සන්නාගේ NO STOPPING OR TURNING BACK (නැවතීමක් හෝ නැවත හරවා යෑමක් නැත) පොත – නිශාන්ත කමලදාස

No stopping or Turning back යන බිල්බෝඩ් එක අප දකින්නේ අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ය. එහෙත් එය අප මේ යන දිවි ගමනට ද එක සේ අදාළ ය. තනි තනි පුද්ගලයාගේ පෞද්ගලික ගමනට පමණක් නොව සමාජයේ පොදු ගමනට ද එය අදාළ ය. ඒ ගමන නවතිනු නොහැකි ය. නැවත හැරවීමක් ද නැත. එසේ කළ හැක්කේ තමනට ද අනුන්ට ද විනාශයක් වන පරිදි ය. මේ ගමන නතර කළ අය සිය දිවි නසා ගත් බව කතාව අපට කියන්නේ ය. හරවන්නට උත්සහ කළ අය (ආගමික හෝ දේශපාලනික) පූජක දිවියට  පිවිස නැවතත් ඉදිරියට හැරී ඒ මග ඔස්සේ ම බාහිර පෙනුමෙන් වෙනස්, එහෙත් අභ්‍යන්තරයෙන් සම, අමුතු ම සතෙකුගේ පෙනුමෙන්, අන් අයටත් වඩා වේගයෙන් හා තිරශ්චීන ව ඇදී ගිය බව ද ඒ නිසා ම සෙසු අයට ද විනාශය ගෙනා බව ද කතාව කියවා ගෙන යන විට අපට පෙනෙන්නේ ය.

ඉතින් No stopping or Turning back යන නාමය උපුල් ශාන්ත සන්නස්ගල තමන්ගේ අලුත් නවකතාවට තෝරා ගැනීම ම එහි තේමාවට ඔහු කළ සාධාරණයක්, යුක්තියක්, ලෙස මම සලකමි.

එහි කවරයේ සඳහන් නම ඉංග්‍රීසි ය. ඇතුළ අමු සිංහල ය. එය පොදුවේ, මේ පොත කියවන මාත් ඔබත් ඇතුළත් ශ්‍රී ලාංකික දැන උගත් මධ්‍යම පංතියේ පමණක් නව ලෝකයක් සොයා සංක්‍රමණය වූ බහුතරයක් ලාංකිකයන්ගේ ද චරිතය ප්‍රකාශ කරන්නක් යැයි මට සිතේ. නවකතාවේ ප්‍රධාන චරිතය වන චත්‍ර නියෝජනය කරන පරම්පරාව ද එයින් අබ මල් රේණුවක වෙනසක් නැත යන්න මගේ හැඟීම ය. ඒ නිසා ම ඒ ආකෘතිමය හරඹය ද නවකතාවට අපූරුවට ගැලපෙයි.

කතාව ආරම්භ කරන්නේ ඌබර් කැබ් එකක් ඇණවුම් කිරීමේ ක්‍රියාවලියකිනි. ඒ හරහා ඔහු නවකතාවේ පසු බිම මේ යැයි දක්වයි. චරිත වලට පිවිසීමට පෙර වේදිකාව සෙට් කරයි. ඇණවුමෙන් අනතුරුව චත්‍ර ට ලැබෙන තොරතුරු සම්භාරය ලේඛකයා අප ඉදිරියේ දිග හරින්නේ ය. රථයේ වර්ණය, අංකය, වර්ගය, රියදුරාගේ නම, දුරකථන අංකය, ඔහුගේ පළපුරුද්ද, ඔහුගේ රේටින් එක, රථයේ වත්මන් පිහිටීම, එය ළඟා වෙන ගමන් මාර්ගය, අපේක්ෂා කළ හැක්කේ මිනිත්තු කීයකින් ද යන වග, ගමනට ගත වන කාලය, ඒ සඳහා ගෙවිය යුතු ගාස්තුව, යන එකී නොකී තිරයේ දිග හැරෙන තොරතුරු පිළිබඳ විස්තරයක් ඔහු අපට ගෙන එන්නේ අප ජීවත් වන තොරතුරු ලෝකය, ඒ යුගය, ගැන ඉඟියක් දෙමින් ය. ඉසෙඩ් පරම්පරාව සතු මෙවලම් වරප්‍රසාද ගැන අදහසක් සපයමින් ය. නවකතාව දිග හැරෙන සන්දර්භය පෙන්වා දෙමින් ය.

රියදුරා අයිති පරණ පරම්පරාවට වුව ද ඔහු අලුත් ලෝකය තේරුම් ගන්නට උත්සහ කරමින් සිටියි. රථයට ගොඩ වදින චත්‍ර අයිති නව පරම්පරාවට ය. එහෙත් ඔහු ලෝකයෙන් විතැන් වී ඇත. ඔහුට අවශ්‍ය ලෝකයෙන් ගැලවීමට ය. ඔහු ජීවත් වන්නේ ඔහුගේ ම සිතුවිලි ලෝකයක ය. රියදුරාට සම්බන්ධයක් හදා ගන්නට ඔ්නෑ වුව ද චත්‍රට අවශ්‍ය එවැන්නක් මග හැරීමට ය. කතාව කියවන අය මේ සියුම් තැන් අල්ලා ගත යුතු යැයි මට සිතේ. කතාව බරට ම දැනෙන්නේ එවිට ය.

රථය කන්ද වත්තෙන් නාවල පාරට දමා ඇදී යන්නේ බොරැල්ල මං සන්දිය හරහා ය. මග තොරතුරු ලස්සන ය. චත්‍ර දමා යන රට පිළිබඳ අදහසක් එය අපට කියන්නේ ය. චත්‍රගේ උරුමය ගොඩ නැගුණු හැටි පිළිබඳ කතන්දරය ද එහි අඩංගු ය. “බොරැල්ල හන්දියේ දකුණු පස එලොවටත් මෙලොවටත් නැති ගූඩ සුපර් මාර්කට් ගොඩනැගිල්ලකි. අතීතයේ දවසක කනත්තේ සිට පිළිවෙළින් ගිනි තැබුණු ආනන්ද භවන් හෝටලය වම් පසිනි. ගරා වැටෙමින් තිබෙන දාස මුදලාලිගේ මූසල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹී ඇත”. මේ අතුරු කතා තුළ මහා කතා රාශියක් ද ගැබ් ව තිබේ. කියවන්නා ඒවා ද සෙමින් කියවිය යුතු ය.

කතාවේ මට ප්‍රබල ව දැනුණු තැන් කිහිපයකි. ඉන් එකක් සංගීත ගුරුවරිය පිළිබඳ ව ය. ඇයත් පාසල් දරුවෙකු වූ චත්‍රත් අතර සම්බන්ධය ලේඛකයා අපට පෙන්වන්නේ දිග හැරෙන සිද්ධි දාමයක් ඔස්සේ ය. ඒ සිද්ධි දාමය දිග හැරෙන විට අප කොයි මොහොතේ හෝ මේ දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇති වේ දැයි අපේක්ෂාවෙන් සිටි බව අපට පෙනෙන්නේ ඇයගේ තුරුළට වී චත්‍ර සුවසේ නිදා ගත් බව සඳහන් කරන විට අප තුල ඇති වන අපේක්ෂාභංගත්වය නිසා ය. විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර සම්බන්ධය අපට ලිංගික සම්බන්ධයක් ලෙස මිස වෙන ආකාරයකට දැකිය නොහැකි කමක් තිබෙන්නේ ය. ඊට පසු මේ සිද්ධිය අරබයා දිග හැරෙන අතුරු කතන්දර වලින් ද අපට පෙනෙන්නේ සමාජය නම් කොහොමටත් ඒ විදිහට ඇරෙන්නට වෙන විදිහකට බලන්නට සූදානම් නැති බව ය. මෙය මිනිසුන් එකිනෙකාගෙන් ඈත් කරවීමට කොතෙක් දායක වී ඇද්දැයි සොයා බැලිය යුතු නොවේ දැයි කෙනෙකුට නොසිතෙන්නේ නම් පුදුමයකි. ඒ සිද්ධි දාමය ඒ තරම් ම විචිත්‍රව ලේඛකයා විසින් ලියා ඇති නිසා ය. සංගීත ගුරුවරිය සිය ආර්ථික බලය නිසා මේ පටලැවිල්ලෙන් ඉවත් වූව ද චත්‍ර ඊට හසු වෙයි. එහි ගොදුරක් බවට පත් වෙයි. බිඳ වැටුණු ප්‍රතිරූප නැවත ගොඩ නැගීම පහසු නැත. දරුවන්ගේ ආත්මාභිමානය කඩා දමන මිනිසුන් මේ ගැන සංවේදී විය යුතු ය.

තවමත් ඔසවා ගෙන සිටින සංස්කෘතික කුරුස නිසා මිනිසුන් කොතරම් අසරණ වී ඇද්දැයි පෙන්වන තව ප්‍රබල අවස්ථාවක් අප දකින්නේ ටියුෂන් ගුරා චත්‍ර ව වසඟයට ගන්නා ආකාරය ඇසීමෙනි. එය ද මට ප්‍රබල ව දැනුණු තැනකි. ගුරුවරයෙකුට කොහොමටත් සමාජ බලයක් අපේ සංස්කෘතිය විසින් උරුම කොට දී තිබේ. ගුරුවරයා නිකම් වෘත්තිකයෙකු නොවේ. ගුරු පියෙකි. ඉතින් ගුරු පියෙකුට අවනත නොවී සිටීමට ගෝලයෙකුට නොහැකි ය. ඊටත් අමතර ව‌ මේ ගුරා ආගම නැමැති දඬු අඬුව ද චත්‍ර ව කොටු කර රඳවා ගැනීමට යොදා ගනියි. කෙනෙකු වසඟය ට ගැනීමේ කුසලතා ද සිය ගුරු භූමිකාව ඔස්සේ නොමද ව ලබා සිටින ඔහු මේ සියල්ල චත්‍ර අසරණ කිරීමට භාවිතා කරයි. තමන් වෙත හෙලන මේ බර පෙරලා දමා නිදහස් වන්නට ඉසෙඩ් පරම්පරාවට හෝ නොහැකි ව තිබීමේ ඛේදය ලේඛකයා මනරම් ව සිත්තම් කර ඇත. ඉසෙඩ් පරම්පරාව කොතෙක් වෙනස් වුව ද මේ සිද්ධියේ දී අංගුලිමාල බවට පත් වූ අහිංසකට වඩා පරිචයක් පෙන්වා නැත.

චත්‍රගේ ලෝකය ප්‍රධාන වශයෙන් තරුණයන් විඳින ගැහැට පෙන්නුම් කරන විට එය ඡේදනය කරමින් වරින් වර මුණ ගැසෙන ගානුගේ ඊමේල් පණිවුඩ තරුණිය විඳින වේදනා විස්තර කර දෙයි. තරුණියන්ට හිමි ව ඇත්තේ පෞරුෂය අහිමි කරනු ලැබූ ප්‍රේමවන්තයන් ය. ආදරය කිරීමට නොහැකි ව බිය වද්දනු ලැබූ තරුණයන් ය. තරුණියන්ට පළමු පියවර තැබීමට අවසර නැති සමාජයක එය සැබෑ ම ඛේදවාචකයකි.

ඒ ඊමේල් අතරින් වඩාත් මගේ සිත් ගත්තේ පියා විසින් ගානුට ලියන ලද ලිපිය අඩංගු පණිවුඩය ය. ඒ ලිපිය හරහා ගානුට පවරා ඇති මහගෙදර වගකීම ය. පරම්පරා නමයක් තිස්සේ පවත්වා ගෙන ආ දැනට දිරාපත් වෙමින් පවතින ඒ කෞතුක වස්තුවේ බර ගානුගේ ඔලුව මත රැඳවීමේ උත්සහය ය. නව ලෝකයට නිදහසේ විවෘත විය නොහැකි වී ඇති එක දම්වැලක් වන්නේ මේ මහගෙදර ය. භෞතික මහගෙදරට අමතර ව එයින් සංකේතවත් කරන්නේ ඉතිහාසයේ උරුමය ය. සංස්කෘතියේ බර ය. එය තරුණියකට නොව පොදුවේ නව පරම්පරාවට මුහුණ දීමට ඇති අභියෝගයකි.

දුවනි අක්කා ද තරුණියන්ගේ පමණක් නොව තරුණයන්ගේ ද ඛේදවාචකය හඬ ගා කියන චරිතයක් ලෙස ගොඩ නගා තිබේ. ආදරය අහිමි කරනු ලැබූ, විනය නීතිවලින් බැඳුණු නේවාසිකාගාරයක හිර කරනු ලැබූ, විභාගය සමත් වීමේ තරඟයට තල්ලු කරනු ලැබූ, රස වින්දනය අහිමි කර අතිශය වියලි ජීවිතයකට සීමා කරනු ලැබූ, පූජනීය ගුරු භූමිකාවක් විසින් අපචාරයට බඳුන් කරනු ලැබූ, තරුණ පරපුරේ ඛේදවාචකය ඇය තුළින් මූර්තිමත් වේ. චත්‍රට තරම් අසපුවකට රිංගීමකට පවා නිදහස් නැති ඇය විසින් තෝරා ගනු ලබන්නේ ජීවිතය නතර කිරීමට ය. එහෙත් No stopping නිසා ම ඇයට ඉතිරි වුනේ දිවි නසා ගැනීමට ය. ඒ සියල්ලෙන් ම පීඩා ලද චත්‍ර දිවි නසා ගැනීම වෙනුවට තෝරා ගන්නේ අසපුවක මහණ වීම ය. නැවත හැරී යාමට ය. Turning back එකකට ය. එහෙත් අසපුව තුළ තිබුණේ ද එලියේ ජීවිතය ම ය. එය කීප දෙනෙකුගේ සුඛ විහරණය උදෙසා, අනාගත සිහින උදෙසා, තරුණ තරුණියන් බිලි දෙන “පූජනීය” උගුලක් බව චත්‍රට තේරුම් යන්නේ කාලයක් එහි ගත කළ විට ය. ඒ තුළ ඇත්තේ සමාජය විසින් ලෙඩ කරනු ලැබූ මිනිසුන් ය. ඔවුන් සුවපත් කරනු වෙනුවට, උන්ට අභය භූමියක් වෙනු වෙනුවට, ඔවුන් ගාල් කරන වහල් කඳවුරක් බවට ඒවා පත් ව ඇති බව සාක්ෂාත් කරන චත්‍ර එය ට ආයුබෝවන් කියන්නේ No Turning Back කියන්නේ කුමක් දැයි අවබෝධ කර ගෙන ය. ඉදිරියට ම යන්නට තීරණය කර ගෙන ය.

ඊළඟට ප්‍රබල ව දැනෙන තැන අරගල භූමිය ය. අරගල භූමිය කියන්නේ බොහෝ දෙනෙකු තමන් කාපු දේ වැමැරූ තැන ය. පව් සෝදා ගත් තැන ය. එතැනට ආ ගිය අය එය සැලකුවේ කාලයක් තිස්සේ යටපත් කර තිබූ හැඟීම් නිදහසේ කියන්නට ලැබුණු නිදහස් නිවහල් භූමියක් හැටියට ය. අරගලය කළේ ගෝඨාට එරෙහිව පමණක් නොවේ. සමස්ත සමාජයට ම එරෙහි ව ය. එය විසින් පටවා ඇති බරට එරෙහිව ය. ඒ තුළ ප්‍රගීත් එක්නැලිගොඩත් ලසන්ත වික්‍රමතුංගත් අතුරුදහන් වූ උතුරේත් දකුණේත් දරුවනුත් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයත් හොල්මන් කළහ. ඒ භූමිය තුළ මිනිස්සු තමන්ගේ වේදනාව කියා සිටිය හ. එහෙත් එය පවා සංස්කෘතික බරෙන් නිදහස් වූයේ නැත. විවිධ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වූ අතර අනුක්‍රමයෙන් සමාජ තහංචි ඇතුළත් වී එය ද වෙනත් ස්වරූපයක සිර කඳවුරක් වන ස්වභාවයක් පෙන්නුම් කළේ ය. එය මුල දී ඉසෙඩ් පරම්පරාවේ ඝෝෂාකාරී‌ වේදනාවේ ප්‍රකාශයක් වූ නමුත් ඉක්මනින් සමාජය දේහය ඔඩුදුවා තිබූ රෝග තවදුරටත් පැතිරෙන තැනක් බව ට පත් විය. ආරෝග්‍ය ශාලාව ම රෝග නිවාරණය කරනු වෙනුවට නව රෝග බෙදා හැරීම බාර ගෙන තිබුණේ ය. සමාජය තුළ පැතිර ඇති සංස්කෘතික සෙවනැල්ලේ බියකරු ස්වභාවය, එයින් ගැලවීමට ඇති නොහැකියාවේ අසරණ කම යන සත්‍යය ද ඒ නිසා ඇති වෙමින් තිබූ උමතු බව ද හෂාන් හරහා ලේඛකයා අපට ප්‍රබලව ද රසවත් ව ද කියා තිබෙන්නේ ය. ඉදිරියට යා නොහැකි හෂාන් ද අවසානයේ දිවි නසා ගන්නේ ය.

එහෙත් අපට කතාව ඉඟියක් දෙන්නේ හෂාන් ප්‍රනාන්දු යනු චත්‍රගේ සිතිවිල්ලක් පමණක් විය හැකි බව ය. පොලිස් වාර්තා වල ඒ නමින් කිසිවෙකු වූ බවට සාක්කි නැතැයි ලේඛකයා විවිධ තොරතුරු ඉදිරිපත් කරමින් කියන්නේ ය. එයින් අපට පෙනී යන්නේ හෂාන් ලෙස රඟ පා ඇත්තේ ද චත්‍ර ම බව ය. හෂාන් යනු චත්‍රගෙන් බිඳුණු ඔහුගේ චරිතයේ ම තවත් පැති කඩක් බව ය. එය මේ කතාවේ ආකෘතියේ මනරම් බව පිළිබඳ අදහසක් ද අපට ලබා දේ. ඒ අනාවරණයත් සමග මේ කතාවේ කුමන චරිතයන් “සැබෑ” චරිත ද කුමන ඒවා චත්‍රගේ මනස විසින් උත්පාදනය කරනු ලැබූ චරිත ද යන සැකය මතු කරයි. ගානු හා ඇතැම් විට සංගීත ගුරුවරිය පවා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් චත්‍රගේ හිතළු වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි බව අපට දැනේ. ඉන්ද්‍රජාලික හා යථාර්ථය කතාවක් තුළ සෙවීමේ නිෂ්ඵල බවට අපට ඒත්තු ගන්වමින් කතාව අවසන් වේ. අපේ ජීවිතය ම එක ම කතන්දරයකි. ඒ තුළ ද සැබෑ චරිත මෙන් ම මවා ගත් චරිත ද බොහෝ ය. එසේ තිබිය දී කතාවක් එයින් ගැලවෙන්නේ කෙසේ ද? විශේෂයෙන් එය කතන්දරයක් වන කල!

කතන්දරයේ තව ප්‍රධාන චරිත දෙකක් ඇත. එකෙක් බොංචෝ ය. අනෙකා බ්‍රවුනි ය. දෙදෙනා ම බලු පැටවුන් ය. චත්‍රගේ ජීවිතයට වඩාත් සමීප මේ බලු පැටවුන් ය. චත්‍ර තමන්ගේ කතාව කියන්නට, දුක වේදනාව බෙදා ගන්නට, භාවිතා කරන්නේ ඔවුන් ව ය. බ්‍රවුනි ගැන එක තැනක මෙසේ සඳහන් ය. “බ්‍රවුනි සිල්වත් ය. ශිෂ්ට ය. ශික්ෂිත ය. අල්පේච්ඡ ය. එහෙයින් හේ තෙමේ හික්මුණු ශ්‍රමණයෙකි.”

පරණ ඇරියස් එකක් ඇති රියැදුරෙකුගේ රිය සකට අසු කර බොංචෝ ව මරා දමනු ලබන ලේඛකයා බ්‍රවුනි ව අත් හැර දමන්නට චත්‍ර ව මෙහෙයවයි. ඔහු ජපානය බලා පිටත් වන්නේ මෙසේ තමන්ගේ හිතේෂීන්ගෙන් වෙන් කරනු හා වෙන් කරනු ලැබීමට බල කෙරුණු අතරමං වුනු තරුණයෙකු හැටියට ය. චත්‍රගේ ඒ ගමන නැවත වතාවක් අපට කියන්නේ අප යන්නේ No stopping or Turning Back ගමනක් කියා ය. නරිටා ගුවන්‌ තොටුපොලෙන් චත්‍රගේ කතාවේ පරිච්ඡේදයක් අවසන් වෙතත් ඉසෙඩ් පරම්පරාවේ කතාව දිගට ම ගලා යනු ඇත. ඔවුන්ට ඔවුන් මත පටවා ඇති පිට කටුව ඉවත් කිරීමට තවත් කාලයක් ගත වනු ඇත. මෙවැනි පත පොත ඒ කටයුත්ත ඉක්මන් කරනු ඇත.

No stopping or Turning Back යනු මම ලියන්නට කැමති, එහෙත් කිසි දා මට ලියන්නට නොහැකි, නව කතාව ය. ඒ මට, කියවා අවසන් වූ පසු, නවකතාව දැනුණු හැටි ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *