ණය ගැන චීන – ශ්‍රී ලංකා ගිවිසුම ගැන බටහිරින් විවේචන
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනය සහ ශ්‍රී ලංකාව වෙන ම ගිවිසුමකට එළඹීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට සම්බන්ධ ආර්ථික විද්‍යාඥයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ණය අර්බුදවලට මුහුණ දී සිටින රටවල් සඳහා පොදු ප්රතිපත්තියකට එකඟ නොවී එම රටවල් සමග වෙන ම ගිවිසුම් ගත වීමේ චීන පිළිවෙත මෙලෙස විවේචනයට ලක් වී තිබේ.
මේ දිනවල මොරොක්කෝවේ මරකේශ නුවර පැවැත්වෙන අයි එම් එෆ් ලෝක බැංකු වාර්ෂික සම්මේලනට සමගාමීව පැවැත්වෙන සමුළුවල දී මෙම විවේචන එල්ල වී ඇත.
ලෝකයේ ණය අර්බුදවලට මුහුණ දෙන රටවල් සඳහා පොදු ප්‍රතිපත්ති රාමුවක් සඳහා මරකේෂ් සමුළුවේ පැවැත්වෙන සැසි සඳහා චීන විදේශ ඇමතිවරයා සහභාගී නොවීම ද මෙම විවේචනවලට හේතු වී තිබේ.
ලොව විශාලතම ණය හිමියා ලෙස චීනය ලබාදෙන ණය නිසා අර්බුද ඇතිවන රටවල වගකීම දැරීමට අවසානයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සිදු වී තිබෙන බවට ද චෝදනා එල්ල වී තිබේ.