සුවිශේෂ හේතුවක් නැතිව 2024 ජූලි දක්වා විදුලි මිල වැඩි වන්නේ නෑ – විදුලිබල මණ්ඩලය

 

නියඟ තත්ත්වයක් හෝ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමක් වැනි සුවිශේෂ කරුණක් නොවුණ හොත් ලබන වසරේ ජූලි 1 දින දක්වා යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍රද සිල්වා මහතා පැවසීය. එමෙන්ම, මේ වසරේ (2023) විදුලිබල මණ්ඩලයට සිදු වෙතැයි ගණන් බලා ඇති රු. බිලියන 18ක පාඩුව පියවාගැනීම ඊයේ (20) සිට සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය මඟින් හැකි වන බවද වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා කීය. කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඊයේ (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන සාමාන්‍යාධිකා‍රිවරයා:

“අපි මේ වසරේ ගිගා වොට් පැය 4,500ක් ජලවිදුලියෙන් විදුලිය නිපදවාගත හැකි වෙතැයි පුරෝකථනය කළා. එහෙත් අපට හැකියාව ලැබුණේ ගිගා වොට් පැය 3,750ක් තරම් ප්‍රමාණයක් සපුරාගන්නයි. ඒ නිසා ඇති වන අනෙකුත් විදුලි අවශ්‍යතාව සපුරාලීමට විශේෂ ක්‍රමවේදයකට යා යුතු වනවා. ඒ සදහා ක්‍රියාමාර්ග ගැනීමේදී සුවිශේෂ තත්ත්වයන් මතුවනවා.

“මෙවැනි සුවිශේෂී තත්වයන් මත තමයි අප මෙවර විදුලි ගාස්තු මිල සංශෝධනයට ලක් කළේ.අපට විදුලිබල පනතට අනුව වසරකට අවස්ථා දෙකකදී විදුලි ගාස්තු සංශෝධනය කළ හැකියි.ඒ නිසා සාමාන්‍යයෙන් ඕනෑම වසරක ජනවාරි 01 වැනිදාත් ,ජුලි 01 දාත් එම සංශෝධන දෙක සිදු වනවා.මේ අවස්ථාවට අමතරව තවත් එක් වරක් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකියි.ඒ සදහා වූ සුවිශේෂී කරුණු දැක්වීම අප මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ යුතු වනවා. ඔවුන් ඒ ගැන ගැඹුරින් කරුණු සලකා බලා ,මහජන මතයද විමසා බලා මිල සංශෝධනයට අනුමැතිය ලබා දෙනවා.මෙවර සිදු කළ මිල සංශෝධනයේ විශේෂත්වය වන්නේ 2024 වසරේ ජනවාරි 01 දා සිදු කළ යුතුව තිබූ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තොබර් 20 දා සිදු කිරීමයි.ඒ නිසා නැවත සුවිශේෂී හේතු මතු නොවුණහොත් අපට ලබන වසරේ ජූලි 01 වැනිදා වනතුරු විදු ලි ගාස්තු වැඩිකිරීමට අවශ්‍ය වන්නේ නෑ.“

ජයසිරි මුණසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *