රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය: අශුද්ධ සන්ධානයට මළ මිනිී ඕනෑ කර තිබේ. – අජිත් පැරකුම් ජයසිංහ

වසර 2002දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන ලදී.

කොටි සංවිධානය සමග සටන් විරාමයකට එළැඹ සාකච්ඡාමය විසඳුමක් සඳහා ද පියවර ගන්නා ලදී.

මේ හා සමාන්තරව ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන ඉදිරියට පැමිණියේ ය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සමග බද්ධ වෙමින් බටහිර රටවල හා ජපානයේ ආධාර ඇතිව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ පද්ධතියකට මුල පුරන ලදී. ඒවා එවකට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලෝකයේ ප්‍රවර්ධනය කරමින් තිබුණු ගෝලීයකරන වැඩසටහන සමග අනුගත වන ව්‍යූහාත්මක ගැලපුම් විය.

එයට එරෙහිව තල දෙකක විරෝධතා ක්‍රියාමාර්ග ගැනිණි. එක් තලයකදී අප ද සම්බන්ධ වෙමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ඔස්සේ සිවිල් සමාජය ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු කළේ ය. ධනේශ්වර ගෝලීයකරණයට එරෙහිව ජාත්‍යන්තර විරෝධතා ව්‍යාපාරය සමග එය සම්බන්ධ විය. ජාත්‍යන්තර ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන හකුළා ගැනීමට සිදු විය. ජාතික වශයෙන් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන පරාජය කරන ලදී.

අනෙක් තලයේදී ජනතා විමුක්ති පෙරමුණු ප්‍රමුඛ ජාතිවාදී ව්‍යාපාර මෙම වාසිය උපයෝගී කරගෙන රජයේ සාම වැඩසටහනට එරෙහිව ජාතිවාදය අවුළුවා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිඳ දමමින්, යුද්ධයකට රට තල්ලු කරන ලදී. එයට සම්මුති විරෝධී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ද අනුග්‍රහය ලැබිණි. ඔවුන් බලාපොරොත්තු වුණේ තත්වය භාවිතා කරමින් ඔවුන්ට වඩා වාසිදායක තත්වයක් නිර්මානය කර ගන්නටයි. එහෙත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය ජය ගන්නට සමත් විය.

වසර 2004දී එවකට ජවිපෙ අභ්‍යන්තර නායකයකු වූ කුමාර් ගුනරත්නම් සිය පෞද්ගලික මිතුරකුට පැවසූ කරුණක් වූයේ වික්‍රමසිංහ රජයේ ආර්ථික වැඩසටහන දියත් වී නම් නැවත වරක් වමට අවස්ථාවක් නො ලැබෙන බැවින් එය පැරදවීමට ජවිපෙ කටයුතු කරන බවයි. ජවිපෙ ඒ වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග සම්මුතියකට පැමිණියේ ය. එතැනින් නො නැවතී, විජේදාස ලියනආරච්චි ඝාතනය වැනි සිද්ධි රැසක් සම්බන්ධයෙන් සැකයට භාජනය වී සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමටත් කටයුතු කළේ ය. බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රසිද්ධ වන්නටත් පෙර කුමාර් ගුනරත්නම් පැවසුවේ ඔවුන් අනිවාර්යයෙන් ම සොරකම් කරන නිසා තමන් කිසි සේත් ම ඔවුන් සමග සම්බන්ධ නො වන බවයි. එහෙත්, මේ හා සමග ම ජවිපෙ අභ්‍යන්තරයේ බරපතල අර්බුදයක් ඇති විය. කුමාර් ස්වකැමැත්තෙන් සිය පවුල සමග විදේශගත වන්නේ මෙම අර්බුදය අතරතුරයි. ඔහු එසේ කරන්නේ ජවිපෙ නායකත්වය සමග පූර්ණ අවබෝධයකිනි. ජවිපෙ නායකයන් තවමත් මුවා වන්නේ ඒ එකඟතාවන්ටයි. එහෙත්, කුමාර් විසින් ජවිපෙ අභ්‍යන්තරයේ ගොඩනගා ගන්නා ලද කණ්ඩායමේ බලපෑම මත මෙම එකඟතාව බිඳ දමමින් කටයුතු කරන්නේ කුමාර් ගුනරත්නම් ම ය.

මෙම කතාව අප සිහිපත් කරන්නේ නැවත වතාවක් රඟ දැක්වෙමින් තිබෙන්නේ එම නාටකය ම නිසා ය. එහෙත් වෙනස්කම් තිබේ.

එදා රනිල් වික්‍රමසිංහගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනට දැඩි විරෝධය පළ කළ අපි අද වන විට රනිල් වික්‍රමසිංහගේ වැඩසටහනට කොන්දේසි සහිතව සහාය වන්නෙමු. එයට හේතු කීපයක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රාග්ධන ගෝලීයකරණ වැඩසටහන දැන් ජාත්‍යන්තර වශයෙන් පරාජය කර හමාර තිබීමයි. ඒ නිසා අද වන විට ඉන්නේ එදා අප නව ලිබරල් ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නො වේ. මූලිකව ම එදා තිබුණු ලෝක වෙළඳ සංවිධානය අද සක්‍රිය නැත. එහි වැඩසටහන පැරදවීමේදී ඉන්දියාව ද සුවිශේෂ වැඩ කොටසක් කළ අතර, අද වන විට ඇමරිකාව, බ්‍රිතාන්‍යය පවා එම වැඩසටහන අත්හැර දමා තිබේ.

අනෙක් පැත්තෙන්, මහින්ද රාජපක්ෂගේ දශකය තුළ ආර්ථික ජාතිකවාදය එහි උපරිමයට ම ගොස් අසාර්ථකත්වය ඔප්පු කළේ ය. විවෘත ණය වෙළඳපොළෙන් ලබා ගත් විදේශ ණය මත නිර්මානය කළ රාජපක්ෂගේ ඊනියා සංවර්ධන මායාව මහා ණය උගුලක් බව දැන් හෙළිදරව් වී තිබේ. ගෝලීය වෙළඳපොළ සමග විධිමත් අන්දමින් සම්බන්ධ නො වී ලංකාවට තව දුරටත් ඉදිරියට යන්නට මාර්ගයක් නැත. ණය බරින් හා දූෂණයෙන් පැසවා ඉදිමුණු, ලංකාවේ ආර්ථික දේහය මත හැදුණු දැවැන්ත හොරි ගෙඩියක් වැනි රජය මේ අන්දමින් පවත්වාගෙන යාම පවා අද වන විට කළ නො හැක්කක් බවට පත් වී තිබේ. ලංකාව හමුවේ විකල්ප රැසක් නැති අතර, පවත්නා අර්බුදය සඳහා විසඳුමක් යෝජනා කරන්නට හෝ සමත් වී සිටින්නේ රනිල් වික්‍රමසිංහ – මෛත්‍රීපාල සිරිසේන හවුල් ආණ්ඩුව විසින් පමණි. ඒකාබද්ධ විපක්ෂය යනු නීතියෙන් ගැලවීම පිණිස කරන චෞරයන්ගේ දේශපාලනයක් වන අතර, ජවිපෙ යනු කිසිදු විකල්පයක් නැති කඩාකප්පල්කාරිත්වයට පමණක් සීමා වුණ පක්ෂයකි.

අප මෙම කරුණු ටික සටහන් කළේ අන් කිසිවක් නිසා නොව, රට හමුවේ තිබෙන එක ම විකල්පය ක්‍රියාත්මක කිරීම පිණිස රජය දරණ උත්සාහය කඩාකප්පල් කරමින්, බලයට ඇති කෑදරකම හේතුවෙන් ම එකතු වෙමින් තිබෙන ඉතා පටු අරමුණු සහිත කණ්ඩායම් කීපයක් හෙළිදරව් කළ යුතු නිසා ය.

ගොඩනැගෙමින් තිබෙන සන්ධානයේ දිග පළල එසේ මෙසේ නො වේ. ඒ මෙසේ ය:

රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය

මෙම අශුද්ධ සන්ධානය හරහා දිවෙන වැඩසටහන මෙසේ ය:

  • ආර්ථිකය ගොඩගැනීමට රජය දරණ උත්සාහය කඩාකප්පල් කිරීම
  • රජයට සම්බන්ධ වෘත්තිකයන් රජයට එරෙහි කඩාකප්පල්කාරිත්වය වෙත යොමු කිරීම
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඔස්සේ රටේ දිගු කාලීන ගැටුම්වලට සාකච්ඡාමය සම්මුති ඇති කර ගැනීම වැළැක්වීම
  • රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේ සාමය චිරස්ථායී වීම වැළැක්වීම
  • සිංහල ජාතිවාදය ඇවිළවීම ඔස්සේ දෙමළ ජාතියට සංහිඳියාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර, මධ්‍යස්ථ දෙමළ නායකත්වය අර්බුදයට පත් කර, යළි ත්‍රස්තවාදයට හිස එසවිය හැකි වාතාවරණයක් නිර්මානය කිරීම
  • රට තුළ අරාජිකත්වයක් ඇති කිරීම
  • ඒ ඔස්සේ නීතියෙන් ගැලවීමට අවශ්‍ය මහජන දේපල සොරුන්ට මුක්තිය තහවුරු කර දීම
  • ඔවුන් හරහා තම පටු පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම
  • රටේ තරුණයන් දේශපාලන අරමුණු වෙනුවෙන් බිල්ලට දීම සඳහා බිලී බා ගැනීම ලෙහෙසි වන පරිදි ඔවුන් තුළ ඉච්ඡා භංගත්වය ස්ථාවර කිරීම

ඔබටත් ලංකාව තවත් සිරියාවක්, ග්‍රීසියක්, ඇෆ්ගනිස්තානයක් බවට පත් කරගෙන ඔබගේත් දරුවන්ගේත් අනාගතය අඳුරු කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් සමග එක් වන්න. එහෙත්, ඔබේ දරුවන් මෙහි මිය යන කල ඔවුන්ගේ දරුවන් විදේශ රටවල සුව සේ සිටිනු ඇත.

ඔවුන්ට මළ මිනී අවශ්‍යව තිබේ. ඔබේ දරුවා ඔබ ඒ වෙනුවෙන් දෙනවා ද?

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *