|

එජාපය කඩාවැටී රොත්ත පිටින්  පක්ෂය හැර යන විට දරදිය ඇද්ද පාක්ෂිකයන්ට නිසි තැන දෙනවා – නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ඡන්ද ලක්ෂ 100ක් දී රනිල් යළි ජනපති පුටුවේ වාඩි කරවමු

මන්ත්‍රී වජිර අබේවර්ධන

රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙළට ලෝක නායකයන් ප්‍රශංසා කරනවා

සාගල රත්නායක

ලොවම පිළිගත් ස්මාට් නායකයෙක් අද මේ රට පාලනය කරනවා

පාලිත රංගේ බණ්ඩාර

එජාපය සහ ශ්‍රී ලංකාව කියන්නේ දෙකක් නෙමෙයි එකක්

අකිල විරාජ් කාරියවසම්

රට නැවත ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ

රවි කරුණානායක

කොන්ද කෙළින් නායකයෙක් එක්ක ගමනක් යන්න බිය විය යුතු නැහැ

ඇමැති හරීන් ප්‍රනාන්දු

රනිල් වික්‍රමසිංහ කියන්නේ විශ්වීය දැනුමක් ඇති නායකයෙක්

ඇමැති මනූෂ නානායක්කාර

 

පක්ෂය කඩාවැටී රොත්ත පිටින් මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් පක්ෂය හැර යද්දී පක්ෂය සමඟ රැඳී දරදිය ඇද්ද පාක්ෂිකයන්ට නිසි තැන දෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, හිටපු රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048’ තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පෙරේදා (21) පස්වරුවේ පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමිනි.

එහිදී ඔහු මෙසේද කීය:

“රට තුළ විශාල පරිවර්තනයක් ඇති කරන්න ජනාධිපතිවරයා සූදානම් වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා මෙරටට නිදහස ගෙන දී, ගොවි ජනපද ඇති කර, මේ රටේ වෙනසක් ඇති කළා. හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා මේ රටට විවෘත ආර්ථිකය ගෙනැවිත් මේ රටේ දියුණුවක් ඇති කර, තවත් සිස්ටම් චේන්ජ් එකක් ගෙනාවා. ඒ වගේම හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා දුප්පත් ජනතාවගේ හිසට සෙවණක් දී, ජනසවිය දී, දිළිඳුකම තුරන් කරන්න පියවර ගැනීම අනිත් සිස්ටම් චේන්ජ් එකයි. අපේ ජනාධිපතිතුමා ඒ වගේම අලුත් සිස්ටම් චේන්ජ් එකක් මේ රටට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ආර්ථික විප්ලවයක් කරන්න, සුහුරු රටක් බවට මේ රට පත් කරන්න, තාක්ෂණයත් සමඟ මේ රටේ තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න සූදානම් වෙනවා. කාන්තාවට මේ සමාජයේ නිසි තැන දෙනවා. මේ රටේ දිළිඳුකම තුරන් කරන්න, සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලෙස නැඟිටින්න පුළුවන් මාර්ගය සකසා දීම ඔහුගේ ඉලක්කය වී තිබෙනවා. ඔහු ජනපති ධුරය භාර ගත්තේ නිදහසින් අවුරුදු සියයක් ගත වන විට මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අපේක්ෂාව ඇතිවයි. අපේ යුතුකම ඔහුගේ දර්ශනය ඉදිරියට රැගෙන යෑමයි. ඒ වෙනස කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ සංවර්ධනය වෙනුවෙන් හරි වැඩක් කළා නම්, එක්සත් ජාතික පක්ෂය පමණයි. නැවත මේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. ආසියාවේ පමණක් නොව ලෝකයේ අනෙකුත් රටවල් සම්බන්ධ කරගනිමින් මේ රට ඉදිරියට ගෙන යෑම අපේක්ෂාවයි. පක්ෂය වැටිලා රොත්ත පිටින් අපේ අය වෙනත් පක්ෂයවලට එකතු වෙද්දී, මේ ඉන්න මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් එජාපය රැකගත්තා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට නිසි තැන දිය යුතුයි. රටත් දියුණු කර, ඔබත් දියුණු වෙන්න ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට අපි සැම එක් වෙමු.”

එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා:

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ මේ සම්මේලනයට ආවේ චීන සංචාරයෙන් පසුවයි. ඔහු චීන නායකයන් සහ රටවල් 130ක රාජ්‍ය නායකයන් හමු වී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඔහු ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක නැති නම් ඒ සඳහා ප්‍රමාණික දැනුමක් ඇති ඕනෑම කෙනකුට යෝජනා ඉදිරිපත් කළ හැකියි. අපේ නායකතුමා 2048 වන විට රට ස්ථාවර කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ සමඟ එකතු වී, ඡන්ද ලක්ෂ 100ක් දී රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති පුටුවේ වාඩි කරවීමට පෙළගැසෙන ලෙස මා ඔබට ආරාධනා කරනවා. රනිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්ව අගමැති වී ජනාධිපති වන බව එදා ඒ තනතුරු ගැනීමට වසරකට පමණ ඉහතදී මා පැවසුවා. ඒ ප්‍රකාශ කළේ අපට තිබෙන දේශපාලන අවබෝධය මතයි. අද මා නැවතත් ඔබට අනාවැකියක් කියනවා. මීළඟ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම නැවත රටේ ජනාධිපති ධුරයට පත් වනවා.”

එජාප ජාතික සංවිධායක සාගල රත්නායක මහතා:

“බංකොලොත්භාවයෙන් රට මුදාගැනීමට දෙවැනි වාරිකයත් සමඟ අපට පුළුවන්කම ලැබෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න අද අපට උදවු කරනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙළ ගැන ජාත්‍යන්තර නායකයන් ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා. ඒ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගිය හොත් අපේ රටට ආයෝජකයන්ගේ පැමිණීම වළක්වන්න බැහැ. අද අපේ ප්‍රතිපත්ති ලෝක බලවතුන්ගේ පිළිගැනීමට ලක් වීම ආඩම්බරයට කරුණක්. ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව මේ රටේ ආර්ථික විප්ලවය ඇති කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණක් බව කිව යුතුයි.”

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා:

“2020 වසරේ එජාපය පරාජයට පත් වූ පසු ඉදිරියේ එන අභියෝගවලට මුහුණ දෙන ආකාරය ගැන නායකතුමා අපට උපදෙස් දුන්නා. අද එතුමාගේ නායකත්වයෙන් මේ රට නිසි මාවතකට ගෙනැවිත් හෙට ගැන විශ්වාසයක් ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර දී තිබෙනවා.

ලෝකයම පිළිගත් ස්මාර්ට් නායකයකු අද මේ රට පාලනය කරනවා. ජනාධිපතිතුමා ආරම්භ කළ එම ගමන් ගමට අද මුළු ලෝකයේම සහයෝගය ලැබී තිබෙනවා. එම සහයෝගය තුළින් නැවත මේ රට ගොඩනැඟිය හැක්කේ අපේ නායකතුමාට පමණයි.”

එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා:

“එජාපය සහ ශ්‍රී ලංකාව කියන්නේ දෙකක් නෙමෙයි එකක්. මේ රටේ දරුණුම අවස්ථාවල රට බේරාගත්තේ එජාපයයි. පක්ෂය අද වන විට වෙනස්කම් රැසක් සමඟ ඉදිරියට යනවා. අනාගත පරපුර ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයක් රට තුළ ඇති කිරීම සුවිශේෂ සන්ධිස්ථානයක් වනවා. අද අපේ නායකතුමාගේ දර්ශනය සමඟ ඉදිරියට යෑමට හැකියාව ලැබී තිබෙනවා. අප ගමන් කරන දිශානතිය නිවැරදි බව විපක්ෂයත් පිළිගෙන තිබෙනවා. අලියා වැටුණාම නැඟිටුවන්න අමාරුයි. හැබැයි නැඟිට්ටාම කාටවත් නතර කරන්න බැහැ.”

හිටපු ඇමැති රවි කරුණානායක මහතා:

“ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. මේ රට නැවත ගොඩ ගත හැකි වැඩපිළිවෙළක් දැනටමත් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. මීළඟ ජනාධිපතිවරණයේදී ඔහු නිර්පාක්ෂික අපේක්ෂකයා බවට පත් කර, 2024දී නැවතත් රටේ ජනාධිපති බවට පත් කරන්න අප සියලු පාර්ශ්ව කැප වී සිටිනවා.”

ඉඩම් හා සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා:

“ස්මාට් කියන වචනය ගෙනාවේ ඇයි කියලා කවුරුත් දැනගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කාගෙන්වත් ඇහුවොත් කියන්නේ මොළේ තිබෙන නායකයෙක් කියලයි. අනාගතය ගැන හිතන ස්මාට් නායකයකු සිටින්නේ එජාපයට පමණයි. ඒ නිසා කොන්ද කෙළින් තිබෙන නායකයකු සමඟ ගමනක් යන්න බිය විය යුතු නැහැ. එදා අප ගත් තීන්දු තීරණ ගැන ආඩම්බර වෙනවා. ජනාධිපතිතුමා කෙටි කාලයක් තුළ මේ රටට කළ දේවල් ගැන ගොඩ දෙනකුට අමතකයි. 2024 දී රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති ධුරයට පත් කිරීමට අපි එකමුතු වෙමු.”

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා:

“විශ්වීය දැනුමක් සහිත රනිල් වික්‍රමසිංහ චරිතය ඇතැමුන් නොයෙක් ආකාරයෙන් ඝාතනය කළා. ඒත් ඔහුගේ එකම අරමුණ මේ රට ගොඩ ගෙන ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීමයි. සිස්ටම් චේන්ජ් කරන්න ආපු අය අද රටත් දාලා ගිහින්. විවිධ කුමන්ත්‍රණවලින් වෙන් කළ පක්ෂය යළි ගොඩනඟනවා. හැමෝම ස්මාට් රටක් හදන වැඩපිළිවෙළට එකතු වෙන්න. විවිධ හේතු නිසා එජාපය හැර ගිය අයගෙන් 2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති ලෙස පත් කිරීමට එක් වන ලෙස මා මේ විශේෂ සම්මේලනයේදී ඉල්ලා සිටිනවා.”

ඡායාරූප – චින්තක කුමාරසිංහ,

සුලෝචන ගමගේ

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *