජනතාවට සැනසීම උදාකරවනු ඇති බවය.

චෝදනා ඉවතට

ඒ අර්ථයෙන් ගත් විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ, මෙරට ජාතික රාජ්‍ය දේශසීමාවට සීමා වූ නායකයෙක් නොව, ඔහු මේ වන විට මෙරට ජාතික රාජ්‍ය දේශසීමා අතික්‍රමණය කළ නායකයකු බවට පත්ව ඇත. ලෝකයේ බොහෝ සමුළු, සම්මේලනවලට නැතුවම බැරිවී ඇති නායකයෙක් වී ඇත. මේ ආකාරයට අමාරුවෙන් පණ ඇද්ද රටක් නිවැරදි මාවතට ගෙන ලෝකයේම අවධානය ඒ වෙත ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන විට, විපක්ෂය කළේ, ඒ වසං කිරීමට ජනාධිපති රනිල් ඒකාධිපතියෙක්, උද්ධච්චයෙක්, ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් ලෙස හංවඩු ගැසීමය. නමුත්, පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අවස්ථාවේ ජනාධිපති රනිල්, විපක්ෂයේ මේ වෛරී චෝදනා සුනු විසුනු කර දැම්මේය. ඒ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව පවසමින්ය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇති බවත් සඳහන් කරමින්ය.

එහිදී ඉදිරියට එන මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂයද සූදානම් විය යුතු බවත් සඳහන් කළේය. සැබැවින්ම විපක්ෂය කෙසේ වුවත්, ඇතැම් දේශපාලන විචාරකයන් ද ජනාධිපති රනිල්, ජනාධිපතිවරණය කල්දාන්න උත්සාහ කරයි කියා තක්සේරු කර සිටි කාරණා තිබිණ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ගෝලීය මූල්‍ය බලවතුන්ගේ අතිදුෂ්කර කොන්දේසි සමඟ ගනුදෙනු කිරීමට සිදුවීම, ආර්ථික අර්බුදයට පිළියම් සිදු කිරීම, ණය උගුලෙන් ආර්ථිකය ගලවා ගැනීම, මෙරට ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් වෙනුවෙන් දැඩි පියවර ගැනීමට සිදුවීම සහ ඒවා ජනප්‍රියවාදී දේශපාලනයෙන් පරිබාහිර වීම වැනි කාරණා එහිදී විශේෂය. ඒ අනුව ඔවුන් සිතුවේ, ජනාධිපති රනිල් රට ගොඩදැමූ පංගුව අරගන්න රටේ ව්‍යවස්ථාවට වුණත් වංගුවක් ගහන්න ඉඩ තිබෙන පදනමින්ය. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමුළු ප්‍රකාශය හරහා තහවුරු කළේ, තමන් මෙරට සිටින ගැලවුම්කරු වුවත්, අංක එකේ නීතිගරුක පුරවැසියාද වන බවය.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වෛරී විපක්ෂය තප්පුලන වචන නොව එය ප්‍රැක්ටිස් එකක් බවත්, ඊට අදාළ තම විශ්වාසයේ කිසිම වෙනසක් නැති බවත් ය. එසේ නම් දැන් වෛරී විපක්ෂයට අලුත් වෛරී ප්‍රකාශ සොයාගැනීමට සිදු වන බව පැහැදිලිය. එසේම මෙතෙක් ජනතාව හමුවේ විපක්ෂය කළ කී සියල්ල, රට ගොඩගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ඇති වෛරය වචන කළ අවස්ථා මිස සත්‍ය නොවන බව ද පැහැදිලිය. ඒ අනුව මේ උදාවීමට නියමිතව ඇත්තේ මෙරට වෛරී විපක්ෂයට හන්දි ගානේ පමණක් නොව, පාසල් – පන්සල් ගානේ ගිහින් කියන්න බොරු අලුත් කරන්න සිදුවන කාලයයි.

 

එස්. එම්. ලියනගේ
දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *